ආරුගම්බේ සහ පොතුවිල් ආරක්ෂාව තර කෙරේ

ආරුගම්බේ සහ පොතුවිල් ප්‍රදේශ වල ඊශ්‍රායල ජාතිකයින්ඉලක්ක කොට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලද බුද්ධි අංශ තොරතුරු අනුව එම ප්‍රදේශ වල ආරක්ෂාව තර කිරීම සඳහා මේ වනවිට අතිරේක පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 500ක් පමණ යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා බුද්ධි අංශ සහ අනෙකුත් ආරක්ෂක අංශ ද අවධානයෙන් පසුවන බව ද ඔහු පවසයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩි දුරටත් පවසන්නේ ආරුගම්බේ සහ පොතුවිල් ප්‍රදේශ වල ඊශ්‍රායල ජාතිකයින් සර්ෆින් ක්‍රීඩාව නිසා වැඩිපුර ගැවසෙන බැවින් ඔවුන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවට පසුගිය දිනවල තොරතුරු ලැබී තිබූ බවය.නමුදු කොළඹ හෝ වෙනත් ප්‍රදේශයක මෙවැනි අනතුරක් පිළිබඳ බුද්ධි වාර්තා ලැබී නොමැති බවත් ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්