ආහාර හිඟයක් ගැන බය වෙන්න එපාලු

පවත්නා නියඟය හේතු කොට ඉදිරි දිනවල සහල් ඇතුළු ආහාර හිඟයක් නිර්මාණය විය හැකි බවට කට කතා පැතිර යන මුත් එළඹෙන මහ කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් දැනට රට තුළ ඇති සහල් තොග හා වී තොග පාරිභෝජනය සඳහා ප්‍රමාණවත් බව හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය, කෘෂිකර්ම අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණික අංශය, මෙන්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදී මේ බව හෙළි විය . දැනට පවතින කාලගුණික තත්ත්වය රටේ ආහාර සුරක්ෂිතතාවය උදෙසා සිදු කළ හැකි බලපෑම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිලධාරින්ගෙන් කරුණු විමසීමක් කළ අවස්ථාවේ දැනට සිදු කර තිබෙන පුරෝකථනයන් අනුව රට තුළ පවතින සහල් හා වී තොග 2023/24 මහ කන්නයේ අස්වැන්න ලැබෙන තෙක් ප්‍රමාණවත් වනු ඇති බවත්, සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇති බවත් එම මධ්‍යස්ථානය අවධාරණය කරන ලදී.එමෙන්ම අතිරේක ආහාර බෝග වන මුං ඇට, කව්පි, උඳු, රටකජු හා කුරක්කන් ද අවශ්‍ය ප්‍රමාණයට තොග රට තුළ පවතී. එම නිසා ආහාර හිඟයක් ඇතිවීම සම්බන්ධව බියක් තබා ගත යුතු නැති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.එමෙන්ම කුකුළු මස් හා බිත්තර ද මෙම වසර අවසන් වන තෙක් පාරිභෝජනයට අවශ්‍ය තරම් පවතින බවත්, එළවළු මිල ඉහළ යාම පවතින නියඟය හමුවේ තවදුරටත් පවතින අයුරින්ම තිබෙනු ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

කාලීන පුවත්