අද අපේ වැඩිහිටියන් පමණක් නොව හෙට ලොවේ අයිතිකරුවන් වීමට සිටින දරු පැටවුන් ද බොහොමයක් රෝගීන් වී අවසන් ය. මේ වනවිට මහරගම අපේක්ෂා රෝහලේ පමණක් නේවාසිකව ප්‍රතිකාර ලබන පිළිකාව වැළඳුණු දරුවන් ගණන 200 කට ආසන්න ය.
ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල ප්‍රාථමික පන්තිවල දරුවන් අතර දියවැඩියාව උග්‍ර ලෙසින් පැතිරී ඇති බව අනාවරණය වී ඇත. මේ අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් මිදෙන්නේ කෙසේද යන්න වහ වහා විසඳාගත යුතුව ඇති ගැටලුවකි.
ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය ඉහත පැනයට පිළිතුරක් ලැබෙන ඉතා වැදගත් පර්යේෂණයක් පවත්වා ප්‍රතිඵල එළිදක්වා තිබේ.
මේ පර්යේෂණයෙන් එළිදරවු වී ඇති කරුණු කිහිපයක් නම් අපේ ශරීරය තුළට පිවිසී ක්‍රියාත්මක වන ඇතැම් රෝගකාරකයන් දුර්වල කර විනාශ කරවිය හැකි ශක්තියක් සහ අපට වැළඳෙන රෝග හේතුවෙන් ඇති වන අහිතකර තත්ත්වයන් පාලනය කිරීමේ හැකියාවක් ද ඇතැම් සහල් වර්ග සතුව තිබෙන බව ය.
කාර්මික තාක්ෂණ ආයතනය මේ පර්යේෂණය සඳහා යොදාගෙන ඇත්තේ අද පරපුර නමවත් අසා නැති අපේ ඉපැරණි දේශීය සහල් වර්ගයන් ය.
කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර මේ පර්යේෂණය ගැන පැහැදිළි කරන්නේ මෙලෙසිනි.
අපේ පර්යේෂණයේ ඉලක්කය වුණේ නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යන්න අපි කවර වර්ගයේ සහල් වර්ග තෝරාගත යුතුද කියන කාරණයයි.
අපි මේ සම්බන්ධයෙන් අවුරුදු හත අටක ඉඳන් පර්යේෂණ පවත්වනවා. අපේ අවශ්‍යතාවය වුණේ අපේ මුතුන්මිත්තන් පරිහරණය කර ඇති දේශීය සාම්ප්‍රදායික සහල්වල ඇති ලෙඩ රෝගවලින් මිදී සිටීමේ ගුණය හෙවත් ඔෳෂධීය ගුණය විද්‍යාත්මකව සොයා බැලීමයි.
මෙහිලා අප සතු දේශීය සාම්ප්‍රදායික සහල් වර්ග 25 ක් පමණ පර්යේෂණයට භාජනය කර තිබේ. මේ සහල් ලබාගෙන ඇත්තේ බෝඹුවල සහල් පර්යේෂණ ආයතනයෙනි. මේ සහල් වර්ග අතරින් 4ක ඔෳෂධීය වඩාත් පවතින බව අනාවරණය වී ඇත.
ඒවා නම් මසුරන්, සුදු හීනටි, ගොඩ හීනටි හා දික් වී යග මේ සහල් වර්ග සියල්ලේම පිළිකානාශක ගුණය පවතින බව මේ වනවිට තහවුරු වී අවසන් ය.
විද්‍යාගාරය තුළදී පිළිකා සෛලවලට මේ සහල්වල නිස්සාරකය ඇතුළත් කළා. ඉන් පස්සෙ පිළිකා සෛලවල වර්ධනය සිද්ධ වෙන්නෙ කොහොමද කියා පරීක්ෂා කර බැලුවා.
අපි බොහොම පුදුම වුණා. මේ නිස්සාරකයට ඉතා හොඳින් පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව තිබෙනවා. පැය 24 ක් වැනි කාලයක් තුළදී මේ සහල් නිස්සාරකයෙන් පිළිකා සෛල විනාශ වූ බව ඉතාමත් සතුටින් කියන්න පුළුවන්. විශේෂයෙන් සුදු හීනටි හාලේ පිළිකා නාශක ගුණය ඉතාමත් ඉහළයි.
මේ පර්යේෂණයේ නිගමනයන් පිළිබඳ ප්‍රේමකුමාර මහතා පවසයි.
ඇමරිකාවේ ආකන්සාස් හා පාකිස්ථානයේ කරච්චි විශ්වවවිද්යාලයන්හි විද්‍යාගාරවලදී මුල් වරට මේ පර්යේෂණ පැවැත්විණි. මේ පර්යේෂණවලින් එළිදරවු වී ඇති තවත් වැදගත් කරුණක් වී ඇත්තේ මසුරන් සහලට දියවැඩියාව නිසා ඇතිවන සංකුලතා ඇතිවීම වළක්වාගැනීමේ ප්‍රබල හැකියාවක් ඇති බවය.
එදා අපේ ගොවියෝ වී වර්ග 2500 කට වැඩි ප්‍රමාණයක් අස්වැද්දූ බව සමාජ ගවේෂක පියසේන කහඳගමගේ මහතා ලියූ “කුඹුර”පොතෙන් කියයි.
නිරෝගීමත් සමාජයක් යනු රටක සරු අස්වැන්නකි. ඒ වෙනුවෙන් අද අප කළයුතු වන්නේ අපේ ඉපැරණි වී වර්ග අතරින් අපේ සිරුරේ වස විස නසන, පිළිකා වැනි දරුණු ලෙඩ රෝගවලින් රැකවරණය සලසන ඉපැරණි වී වර්ග තෝරා බේරාගෙන රසායනික පොහොරෙන් තොර කාබනික පෝෂණීය පරිසරයක වගා කර එහි අස්වැන්න පරිභෝජනය කිරීම ය.
එපමණක් නොව සහල් වර්ග පොදු මහජනතාවට මිලදී ගත හැකි වන අන්දමට ඒවායේ මිල තීරණය වියයුතුය. මෙය වහ වහා රාජ්‍ය මැදිහත් වීමෙන් ක්‍රියාත්මක වන පුළුල්ල ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් විය යුතුමය.
නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි