සමාජ පරමාදර්ශ, පුරුෂාර්ථ වලට පවා අලෙවි වටිනා කමක් ලබා දී තම තමන්ගේ ආත්මාර්ථය තහවුරු කර ගැනීමට විවිධ පුද්ගලයන් හා පිරිස් සංවිධානාත්මකව කටයුතු කිරීම අධිපරිභෝජනවාදී සමාජයක දැකිය හැකි දුර්දාන්ත ලක්ෂණයකි.එය අප සමාජය කෙරෙහි කොතෙක් අනර්ථකාරී ලෙස බලපා තිබේ ද යත් ජාතියේ මහා ගාන්ධර්වයාණන් ලෙස අවිවාදයෙන් පිළිගැනෙන දිවංගත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගේ කීර්ති නාමය ද ඒ සඳහා යොදා ගන්නා බවක් පෙනෙයි. පුරා වසර 6 කට පසු අමරදේව-විමලා භෂ්මාවශේෂ තැන්පත් කිරීම පසුගිය 03 වෙනිදා “අපේ ගම” පරිශ්‍රයේ අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රයේදී සිදුකරන ලද බවත් ඒ සංසිද්ධිය යම් යම් පිරිස් සිය දේශපාලන මතවාද කුළු ගන්වා ගැනීම සඳහා විකෘත කර ජනගත කිරීම සම්බන්ධයෙන් අමරදේව පදනමේ කණස්සල්ල කරන බවත් අමරදේව පදනම විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටීමෙන් ඒ බව සනාථ වෙයි. මේ සුසාන ඝරය පිළිබඳ අමරදේව පදනමේ එම ප්‍රකාශයයි.
“පුරා වසර 6 කට පසු අමරදේව-විමලා භෂ්මාවශේෂ තැන්පත් කිරීම පසුගිය 03 වෙනිදා “අපේ ගම” පරිශ්‍රයේ අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රයේදී සිදුකරන ලදී. එම කාර්යය පිළිබඳව අප එදින දැක්වූ අදහස විකෘත කර ඊට දායක වූවන් අප්‍රසාදයට පත් කරන අන්දමේ තොරතුරු ද්වේශ සහගත ලෙස ප්‍රචාරය වනු දැකීම නිසා මේ ප්‍රකාශය නිකුත් කරන්නට සිදු වී තිබේ.
අමරදේවයන්ගේ භෂ්මාවශේෂ තැන්පත් නොකිරීම සම්බන්ධයෙන් වර්ෂයක් පාසා අමරදේව පදනමට චෝදනා එල්ල විය. මේ ප්‍රමාදය සිදු වූයේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහා “අපේ ගම” පරිශ්‍රයෙහි ඉදිවන අසපුවෙහි ස්ථානයක් වෙන්කර තිබීමත් අසපුවෙහි ඉදි කිරීම් නොවැලැක්විය හැකි හේතූන් මත දින නියමයක් නොමැතිව කල් යෑමත් නිසා ය. මේ කල්ගත වීමේ ප්‍රධාන වග උත්තරකරු ඒ ඉදිකිරීම් සම්පූර්ණයෙන් අඩපණ කළ කොන්ත්‍රාත්කරු ය. ඒ හේතුවෙන් අතරමග නතර වුණු ඉදි කිරීම් යළි ආරම්භ කළේ බුද්ධසාශන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාගේ අධීක්ෂණයෙනි. එතුමාගෙන් පසු වත්මන් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ සහ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ පෞද්ගලික මැදිහත් වීමෙන් ඉදිරි මාස 8 තුළ අසපුවේ ඉදිකිරීම් සම්පූර්ණයෙන් නිම කිරීම සඳහා රජයේ ප්‍රතිපාදන වෙන්කර ඇති අතර දැන් නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් වැඩ කටයුතු සිදුවෙමින් පවතී.
ඒත්, භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහා තවදුරටත් බලා සිටිය නොහැකි බැවින් එම පරිශ්‍රයෙහි වෙනත් තැනක සුසාන ඝරයක් තැනීමට පදනම විසින් තීරණය කරන ලදී. ඒ සඳහා ලක්ෂ 7ක මුදලක් වැයවන බවට තීරණය කළ අතර අසපුව සඳහා වූ රජයේ මූල්‍ය ප්‍රතිපාදන ඒ සඳහා වැය නොකළ යුතු බව ද අමරදේව පදනමේ සාමාජිකයින් විසින් පෙන්වා දෙන ලදී. මෙහිදී එම මුදල සපයා දීමට ආචාර්ය නන්දා මාලිනී මහත්මිය සිය ස්ථිර තැන්පතුවෙහි තිබුණු ලක්ෂ 5 ක මුදල ද, පදනමේ සාමාජික විශේෂඥ වෛද්‍ය සර්ධා හේමප්රිය මහතා ඉතිරි ලක්ෂ 2 ක මුදල ද වැය කර උක්ත සුසානඝරය තැනුවේ එබැවිනි.
පසුගිය 03 වෙනිදා අමරදේව පදනමේ සාමාජිකයින් පමණක් සහභාගී වූ චාම් උත්සවයකදී භෂ්මාවශේෂ තැන්පත් කරනු ලැබිණි.
දැන් ඒ සංසිද්ධිය යම් යම් පිරිස් සිය දේශපාලන මතවාද කුළු ගන්වා ගැනීම සඳහා විකෘත කර ජනගත කිරීම සම්බන්ධයෙන් අමරදේව පදනමේ කණස්සල්ල මෙසේ පළ කර සිටිනු ලැබේ”.
අමරදේව පදනම