“අවම බලය” යොදා මිනී මැරීමේ අලුත්ම පොලිස් රාජකාරිය

රඹුක්කන දී නිරායුධ උද්ඝෝෂකයන් පිරිසකට පොලීසිය වෙඩි තැබීය. ඉන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 27 දෙනෙකු තුවාල ලැබා ඇති බව ප්‍රකාශ විය.උද්ඝෝෂකයන් ඉන්ධන බවුසරයකට ගිනි තැබීම වැළැක්වීම උදෙසා පොලීසිය “අවම බලය” පාවිච්චි කළ බව පොලිස්පති සී.ඩි වික්‍රමරත්න ප්‍රකාශ කළේය.

එහෙත්, “අවම බලය” යෙදවීම යනු ජීව උණ්ඩ යොදා ජනතවට වෙඩි තැබීම ද යන පැනය මතුවේ. අනෙක් කාරණය අවම බලය භාවිතා කිරීම යනු දණ හිසෙන් ඉහළට වෙඩි තැබීම ද යන කාරණයට ද පොලිස්පතිවරයා පිළිතුරු දිය යුතු ය.නමුත් සාමාන්‍ය මිනිසුන් විරෝධතාකරුවන් ලෙස මහමඟට බැස්සේ ඇයි කියන කාරණයට ද කිසිවෙකු පිළිතුරු දෙන්නේ නැත.

රඹුක්කන සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන අවසන් වූයේ ඉකුත් 18 දා සවස 2.00 ට පමණ ය. කුසගින්නේ අළුයම සිට ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ සිටි පිරිසට ඉන්ධන අවසන් බව දැනුම් දීමත් සමඟ ඔවුහු විරෝධය පළකරන්නට වූහ.ඒ පිරවුම්හළේ ඉන්ධන තබාගෙන ඉන්ධන නොදෙන බව කියමිනි. පසුව පොලිසිය පැමිණ පරික්ෂා කරද්දී සැබෑවටම එහි ඉන්ධන නොමැති බව හෙළිවීම නිසා විරෝධය නතර වී තිබේ.

පසුව පිරවුම්හලේ සේවකයන් පවසා ඇත්තේ ඉන්ධන රැගත් බවුසරයක් සවස් වන විට පැමිණීමට නියමිත බව ය. සවස් වන විට පරික්ෂා කරද්දී එය මඟ එන බවට තොරතුරු වාර්තා විය. පසුව රාත්‍රී 9.00 ට පමණ ඉන්ධන පිරවුම් හල් සේවකයන් බෙදුම්කරු අමතා පරික්ෂා කරද්දී තෙල් බවුසරය නිට්ටඹුව ප්‍රදේශයට පැමිණ ඇති බව තහවුරු වී තිබේ.

නමුත්, එතනින් පසුව තෙල් බවුසරය ගැන ආරංචියක් නොමැතිව සිටි පිරිස් වාහනවලම නිදන්නට වූහ.ඒ කීයට හෝ ඉන්ධන පැමිණෙතැයි විශ්වාසයෙනි. එහෙත්, මධ්‍යම රාත්‍රිය වන විට ඔවුන්ට ආරංචි වූයේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බව ය. පෙරදා නිට්ට්ඹුවට පැමිණි බව කී ඉන්ධන රැගත් බවුසරය ඉතිරි කිලෝ මීටර් කිහිපය පසු කොට රඹුක්කනට පැමිණියේ ඊට පසු දින පෙරවරුවේ ය. ජනතාව කුපිත වූයේ ඒත් සමඟ ය. ඔවුන් දිගින් දිගටම කීවේ එම ඉන්ධන මිල ඉහළ නැංවීම මුල් කොටතෙල් බවුසරය හිතා මතා ප්‍රමාද කිරීම නිසා පැරණි මිලටම ඉන්ධන ගොඩ බෑ යුතු බව ය.

ඔවුන් ඉන්ධන තෙල් සංස්ථාවෙන් ගන්නේ පැරණි මිලට නිසා තමන්ට ද එම බවුසරයේ ඉන්ධන පැරණි මිලට දිය යුතු බවට ජනතාව හඬ නඟන්නට වූහ. එම නිසා තෙල් බවුසරය ඉන්ධන ගොඩ නොබා පිටත්වීම හේතුවෙන් විරෝධතාකරුවන් මඟ හරස් කිරීම නිසා ඉන්ධන බවුසරය නතර කරන්නේ රඹුක්කන දුම්රිය මර්ගය ද අවහිර කරමිනි.

විරෝධතාකරුවන් දිනය පුරාම දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් නවතා තිබූ බවුසරය අසල සිට සිය විරෝධතාවයේ නිරතව සිටියහ. උදෑසන සිට සවස් වනතුරුම කිසිදු නිලධාරියෙකු මැදිහත්ව මෙම ප්‍රශ්නය විසඳන්නට උත්සාහ කර නැති බව ප්‍රදේශවාසීහු කියති. නමුත් දුම්රිය හරස් මාර්තය වසා තිබීම නිසා උඩරට දුම්රිය මාර්ගය එතනින් ඉහළට සහ පහළට කිසිදු දුම්රියකට ගමන් කිරීමට හැකියාවක් ලැබුණේ නැත.

මේ අතර ඉහළට යාමට ඉන්ධන රැගත් දුම්රියක් ද පැමිණ තිබූ අතර තෙල් සංස්ථා නිලධාරින් හා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පොලිස්පති සී.ඩි වික්‍රමරත්නට දැනුම් දී ඇත්තේ එම ඉන්ධන රැගත් දුම්රියට එම ස්ථානය පසු කර ගත නොහැකි වුව හොත් මහනුවර, බදුල්ල ප්‍රදේශවල බරපතල ඉන්ධන හිඟයක් මතුවිය හැකි බවට ය.

ඒ අනුව පොලිස්පතිවරයා අමාත්‍යාංශ ලේකම් හා විෂයභාර නව ඇමතිවරයා සමඟ සාකච්ඡා කොට කදුළු ගෑස් යොදා පිරිස විසුරුවා හැරීමට ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත අවසර ලබා දුන්නේය. පොලිසිය පසුපස ලුහුබඳිමින් වෙඩි තැබූවේ කදුළු ගෑස් ප්‍රහාර හමුවේ දිව යන පිරිස් වෙත ය. පොලිසිය පුද්ගලයෙකු අල්ලාගෙන විත් බස් නැවතුම්පොලක තබාගෙන පහරදෙන විඩියෝවක් ද සමාජ මාධ්‍යවේ පවතියි.

පොලිස්පතිවරයා කියන ලෙස පොලිසිය කළ අවම බලය පාවිච්චි කිරීමේදි වෙඩි තබා ඇත්තේ දණහිසින් පහළට නොව ඉහළටය. නීතීඥ උපුල් කුමාරප්පෙරුම සඳහන් කරන්නේ පොලිසියට කිසිදු විටක නිරායුධ පිරිසකට වෙඩි තැබිය නොහැකි බවය. එමඟින් පොලිසියට එරෙහිව ඝාතන චෝදනා ගොනු කිරීමට හැකි බවද ඔහු සඳහන් කළේය.

පොලිස්පතිවරයා කියන්නේ පිරිස ත්‍රිරෝද රථයකට ද ගිනි තබා බවුසරයට ද ගිනි තැබීමට උත්සාහ කළ බව ය. එසේම ගල් මුල් ප්‍රහාර ද එල්ල කළ බවත් අහසට වෙඩි තැබුව ද එයින් පිරිස පාලනය නොවු නිසා වෙඩි තබා ඇතැයි පොලිස්පතිවරයා කියයි. ප්‍රදේශවාසීන් කියන්නේ ත්‍රිරෝද රථයට ගිනි තබන්නේ පොලීසිය සිදු කළ වෙඩි තැබීමෙන් පසුව බව ය.

එසේ නම් මෙය මිරිහානේ ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේදී බස් රථයට ගිනි තැබූ සිද්ධියට සමාන ය. එම ගිනි තැබීම සිදු කළ පුද්ගලයා තවමත් අත්අඩංගුවට ගෙන නැත. අනෙක් කාරණය විරෝධතාකරුවන්ට අවශ්‍ය නම් බවුසරයට ගිනි තැබීමට ඕනා තරම් කාලය තිබුණි. ඔවුන් ඉල්ලා සිටියේ පැරණි මිලට තෙල් තොග රැගෙන ආ බවුසරයෙන් පැරණි මිලටම ලබා දෙන ලෙස ය.

තෙල් සංස්ථාවේ නිලධාරීන්ට මෙය පැහැදිලිව විසඳන්නට ඉඩ තිබුණි. බවුසරය සැබෑවටම තෙල් ලබා ගත්තේ කවදාද? යන්න සංස්ථාවේ නිලධාරීන්ගේ ලේඛනවල තිබේ. නමුත් පොලීසියේත් තෙල් සංස්ථාවේ නිලධාරීන්ගේත් වගකීම් විරහිත ක්‍රියා පිළිවෙත හේතුවෙන් අහිංසක ජීවිතයක් රටට අහිමි වී තිබේ. එසේම තවත් පුද්ගලයන් හතර දෙනෙකු ජිවිතයත් මරණයත් අතර සටනක නිතරව සිටිති.

නීතිඥ සංගමය මේ සිද්ධියට අදාළව සොයා බලා පොලිසියට හා වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සුදානම් වෙමින් සිටියි. එය බෙහෙවින්ම අගය කළ යුතු කාරණයකි. රඹුක්කනට පිටතින් පැමිණි පොලිස් කණ්ඩායම් හා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙසට ප්‍රදේශවාසීහු ඇගිල්ල දිගු කරයති. වෙඩි තැබීමේ චෝදනාව එල්ල වන්නේ ඔවුන්ටය.රජය පොලිස් කැරළි මර්දන කණ්ඩායම් වෙනුවට පොලිස් ඝාතක කණ්ඩායම් ජතතාව හමුවට එවන බවන ඔව්හු කියති.

එසේම ප්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයාගේ ක්‍රියාකලාපයත්, සිද්ධිය වූ බලප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයාගේ ක්‍රියාකලාපයත් දෝෂ සහිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිස්පතිවරයා කුමක් කීවත් මනුෂ්‍ය ඝාතනය සාපරාධී ක්‍රියාවකි.එමෙන්ම මෙය රටේ ඉහළම දේශපාලනඥයන්ගේ මන දොල සපිරීමක් බව ද පැහැදිලිය.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ද ඒ බව පවසා තිබේ.මෙවන් තත්වයක් තුළ මෙම බිහිසුණු ක්‍රියාවලට එරෙහි ව ජනතාව නැඟී නොසිටිය හොත් “ආයුධ පෙන්වන්නට යාමේ දී සැක කරු පොලීසියට අත් බෝම්බයක් එල්ල කිරීම” වැනි ගොබ්බ පිටපත් වලට අනුව සිදු කෙරෙන පොලිස් මිනීමරු නාඩගම් එළිපිටම නැටීමට පොලීසියට අවකාශ ලැබෙනු ඇත.

ලසන්ත වීරකුලසූරිය

 

 

එතෙර - මෙතෙර