ආක්ෂේ කුමාර් ගිනස් වාර්තාවක් පිහිටුවයි

සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් ගිනස් වාර්තාවක් පිහිටුවා ඇති බව පසුගිය බදාදා (22) ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. ඔහු මෙම වාර්තාව පිහිටුවා තිබුණේ සෙල්ෆි ඡායාරූප ගැනීමක් සම්බන්ධයෙනුයි. ආක්ෂේ විනාඩි 3 ක කාලයක් තුළ ඔහුගේ රසික රසිකාවියන් සමග සෙල්ෆි ඡායාරූප 184 ක් ගෙන තිබුණා. විනාඩි 3 ක් තුළ වැඩිම සෙල්ෆි සංඛ්‍යාවක් ගත් පුද්ගලයා ලෙස දැන් ඔහු ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටිනවා. මෙම වාර්තාවට මෙයට පෙර හිමිකම් කියා තිබුණේ ජේම්ස් ස්මිත් නැමැති ඇමරිකානු ජාතිකයෙක්. ඔහු විනාඩි 3 ක් තුළ සෙල්ෆි 168 ක් ගෙන තිබුණා. ඊට පෙර ජනප්‍රිය හොලිවුඩ් නළු ඩ්වේන් ජොන්සන් ද 2015 වසරේ දිනෙක විනාඩි 3 ක් තුළ සිය රසිකයන් සමග සෙල්ෆි ඡායාරූප 105 ක් ගෙන වාර්තාවක් පිහිටුවා තිබූ බව සඳහන්. ඒ San Andreas චිත්‍රපටයේ මංගල දර්ශණයක් අවස්ථාවේ යි. එම දර්ශණය පවත්වා තිබුණේ ලන්ඩන් නගරයේ යි.

ආක්ෂේ කුමාර් ඉහත කී ගිනස් වාර්තාව පිහිටුවා තිබුණේ ඔහුගේ අලුත්ම චිත්‍රපටය ප්‍රවර්ධනය කිරීම සඳහා පැවැති උත්සවයකදී බවයි පැවසුණේ. මෙම චිත්‍රපටයේ නමත් Selfiee.. රාජ් මේතා විසින් අධ්‍යක්‍ෂණය කරන ලද Selfiee 24 වැනි දින ප්‍රදර්ශණය ආරම්භ කළා. සුප්‍රකට නළු එම්රාන් හෂ්මි ද මෙහි ප්‍රධාන චරිතයක් නිරූපනය කරනවා.


මෙහි ආක්ෂේ රඟපාන්නේ බොලිවුඩ් නළුවකුගේම චරිතයක් වීම විශේෂත්වයක්. විජේ කුමාර් නැමැති මෙම නළුවාට යම් කාරණයක් සඳහා රියදුරු බලපත්‍රය ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් ඇති වෙනවා. නමුත් ගැටලුවක් මතුවන්නේ ඒ වනවිට එය අස්ථානගත වී තිබීම නිසයි. Selfiee චිත්‍රපටයට පසුබිම් වන්නේ විජේ කුමාර් අලුත් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට යාමේ දී මුහුණ දෙන්නට සිදුවන අතිශය නාටකීය සිදුවීම් පෙලක්. අලුතෙන් රියදුරු බලපත්‍රයක් ගැනීමට දිගු කලක් බලා සිටිය යුතුයි. නමුත් විජේට එතරම් කාලයක් බලා සිටින්නට හැකියාවක් නැහැ. මේ නිසා විජේ ඔහුගේ දේශපාලන හිතවතකු හරහා උදව්වක් ලබා ගන්නට උත්සාහ කරනවා. ඒ අනුව ඔහුට රියදුරු බලපත්‍ර නිකුත් කරන ආයතනයේ නිලධාරියකු සම්බන්ධ කර ගැනීමට හැකි වන අතර සාමාන්‍ය ක්‍රමයෙන් බැහැරව විජේට රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට ඕම් නැමැති මෙම නිලධාරියා වැඩපිලිවෙලක් යොදනවා. එහිදී විජේ රියදුරු පරීක්‍ෂණය සඳහා පවා පැමිණීම අවශ්‍ය නොවන බවයි ඔහු පවසන්නේ. නමුත් පසුව විජේ සහ ඕම් අතර ඇතිවන එක්තරා සිද්ධියකින් පසු මේ සියල්ල අවුල් වෙනවා. ගැටුම් පිට ගැටුම් ඇති වීමට පටන් ගන්නවා. මේ අතර විජේගේ නළු ජීවිතය කඩා කප්පල් කිරීමට බලා සිටින තවත් පුද්ගලයකුගේ කුමන්ත්‍රණයක් ද දියත් වීමට පටන් ගන්නවා. Selfiee චිත්‍රපටය ගලා යන්නේ මෙවැනි නාටකීය සිදුවීම් පෙලක් ඔස්සේ යි.

Selfiee නිර්මාණය වන්නේ මෙයට පෙර නිශ්පාදනය වූ මලයාලම් චිත්‍රපටයක් ඇසුරෙන්. 2019 වසරේ තිරගත වූ එහි නම Driving Licence . එය සිනමා ප්‍රේක්‍ෂකයන්ගේ මෙන්ම විචාරකයන්ගේ ද පැසසුමට ලක් වූ සිනමාපටයක්.

පසුගිය දා සිය රසිකයන් සමග සෙල්ෆි ඡායාරූප ගනිමින් ලෝක වාර්තාව පිහිටු වූ අවස්ථාවේ ආක්ෂේ ඔහුගේ සුවහසක් රසිකයන් ගැන මහත් ආදරයෙන් කතා කර තිබුණා. ‘මගේ ජීවිතයේ මා ලැබූ සියලු ජයග්‍රහණ දිනා ගැනීමට මෙන්ම අද මා සිටින තැන දක්වා පැමිණීමට ද මට හැකි වූයේ මගේ රසිකයන්ගේ කොන්දේසි විරහිත ආදරය නිසයි. මගේ වෘත්තිය ජීවිතය පුරාම ඔවුන් මා ළඟ සිටි අතර මේ ඒ ගැන ඔවුන්ට දක්වන ගෞරවයක්’ සෙල්ෆි ඡායාරූප ගන්නා ආකාරය දැක්වෙන විඩියෝවක් ද සමග ආක්ෂේ ඔහුගේ සමාජ මාධ්‍ය පිටුවක එලෙස සඳහන් කර තිබුණා. ‘මගේ රසිකයන් සමග එකතු වී ගිනස් වාර්තාවක් ද පිහිටෙව්වා. සියලු දෙනාටම ස්තුතියි. මෙය ඉතා විශේෂ අවස්ථාවක්. මට ජීවිතයේ කිසි දිනෙක එය අමතක වන්නේ නැහැ’ යනුවෙන් ද ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ගිනස් ආයතනයේ නිලධාරියකු ආක්ෂේට එම ආයතනයේ සහතිකය පිරිනමන අයුරු දැක්වෙන ඡායාරූප මෙන්ම එම සහතිකය අතැතිව ආක්ෂේ සිය රසිකයන් අතර සිටින ආකාරය දැක්වෙන ඡායාරූප ද මාධ්‍ය තුළ පළ වී තිබුණා.

නිහාල් පීරිස්

රසගඟුල