අද අප බොහෝ දෙනකු හෝටලයකට කෑමට ගියත් ,මංගල උත්සවයකට ගියත් ආහාර වල අගය මනින්නේ ඒවායේ ඇති මස් ආදී සතුන් ගේ,නැතහොත් සෙසු ජීවීන් ගේ ශරීර කොටස් වල බහුලතාව පදනම් කර ගෙන ය.එහෙත්, ඒ සෑම ජීවියකුම තම රස තෘෂ්ණාව වෙනුවෙන් මිනිසුන් විසින් ඝාතනය කරනු ලැබූ සතුන් ය යන්න අපි සිතා මතාම අමතක කොට ඇත්තෙමු.අද රූපවාහිනී බැලුවත් දැන්වීම් වල රසම රස මීට් බෝල්ස්, ඔරිජිනල් මැකරල්, කුකුල් සුප් කැට, ආදී රසම රස දේවල් වලින් ජනතාව මන්මත් කෙරේ.අවමඟුල් ගෙදරක දී පවා මස් මාලු වලින් තොර කෑම වේලක් තිබීම බොහෝ දෙනාගේ නොසතුටට හේතු වෙයි.මෑතක සිට නූතන බුදු සමය තුළ ද මෙම මස් මාංශ පරිභෝජනය ප්‍රවර්ධනය කෙරෙනු දක්නට තිබේ.කොටින්ම කියතොත් වෙනත් ප්‍රාණියෙකුගේ මස් මාංශ කෑමට නැතුව මිනිසාගේ ජීවිතය ඉතා අමිහිරි ය යන සමාජ මිථාවට අද ඉහළ තැනක් හිමිව තිබේ.
මිනිසා මස් මාංශ මතම යැපෙන විලෝපීය සතෙක් නොවේ. මිනිසා ශාක,ධාන්‍ය, බීජ මේ ඕනෑම දෙයක් ආහාරයට ගැනීමට හැකි සත්ව කාණ්ඩයකි. කොටි, ව්යාඝ්ර ආදී සත්තු එසේ නොවෙති. ඔවුන්ට ස්වභාවයෙන්ම ශාක දිරවීමට නොහැක. ඔවුහු දුර්වල සතුන් මරා කමින් ඔවුන්ගේ මස් අනුභව කරමින් දිවි රැක ගන්නා විලෝපිකයෝ වෙති. .එමෙන්ම අලි, ඇතුන්, හරක් , මුව,ගොන්නු වැනි සතුන් ශාක මතම ජීවත් වෙති.
මිනිසාගේ සැප පහසු ජීවිතයකට අසරණ ප්රාණියෙකු තම ජීවිතය පූජා කළ යුතුය යන්න ස්වාභාවික යුක්තියට ඉඳුරාම පටහැනි වූවකි.සතුනට පවා ජීවිතයේ ඔවුනට ආවේණික අරමුණු ඇත. ලොකුවට හිතන්න බැරි වුවද කුහුඹුවන් පවා සියලු දෙනා එකතුවී පේලියට ගොස් කෑම ජාති එකතු කර මතු ප්‍රයෝජනය සඳහා තබා ගැනීමට තරම් ජීවිතයේ හැඟීමක් ඇති බව පෙනෙයි. ජීවියා යනු හැඟීම් දැනීම් ඇතෙකි.එලෙස ශාක වලට ද හැඟීම් ඇති බව සමහර පර්යේෂණාගාර තුළ ඔප්පු කිරීමට සැරසෙයි.එහෙත්, ඒවාට පැහැදිලි බලාපොරොත්තු ඇති බව මට නොසිතේ.නමුත් මෙලෙස නොසිතුණොත් අපේ දිවි රැක ගැනීමට අපට අනුභව කිරීමට කිසි දෙයක් නොමැති වනු ඇත.
බැක්ටීරියා වෛරස් වැනි ඒවා ද එසේ සැලකිය හැකිද? ඒවාට හැඟීම් ඇතැයි මට නොසිතේ. රෝග කාරක එවැනි දෑ මනුෂ්‍ය සහ වෙනත් ජීවීන්ගේ පැවැත්මට අවහිර කරයි. එනිසා ඒවා නැසීමට ප්‍රතිජීවක ලබාදීමට පසුබට නොවිය යුතු ය. නයි පොලොන් ආදී විෂකුරු සර්පයන් වුවත් අයින් කර කැලේකට දමනවා මිසක් නැසීමට අපට අයිතියක් නැත.උන් අපට සතුරු වුව සරිසරයේ හිත මිතුරෝ වෙති.අප ද සරිසරයේ හිත මිතුරන් නම් අප කළ යුත්තේ උන් අප කෙරෙන් දුරස් කිරීම මිස මරා දැමීම නොවේ. මදුරුවන් ද බෝවීම වළක්වා ඔවුන් පලවා හරින ක්‍රම ඇත.
මා වෛද්‍ය විද්‍යාලයට යන කාලයේ දෙමටගොඩ හරක් මරා මස් කරන තැනක් තිබුණි.එහි අධ්‍යයනය සඳහා අපව යොමු කෙරිණ.මරන්නට ඔන්න මෙන්න කියා තිබිය දී පවා තම පණ රැක ගැනීමට ඒ ගවයන්” මරු විකල්ලෙන්” අසාර්ථක උත්සාහයක නිරත වූ අන්දම මම මගේ දෑසින්ම දුටුවෙමි.එදා සිට මගේ හරක් මස් කෑම නතර විය. ඊට පසු සියලු මස් වර්ග කෑම ද නතර කොට දැම්මෙමි. මාලු ගැන මා සිතා සිටියේ ස්නායු පද්ධතිය නොදියුණු වේදනාව නොදැනෙන ජීවින් ලෙසයි. එතෙක් මාලු කෑම කෙරුණි. එය ද නතර වූයේ මාලු අල්ලන බෝට්ටුවක සජීවි දර්ශන දැකීමෙනි.මිනිසුන් ගේ කුරිරු ඝාතනයට ලක් වන මොහොතේ පණ බේරා ගැනීමට මාලුන් දැඟලූ දැඟලිල්ල මට කිසිදා අමතක නොවේ.
අපේ සතුට,මිහිර විනෝදාස්වාදය උදෙසා සතුන් වේදනාවෙන් සිය ජීවිත පුදා ඔවුන්ගේ මාංශ ඔවුන් අපට පූජා කළ යුතුය යන පොදු එකඟතාවයෙන් මම දුරස් ව හිඳිමි. එය හරිද වැරදිද පැවසීම මට අයිති දෙයක් නොවේ. නමුත් බොහෝ කලෙක සිට මම එයින් වැළකුණෙමි. ශරීරයට අත්‍යාවශ්‍ය Vit B 12 අත්‍යාවශ්‍ය මේද අම්ල සහ අත්‍යවශ්‍ය ය ඇමයිනෝ අම්ල සඳහා ප්‍රෝටීන් කිරි සහ බිත්තර වලින් ලබා ගනිමි. බිත්තරය කැඩීම නිසා බිත්තරයට වේදනාවක් දැනේ යැයි මම නොසිතමි.අනෙක මම Vegetarian කියා පුරසාරම් දෙඩීමට මා අකමැති ය.මා මෙය කීමට පෙළඹෙනුයේ ද ස්වභාවික යුක්තිය සුරැකීම කෙරෙහි ඔබගේ සිත් යොමු කරවීමට ය.
හැම ආගමකම පර පණ නැසීම වරදක් බව උගන්වයි.නමුත් පසුව එය විවිධ ජන කොටස් විසින් තමන්ට ගැලපෙන ලෙසින් සකසා ගෙන තිබේ.අනුන් නැසූ ජීවින්ගේ ශරීර මාංශ අනුභවය වරදක් නැති බව බොහෝ දෙනාගේ මතයයි. තම අඹු දරුවන් රැක ගැනීමට ජීවන මාර්ගය වශයෙන් සතුන් ඝාතනය කිරීම වරදක් නොවන බව සමහරු පවසති. මෙවැනි නිදහසට කරුණු නිසා සතුන් මැරීම දිගටම සිදුවෙයි.ගෙදර සිටින සුරතල් ගවයාගේ සිතුම් පැතුම් හොඳින් අඳුරන බවත් ඔවුන්ට ද මිනිසුන් සේම සලකන බවත් කියන සමහරු කිසිම දුකක් නැතුව ගව මස් කති.
මිනිසුන් යනු මේ මිහිතලයේ හිඳින බුද්ධිමත්ම ජීවියා ය.එහෙත් තමගේ රස තෘෂ්ණාව තකා එක් දිනකට සතුන් කෝටි ප්‍රකෝටි ගණනක් ඝාතනය වීම ස්වාභාවිය යුක්තිය හා සසඳා බැලීමෙ ක්‍රියාවලියෙන් මිනිසා කූට ලෙස ඉවත් වී ඇති බවක් පෙනෙයි.එය මෙලොව පැවැත්මට කෙසේ වත් හිතදායක නොවන බව මගේ වැටහීම ය.
විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී රාජපක්ෂ