අපේ රටේ ඉතා බහුල රෝග තත්ත්වයන් අතරට දැන් පිළිකාව ද පැමිණ තිබේ. පිළිකා වැළඳුණු අය සහ පිළිකා රෝගයෙන් මියගිය අය පිළිබඳව නිරන්තරයෙන් අපට අසන්නට ලැබීම මේ තත්ත්වය තවදුරටත් සනාථ කරවයි. ඒ කෙසේ වුවද පිළිකා රෝගයෙන් බැට කන රෝගියෙකු දුටු කල ඔබට ඇති වූ හැඟීම කුමක්ද? “මට නම් මෙහෙම දෙයක් වෙන එකක් නෑ” යනුවෙන් ඉබේටම මෙන් ඔබට සිතෙන්නට ඇතුවා නිසැක ය. එලෙස හැඟෙන්නේ ඒ මනුෂ්‍ය ස්වභාවය නිසාය. කෙසේ වුවද පිළිකා මාරයා කොයි මොහොතේ කවුරුන් ගොදුරු කර ගනීවි දැයි කාටවත් කිව හැකි නොවේ.
අපේ ශරීරය නිර්මාණය වී ඇත්තේ පියවි ඇසට නොපෙනෙන ඉතා සියුම් පෙට්ටි ආකාරයේ සෛල පොදියක් එකතු වීමෙනි. කෙස් ගසකටත් වඩා ඉතාමත් සියුම් වූ මෙම සෛල කුඩා දේ විශාල කර බැලිය හැකි උපකරණයක ආධාරයෙන් මිස පියවි ඇසින් දැක බලා ගත හැකි නොවේ. මවගේ සහ පියාගේ සෛල දෙකක් එකතු වීමෙන් සෑදෙන තනි සෛලයකින් ආරම්භ වී මිනිස් ශරීරය මේ තරම් විශාලව වර්ධනය වන්නේ මිනිස් සිරුරේ සෛල වර්ධනය වන විශ්මයජනක ආකාරය නිසාය.
අපි මෙම සෛල වර්ධනය වන ආකාරය පිළිබඳව තවදුරටත් පැහැදිලි කර ගනිමු. එවිට ඔබට සිරුරේ පිළිකාවක් වර්ධනය වන ආකාරය වටහා ගැනීම ඉතා පහසු වනු ඇත.
පාන් ගෙඩියක් දෙකට කැපූ විට ඔබට පාන් භාග දෙකක් ලැබේ. නමුත් මේ පාන් භාග දෙක නැවත සම්පූර්ණ පාන් ගෙඩි දෙකක් සේ විශාල වන්නේ නැත. එසේ වුවත් මිනිසාව නිර්මාණය කරන සෛලවල තනි සෛලයක් දෙකට බෙදුනාට පසු ඒ සෛල භාග දෙක නැවත තැනෙන්නේ සම්පූර්ණ තනි සෛල දෙකක් ලෙසිනි. ඒ සෛල ද නැවත නැවත බෙදී එසේ බෙදී වෙන් වන සෑම සෛලයක්ම යළි යළිත් සම්පූර්ණ සෛල බවට ම පත් වෙමින් ගුලියක් ආකාරයට කළලයක් නිර්මාණය වෙයි. ඒ කළලය පසුව මනුෂ්‍ය ශරීරයක් ආකාරයට නිර්මාණය වී ඉන්පසු මව් කුසින් පිටතට පැමිණ උස් මහත් වී වැඩිහිටියෙකු වන තුරුම ඒ අයුරින්ම වර්ධනය වීම සිදුවේ.
වැඩිහිටියකු වූ පසුව එතරම්ම සෛල වර්ධනයක් සිදු වන්නේ නැත. එලෙස සෛල වර්ධනය වෙනවා නම් එසේ වන්නේ තුවාලයක් සිදු වූ විටෙක හෝ සිරුරේ යම් ස්ථානයක් අනතුරකින් කැඩී බිඳී යාමක් සිදු වූ අවස්ථාවක ය. එවිට ක්‍රම ක්‍රමයෙන් එම ස්ථානයේ සෛල වර්ධනය වී එය යථා තත්ත්වයට පත් වීම සිදු වෙයි.
සෛල වර්ධනය වැඩිහිටි වියට පැමිණි පසු නතර වන අතර එසේ නතර වූ සියලු සෛලවලින් හිටිහැටියේ එකක් නො නවත්වා යළි වර්ධනය වන්නට පටන් ගැනීමට පුළුවන. පිළිකාවක් යනු එම තත්ත්වයයි. නමුත් සාමාන්‍ය සෛල වර්ධනය වන තරම් වේගවත් ව මෙය වර්ධනය නොවේ. එය වැඩෙන්නේ එම සිරුරේ අයිතිකරුටවත් නොදැනෙන අන්දමින් ඉතා සෙමින් ය.
අපේ ශරීරයේ ඇතැම් ස්ථාන මුළු සිරුරම බලා කියා ගන්නා වැදගත් ස්ථාන වේ. තවත් සමහර ස්ථාන එපමණට ම වැදගත් වන්නේ නැත. සමහර තැන් අතින් තද කළ විට වේදනාවක් දැනෙන අතර තවත් සමහර තැන් එලෙස සංවේදී නැත. මෙවැනි එතරම් සංවේදී නොවන තැනක පිළිකා සෛල එම පුද්ගලයාටවත් නොදැනෙන අන්දමින් ඉතා බලසම්පන්න ලෙස වර්ධනය විය හැකිය.
අපේ ශරීරයේ සමහර අවයවයන්ට සිරුර තුළ හිමි වී තිබෙන්නේ සීමිත ඉඩ ප්රමාණයකි. එවැනි අවයවයක පිළිකා සෛල වර්ධනය වුවහොත් ඒ අවට ඇති සාමාන්‍ය සෛල තෙරපෙමින් තැලීමකට ලක් වනු ඇත.
යම් හෙයකින් පිළිකා සෛල නිසා ලේ නහරයකට හානි සිදු වුවහොත් රුධිර වහනයක් වීමට ඉඩ ඇති අතර එය සුළු හෝ බරපතල ආකාරයේ එකක් වීමටද ඉඩ තිබේ.
ලේ නහරයක් අසලින් පිළිකාවක් වර්ධනය වන්නට පටන් ගත් විට ඊට වඩා තවත් වෙනස් දෙයක් ද සිදුවිය හැකිය. ඒ, ලේ නහරය තුළින් රුධිරය ගලා ගෙන යාමේදී පිළිකා සෛල ද එම රුධිරයටම එකතු වී ලේ නහරය දිගේ සිරුර තුළ ගලා යාම ය. සාමාන්‍යයෙන් කාණුවක් දිගේ වතුර ගලා යන විට ඒ සමග ගලා යන කුණු රොඩු තමන්ට පහසු තැනක නතර වී එතැන තැන්පත් වන පරිද්දෙන් රුධිරය හා එක්ව ගලා යන පිළිකා සෛල ද පහසු තැනක රැඳෙනු ඇත. එසේ රැඳීම පහසු වන ස්ථාන අතර මොළය, පෙනහලු, අක්මාව, වසාගැටිති
(කුද්දටි) ප්‍රධාන වේ. මෙවැනි තැන්වල පිළිකා සෛල රැඳී ඒවා එහි වර්ධනය වන විට වටපිටාවේ ඇති අනෙක් සාමාන්‍ය සෛල තද වීමකට ලක්වේ. මේ නිසා නොයෙකුත් ගැටලු මතුවන්නට පටන් ගනියි.
පෙනහලු අපේ සිරුරේ රහසිගත අවයවයක් යැයි කීම නිවැරදි ය. ඒ තුළ පිළිකාවකට වර්ධනය වන්නට පහසු අවකාශයක් තිබේ. මෙහිදී පෙනහලුවලට පිටින් වතුර එක්රැස්වීමක් හෝ ශ්වසන මාර්ගයේ පැත්තක් අවහිර වීම නිසා හුස්ම ගැනීමේ දී කිසියම් අපහසු තත්ත්වයක් පැනනැගීම හැර වෙනත් සැලකිය යුතු රෝග ලක්ෂණයක් රෝගියාට කලක් යනතුරු නොදැනෙනු ඇත.
අක්මාව තුළ පිළිකා සෛල වර්ධනය වන විට ඒ තුළ පිත තද වී ඇස් කහපාට වන්නට පටන් ගනී. ඒ හැර වෙනත් සැලකිය යුතු රෝග ලක්ෂණයක් නොපෙන්විය හැකිය.
මෙවැනි කලක් තිස්සේ පවතින සුළු වේදනාවක්, හිරි ගතියක්, කැස්සක්, හුස්ම ගැනීමේ අපහසුවක්, සිරුරේ අප්‍රාණික ගතියක්, රුධිර වහනයක්, වැසිකිළි යාමේ අපහසුවක්, කටහඬ වෙනස් වීමක් වැනි ලක්ෂණ ඇතැම් විට සිරුර තුළ රහසේ ආරම්භ වී වර්ධනය වන පිළිකාවක් පිළිබඳ ඉඟියක් වීමට බැරි නැත.
මෙලෙස කලක් තිස්සේ හොර රහසේ වර්ධනය වන පිළිකාව පසුව විශාල මස් වැදැල්ලක් බවට පත් වෙයි. එවිට ඉන් නිකුත්වන විවිධ විෂ ද්‍රව්‍ය නිසා ශරීරයේ නොයෙක් ආකාරයේ අර්බුද හට ගන්නා අතර ආහාර අරුචිය, ශරීරය කෙට්ටුවීම, උණ, අධිකව දහඩිය දැමීම, සිරුර අප්‍රාණික වීම වැනි ලක්ෂණ ඇතිවී අනතුරුව රෝගියා මරණයට පත්වීමට ඉඩ ඇත.
මෙතරම් අවදානම් සහගත වුවද පිළිකාවක් සඳහා කරන්නට ඇති දේ සීමාසහිත ය.
මුලින්ම කරන්නේ පිළිකාව වර්ධනය වී ඇති ස්ථානය, ප්‍රමාණය සහ පැතිරී ඇති ආකාරය හඳුනා ගැනීමයි. මෙසේ පිළිකාව හඳුනා ගැනීම සඳහා පිළිකාව වර්ධනය වන ස්ථානයට ම විවිධ උපකරණ යවා එම වර්ධනය වන සෛල කිහිපයක් පිටතට ගෙන ඒවා අන්වීක්ෂයක් ආධාරයෙන් නිරීක්ෂණය කරමින්, එම සෛලවලට වර්ණ ඇතුලු කරමින් පිළිකාව කුමන වර්ගයේ ද යන්න හඳුනාගත හැකිය. ඒ එක් ආකාරයකි.
ඒ හැරුණු විට එක්ස් කිරණ, සී.ටී. ස්කෑන්, එම්. ආර්. අයි. ස්කෑන්, පෙට් යන්ත්‍රය යන මේවා ආධාරයෙන් පිළිකාව හඳුනා ගැනීමේ හැකියාව පවතී.
පිළිකාව වර්ධනය වන විට එයින් නිකුත් වන විෂ රුධිරයට එකතු වන නිසා සමහර පිළිකා රුධිර පරීක්ෂණ මගින් ද හඳුනාගත හැකිය.
මෙම පිළිකා සෛල සහිත මස් ගුලියක් වන කොටස ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම ද සිදුවේ. එවැනි අවස්ථාවක ඒ හා සම්බන්ධ අවයවයෙන් කොටසක්ද ඉවත් කරන්නට සිදු විය හැකි අතර එසේ කරන්නේ පිළිකාවෙන් වෙන හානිය වළක්වා ගන්නට ය.
සමහර අවස්ථාවල පිළිකාව වෙනත් ස්ථානවලට පැතිරී යයි. හඳුනා ගැනීමට අපහසු තැනක පැතිර ගොස් තිබුණොත් එය කාලයක් පුරා විශාලව වර්ධනය වනු ඇත.
පිළිකාව මර්දනය කිරීම සඳහා ඖෂධ ලබා දීම සහ කරන්ට් ඇල්ලීම ද සිදුකරනු ලබයි. පිළිකා සෛල වර්ධනය වන්නේ සාමාන්‍ය සෛලවලට වඩා සෙමෙන් නිසා එහි වර්ධනය තවත් බාල කරවන ඖෂධ ලබා දෙන අවස්ථා තිබේ. මේ ප්‍රතිකාර කරනු ලබන්නේ රෝගයේ ස්වභාවය අනුව ය.
මෙවැනි ඖෂධ නිසා පිළිකා සෛලවල වර්ධනය අඩාල වන සේ ම, මුළු ශරීරයේ ම වර්ධනය ද බාල වෙයි. එහෙත් වැඩිහිටියකුගේ අත් පා ආදිය වර්ධනය වී අවසාන නිසා අත් පා ආදියට මෙය බලපාන්නේ නැත. නමුත් හිසකෙස් වැනි නිරන්තරයෙන් වර්ධනය වන සෛලවලට මෙයින් බලපෑම් ඇතිවී කෙස් ගැලවී යන්නට පටන් ගනී. පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන විට හිසකෙස් සේම සිරුරේ රෝම පවා හැලී යන්නේ මේ නිසා ය.
පිළිකාවට කරන්ට් ඇල්ලීම කරන්නේ පිළිකා සෛල වර්ධනය වන ස්ථාන ම ඉලක්ක කර ගනිමිනි.
කෙසේ වුවද පිළිකාවකට ගොදුරු නොවී සිටීමේ හැකියාවක් 100% ක් ම අපට නැත. එහෙත් හැකි පමණින් පිළිකාකාරකවලින් මිදී සිටීමේ හැකියාව තිබේ.
කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
ඉන්දු පෙරේරා