අප සමාජයේ ජන සම්මතයට අනුව ගම්බාර දෙවියන් යනු සුද්ධ සූනියම් ගම්බාර දෙවියන් ය. අමාවක සිට පුර පසළොස්වක තෙක් ශුක්ල හෙවත් සුදු පැහැයෙන් යුතු එම දෙවියන් පුර පසළොස්වක සිට අමාවක තෙක් කෘෂ්ණ හෙවත් කළු පැහැයෙන් යුතු බව පැවසෙයි. මෙහි දී සුදු පැහැය යහපත සංකේතනය කරන අතර කළු පැහැයෙන් සංකේතනය වනුයේ අයහපත ය. ඒ අනුව සූනියම් ගම්බාර යනු හොඳට නරකට යන දෙක සඳහාම පිහිට ලබා ගත හැකි දෙවියකු බවට ජන සම්මතයක් තිබේ.
එහෙත්, සූනියම් ගම්බාර නොවන තවත් ගම්බාර හෝ ගම් හිමි දේවතා සමූහයක් ද අප සමාජයේ ජන ඇදහීම්වලට ලක් වෙති. මහේශාඛ්‍ය තබා අල්පේශාඛ්‍ය ගණයටවත් නොගැනෙන මෙම දේව සමූහය සම්බන්ධයෙන් බොහෝ විමර්ශකයන්ගේ අවධානයට යොමු වී නොමැති බවක් පෙනෙයි.නමුත් දකුණු ඉන්දියාවේ ඇති මීට අතිශයින් සමාන ග්‍රාම දේවතාවන් සම්බන්ධ විවිධ පර්යේෂණ සිදු වී තිබේ.
සාමාන්‍යයෙන් අප රටේ බොහෝ දෙවිවරුන් සඳහා කැප වූ දේවාල තිබේ. එහෙත්, මෙම ගම් හිමි දෙවිවරුන් උදෙසා එවන් දේවාල නැත. එමෙන්ම බොහෝ දෙවිවරුන් සඳහා වන වාර්ෂික මංගල්‍ය, නානුමුර ආදී වත්පිළිවෙත් ආදිය ද තිබේ. එහෙත් මෙම චූල සම්ප්රදායේ ගම්බාර හෙවත් ගම් හිමි දේවතාවන් සඳහා එවැනි කිසිවක් ද නැත. අනෙ`කක් තබා සෙසු දෙවිවරුන් සඳහා සිදු කෙරෙන කන්නලව්, යාතිකා, කෝල්මුර ආදී වන ආමන්ත්රණ ආදිය පවා මෙම දෙවිවරුන් උදෙසා සිදු කරනු නොලැබේ. බොහෝ විට මෙම දෙවිවරුන් අදහනු ලබනුයේ සංහිඳ මුල් කර ගනිමිනි. සංහිඳ යනු බොහෝ විට වැව් ඉහත්තෑවක ඇති දැවැන්ත වෘක්ෂයක් හෙවත් වනස්පතියක් මුල් කොට ගැමි ජනතාව වන්දනා මාන කිරීම පිණිස යොදා ගන්නා ස්ථානයකි. නුවර කලාවිය, හත්කෝරලය ආදී ප්‍රදේශවල මෙන් වැව් බහුල නොවන ප්‍රදේශවල ද කෙත් වතු මස්තකය වැනි ස්ථානවල මෙම සංහිඳ දක්නට ලැබේ. ජන සම්මතයට අනුව මෙම සංහිඳ යන්න භූමිය අතිශය පවිත්‍ර ස්ථානයකි. කොටින්ම කිවහොත් කවර හේතුවක් මත හෝ එම සංහිඳ අවට පරිශ්‍රයේ කිසිදු ගැමියෙක් ‘එළි බැසීම’ නමින් හඳුන්වන ශරීර කෘත්‍යය කිරීමටවත් නොපෙළඹෙයි.
නුවර කලාවිය සහ හත්කෝරලය ආදී ප්‍රදේශවල මෙම බොහෝ සංහිඳ අයියනායක දෙවියන් උදෙසා කැප වූ ඒවා වශයෙන් සලකනු ලැබේ. එහෙත්, ඒ සංහිඳ හා සබැඳි පූජා චාරිත්‍ර විශේෂයක් නොමැති වීම මත හා අයියනායක දෙවිඳුන් නොඅදහන ප්‍රදේශවල පවා මෙබඳුම සංහිඳ දක්නට ලැබීම මෙය හුදෙක් එක් එක් ගම්මානයට ආවේණික ගම්බාර, ගම්හිමි හෙවත් ග්‍රාම දේවතා විශ්වාසයන් මත පදනම් වන කුඩා පූජනීය ස්ථාන බවට ද අනුමාන කළ හැක.
මාදම්පේ, තනිවැල්ලේ හෙවත් තනිය වල්ලභ දෙවියන් පිළිබඳ ප්රශස්ත අධ්‍යයනයක් සිදු කළ මාදම්පේ, මහවැව, මාලිගාවත්තේ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය රෝහණ මද්දුමරාල මහතා වරක් මා හා මෙම අප්‍රකට ප්‍රාදේශීය දෙවිවරුන් පිළිබඳ අපූරු තොරතුරක් ගෙන හැර දැක්වීය. එනම් මාදම්පේ තිනිපිටිවැව ආශ්‍රිතව තනියවල්ලභ විශ්වාසය පැතිර ගිය සමය වන විට හාත්පස ගම්මාන ආශ්‍රිතව සංහිඳ ඇසුරෙහි ජන වන්දනාවට ලක් වූ ග්‍රාම දේවතා සමූහයා පසුව තනියවල්ලභ දෙවියන්ගේ පරිවාර දෙවිවරුන් වශයෙන් සැලකෙන්නට වූ බවයි. පසුව කල්ගත වීමේ දී ඒ ප්‍රාදේශීය දේවතා විශ්වාසයන් ද තනියවල්ලභ දේව විශ්වාසය තුළට අවශෝෂණය වීම නිසා අද වන විට ඒ ගම්හිමි, ගම්බාර වැනි ග්‍රාම දේවතාවන්ගේ අනන්‍යතාව අහිමි වී ඇති බව ද ඔහු මා හා කීය.අප රටේ දකුණු පළාතට අයත් මීටියාගොඩ ආසන්නයේ ඇති වේරගොඩ(මෙය වෙහෙරගොඩ යන්නෙන් බිඳී ආ වදනකි ) ඇදැහීමට ලක් වූ උපාසක දෙවියකු පසුව ඊට තරමක් නොදුරින් පිහිටි සීනිගම ඇදහීමට ලක් වන දෙවොල් දෙවියන් තුළට අවශෝෂණය වී තිබේ.ඒ අනුව අද වේරගොඩ දේවාලය ද දෙවොල් දෙවියන්ගේ අනසක ඇති ස්ථානයක් සේ සැලකෙන අතර එය පලිගැසීම වැනි කෘෂ්ණ අභිචාර( Black magic) සඳහා ප්‍රසිද්ධ පුද බිමක් වී තිබේ.මෙය අපගේ විශේෂ අවධානයට යොමු විය යුත්තකි.
මෙම චූල සම්ප්රදායේ දෙවිවරුන්ට බොහෝ විට අනන්‍ය වූ නමක් පවා නොමැත. එනිසා විවිධ ප්‍රදේශවල මෙම දේවතාවෝ ගම්බාර දෙවියන්, ගමේ මුත්තා,බහිරව මුත්තා යනුවෙන් හැඳින්වෙති. නමුදු සුවිශේෂ අනන්‍යතාවක් හෝ පුරාණොක්තියක් නොමැති වුව ද මෙම දෙවිවරුන් තම ජීවිතයේ දුක් කම්කටොලු විසඳා ගැනීම පිණිස පිහිට වන බවට පැරණි ගැමියන් තුළ අචල විශ්වාසයක් තිබේ. ඒ සඳහා ඔවුන් විසින් කරන ලද්දේ බදාදා, සෙනසුරාදා යන කෙම්මුර දිනයන්හි සන්ධ්‍යා යාමයේ එම සංහිඳ මුල්කොට පහන් දැල්වීම විශේෂ අවස්ථාවන්හි කිරි ඉතිරවීම ආදී සීමිත යාතුකර්ම කිහිපයකි.
විමලරත්න කුමාරගම කිවිඳාණන්ගේ සුප්‍රකට ‘අයියනායක’ නම් පද්‍ය රචනයේ ද මෙබඳු සංහිඳක් පිළිබඳ සඳහන් වේ. එම කවි පන්තිය තුළින් ඔහු සඳහන් කරන ‘අලියා වැටුණු වැව’ යනු ආණමඩුව ය. එහි එම අයියනායක කවි පන්තිය සඳහා පාදක වූ සංහිඳ සම්බන්ධ වැඩිදුර විමසීම පිණිස මම මීට වසර කිහිපයකට පෙර එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණෙමි. එම සංහිඳ පසුව ඉදි කරන ලද දේවාලයක් ද සහිතව කුරුණෑගල-පුත්තලම ප්‍රධාන මාර්ගයේ ආණමඩුව රෝහල අද්දර වැව් ඉහත්තාවේ දක්නට පුළුවන. එහෙත්, අදටත් පාසල් දරුවන්ට පවා කටපාඩමින් කිව හැකි එම නුග රුකයේ වූ ‘කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ’ යන කවි පදයේ එන බෙනය අප යන විට යම් ගිනි තැබීමකට ලක්ව තිබිණි. එය එම නුග රුකට ද විනාශකාරී බලපෑමක් එල්ල කරන්නකි. එම ගම් හිමි හෝ ගම්බාර දෙවිවරුන් සම්බන්ධ සංහිඳ එලෙස ගිනි තැබීම්වලට ලක් කරන ජන සමාජයකින් ඒ සම්බන්ධ පුරාවෘත්ත ඒකරාශි කිරීම ගින්නකින් යකඩ දැවී ගිය නිවසක පුළුන් සොයන්නාක් බඳු කාරියකැයි මට ඒ මොහොතේ සිතිණි.මේ අතර කිසියම් සුවිශේෂී හැඩ තල ගත් වෘක්ෂලතා පර්වත ආදිය මුල් කොට ද යම් යම් අභිචාර විධි සංවර්ධය වූ අවස්ථා ඉඳහිට අසන්නට ලැබේ.මෙහි ඉහත සඳහන් කළ වේරගොඩ දෙවියන් සම්බන්ධ ඇදැහීම් වලට එහි තිබූ ගල් පර්වතයක් පාදක වූ බවත් පසුව එය අඳුන් ගාන ගල නමින් ප්‍රසිද්ධ වූ බවත් පැවසෙයි.
එහෙත් පන්සිය පනස් ජාතක කතාවල එන කුඩ්ඩක පූව ජාතකයට අනුව පැවසෙනුයේ මිනිසෙකුට පිහිට වීම පිණිස දෙවියකුගේ මහේශාඛ්‍ය බව හෝ ඒ දෙවියාගේ විමානය වැදගත් නොවන බව ය. ඒ බවට නිදසුන් වශයෙන් එක් දුගී මිනිසකු මහා ධන සිටුවරයකු බවට පත් කරන එරඬු ගසකට අරක් ගත් දේවතාවකු පිළිබඳ රස කතාවක් අපට දැනගන්නට ලැබේ. ඒ කෙසේ හෝ අප ජන සමාජයේ අවධානයට ලක් නොවූ මෙම අප්‍රකට දේවතා විශේෂය පිළිබඳ තවදුරටත් මානව විද්‍යාත්මක විමසුම් කිරීම ඉතා වැදගත් කාරියක් සේ මට හැඟෙයි.
තිලක් සේනාසිංහ