අසරණ ජීවිත විසි හයකට එල්ල වූ මාරකයක් නූලෙන් බේරීමේ පසුබිම් කතාව

හෝමාගම මූලික රෝහලේ ඔක්සිජන් සැපයුම් කාමරයට රහසිගත ලෙසින් ඇතුළු වී ඔක්සිජන් සැපයුම සාහසික ලෙස නතර කර ඔක්සිජන් සැපයෙන රෝගීන්ගේ‍ ජීවිත මාරාන්තික අවදානමකට ලක් කළ බව පැවසෙන එම රෝහලේම සේවයේ නිරත සෞඛ්‍ය කාර්යය සහායකයකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හේමාගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට අනුයුක්තව සේවයේ නිරත තලංගම දකුණ, පැලවත්ත ප්‍රදේශයේ පදිංචි (29) හැවිරිදි සෞඛ්‍ය කාර්ය සහායකයකු බව ද පොලිසිය පවසයි.

ඉකුත් 19 වැනිදා රාත්‍රි එක්වරම රෝහලේ අනතුරු අඟවන සීනුව නාද වීමත් සමග රෝහල් කාර්ය මණ්ඩලය වහා යුහුසුළුව ක්‍රියාත්මක වී ඒ පිළිබඳව විපරම් කර බැලීමේදී ඔක්සිජන් සැපයුම් කාමරයේ දොර විවෘත කර තිබෙනු දැක තිබේ. අනතුරුව ඔවුන් ඔක්සිජන් සැපයුම් කාමරය තුළට ගොස් බැලීමේදී එහි ගබඩා කර තිබූ ඔක්සිජන් සිලින්ඩර් කිහිපයක් විවෘත කර ප්‍රධාන ඔක්සිජන් සැපයුම් නළ මාර්ගය වසා දමා තිබෙනු දැක තිබේ.රෝහල් කාර්ය මණ්ඩලය යුහුසුළුව ක්‍රියාත්මක වීම නිසා ක්ෂණිකව ඔක්සිජන් සැපයුම යථා තත්ත්වයට පත් කොට තිබේ.ඒ වන විට දැඩි සත්කාර ඒකකයේ, නොමේරු ළදරු ඒකකයේ හා වාට්ටුවල රෝගීන් 26 දෙනෙකු සඳහා ඔක්සිජන් ලබාදෙමින් තිබී ඇත. යම් හෙයකින් සෞඛ්‍ය කාර්යය සහායකයා අඩාළ කළ ඔක්සිජන් සේවාව යථා තත්ත්වයට පත්කිරීමට බාධා පැමිණියේ නම් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පස් දෙනෙකුගේ සහ නොමේරු ළදරු ඒකකයේ සිටි බිළිඳු දරුවන් 10 දෙනෙකු ඇතුළු 26 දෙනෙකුගේ ජීවිත කෙරෙහි මරණීය තර්ජන එල්ල වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සාතිශය බරපතල සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලික රෝහලේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිවරයා විසින් එදිනම හෝමාගම මූලස්ථාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව රෝහලේ ආරක්ෂක අංශ, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, සුළු සේවකයන් ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. එහිදී අනාවරණය වූ කරුණු අනුව එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට අනුයුක්තව සේවයේ නිරත ඉහත සඳහන් සෞඛ්‍ය කාර්යය සහායකයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඉහත සඳහන් සිදුවීම සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගැනෙමින් තිබෙන නිසා ඒ සම්බන්ධ අදහස් දැක්වීමක් නොකරමු.නමුදු මෙබඳු සිදුවීම් යම් යම් නොදැනුවත්කම් සහ අතපසු වීම් නිසා ද සිදුවිය හැක.එහෙත්, එවැනි තත්වයක් නොවිණි නම් මෙය සැලකිය යුත්තේ සාපරාධී චේතනාවක්( Mens res ) පදනම් ව සිදු කළ සාපරාධී ක්‍රියාවක් ලෙස ය.එහෙත්,ඒ සාපරාධී ක්‍රියාවට ලක් වන්නවුන් හා අපරාධ කරු අතර ඇති සම්බන්ධතාව ද අපරාධ විද්‍යාවේ දී සළකා බැලේ.පරණ කෝන්තරයක්,හදිසි කෝපයක්,ලිංගික ප්‍රචණ්ඩත්වයක්,එසේත් නොමැති නම් සොරකමක් සම්බන්ධ සිදුවීමක් නැතහොත් සමාජ,දේශපාලන ආගමික වැනි හේතුවක් මේ සඳහා ඉවහල් විය හැක.මෙවන් අපරාධ සිදු කිරීමේ දී තම අරමුණ මිස ඊට නතු වන්නෝ කවුරුන්ද?යන්න කෙරෙහි අපරාධ කරුවන් ගේ අවධානය යොමු නොවේ.තවමත් හරිහැටි හෙළි නොවූ අභිරහසක්ව පවතින පාස්කු ප්‍රහාරය ඒ සඳහා ගත හැකි ආසන්නතම නිදසුනකි.නමුදු ඉහත සඳහන් කිසිදු හේතුවක් හරිහැටි ඉදිරිපත් නොවන අපරාධ ද ලෝකයේ බොහෝ රට වලින් වාර්තා වෙයි.එම අපරාධ ලොව නොදියුණු සේම දියුණු සමාජ වලින් ද එක සේ වාර්තා වන බව අපරාධ මනෝ විද්‍යාඥයෝ කියති.නිදසුනක් ලෙස ඉහත සඳහන් සිදුවීමට අනුව ඉකුත් 19 වැනිදා රාත්‍රි කුමන හෝ හේතුවක් මත රෝහලේ අනතුරු අඟවන සීනුව නාද නොවූයේ නම් එම රොහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පස් දෙනෙකුගේ සහ නොමේරු ළදරු ඒකකයේ සිටි බිළිඳු දරුවන් 10 දෙනෙකු ඇතුළු 26 දෙනෙකුගේ ජීවිත අහිමි වීම සම්බන්ධ පුවත ඊට පසුදාම ලෝක ප්‍රවෘත්තියක් ලෙස ඉස්මතු වනු ඒකාන්තය.

ඉහත ආකාරයේ ගුප්ත හේතූන් මත කොහේවත් හිඳන අසරණයන් ඝාතනය කිරීමට තැත් කිරීම එම පුද්ගලයාගේ මානසික රෝග මත සිදුවන අවස්ථා දි තිබේ.විශේෂයෙන් භින්නෝන්මාදය( Schizophrenia ) ද්වි අග්‍ර රෝගය(Bipolar disorder ) විශාදය යන රෝග නිසා ද යමකු මෙවැන්නකට යොමු වනු දැකිය හැක.ඊට අතතරව විෂම පෞරුෂ ලක්ෂණ අනුව ද සිදුවන්නක් බව පෙනේ.ප්‍රධාන වශයෙන් එය හඳුන්වනුයේ සමාජ විරෝධී පෞරුෂ ආබාධය( Antisocial personality disorder ) යනුවෙනි.ඉතා පුළුල් පාරාසයක් තෙක් පැතිර පවත්නා මෙම පෞරුෂ ආබාධය ඇත්තවුන් තමන් නොදන්නා පුද්ගලයන් ඝාතනය කිරීම සඳහා වන හේතු කාරණා සිර කරගෙන හිඳිනුයේ ඔවුන් ගේ මානසික ව්‍යුහය තුළ ය.එය බොහෝ විට එම පුද්ගලයා ළමා වියේ දී ඇති කරගත් බරපතල මානසික හානියක් මුල් කර ගත් එකක් වීමට ද පුළුවන.එහි දී ඔහු වයසින් වැඩෙත්ම එය සමාජ කෙරෙහි වන ද්වේෂයක් ලෙස ඉස්මතු වීමේ හැකියාවක් පවතී. විශේෂයෙන් කුමක් හෝ හේතුවක් මත දැඩි චිත්ත පීඩාවකට ලක් වන අවස්ථාවල එවන් පුද්ගලයෝ සමාජයට කිනම් හෝ බරපතල හානියක් සිදු කිරීමෙන් එම මානසික පීඩාවෙන් අත් මිදීමට වෙර දරති.ඒ තමන් වෙනුවට අන්‍යයන් බරපතල දුකකට පීඩාවකට ලක් වනු ඇසීමෙන් හා දැකීමෙනි.

සාමාන්‍යයෙන් මීට අමතරව භිනොන්මාද ආවේග(Schizoid) සහිත පුද්ගලයන් ද මෙබඳු අසාමාන්‍ය අපරාධ කෙරෙහි නැඹුරු විය හැකි අතර ඔවුන්ගෙන් වැඩි කොටස එම අසාමාන්‍ය චරිත ලක්ෂණ තමන් ඇසුරු කරන්නවුන් හමුවේ ද පළ කරති.එහෙත්, ඉන් සුළු කොටසක් තම පෞරුෂ ලක්ෂණ සඟවා ගෙන සිට මෙවන් බිහිසුණු ක්‍රියා මඟින් ඒවා එක් වරම මුදා හරිති.එහෙත්, හෝමාගම රෝහලේ සිදුවීම සම්බන්ධයෙන් යම් නිගමනයකට තබා අනුමානයකට ඒමටවත් අපට නොහැකි අතර දැඩි සත්කාර ඒකකයේ, නොමේරු ළදරු ඒකකයේ හා වාට්ටුවල රෝගීන් 26 දෙනෙකුට ඔක්සිජන් ලබාදෙමින් තිබිය දී වහා අක්‍රිය වූ සැනින් නැවත ඒවා ලබා දීමට කටයුතු කළ හෝමාගම මූලික රෝහලේ කාර්ය මණ්ඩලයට අපගේ නොමඳ ස්තුතිය හිමි වනු ඇත.

රේණුකා දමයන්ති

එතෙර - මෙතෙර