“ඇඟේ ලේ අඩුයි”එහෙම වෙන්නේ කොහොමද?

සමහර අවස්ථාවලදී ඔබ කිනම් හෝ රෝගයක් සඳහා ප්‍රතිකාර ගැනීමට ගිය විට වෛද්‍යවරයා ඔබේ ඇස්වල යටි පිල්ලම පහත හෙළා පරීක්ෂා කළ අයුරු ඔබට මතකද ? වෛද්‍යවරයා එසේ කළේ ඔබේ ශරීරයේ ලේ අඩු ද යන්න දැන ගැනීමට ය.

” ශරීරයේ ලේ අඩු යි” කී සැනින් එහි අරුත ශරීරයේ තිබෙන රුධිරය ප්‍රමාණයෙන් අඩුවීමක් ලෙස යම් කෙනෙකුට සිතෙන්නට බැරිකමක් නැත.

නමුත් ශරීරයේ ලේ අඩු වීම යනු එය නොවේ. එහි අරුත නම් රුධිරයේ රතු සෛලවල හිමොග්ලොබින් අඩු වීමයි.
එලෙස ලේ අඩුවීමට හේතු මොනවාද ?

මෙය කොටස් තුනකට බෙදා දැක්වීමට පුළුවන.

1. ලේ ගැලීම

ඔසප් වීමේදී රුධිරය වැඩියෙන් පිටවීම , අර්ශස් රෝගය, කොකු පණු රෝගය වැනි තත්ත්වයන්වලදී මෙසේ සිදු විය හැකිය.

2. ශරීරයේ ලේ නිපදවීම අඩුවීම

යකඩ සහ විටමින් බී පෝෂණ ඌනතා, විවිධ විෂබීජ සහ රසායන වර්ග නිසා ඇතිවන විෂ වර්ග, ජාන සම්බන්ධ රෝග, ලියුකීමියා වැනි ඇට මිදුළුවල හටගන්නා විවිධාකාර රෝග ආදිය නිසා ශරීරයේ ලේ නිපදවීම අඩු වෙයි.

3. ලේ සෛල බිඳීයාම

මෙසේ වීමට හේතු රැසක් බලපායි . ඒවා අතරින් කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.

* රතු රුධිරාණුවල හැඩය වෙනස්වීම

* රතු රුධිරාණු සෛලවල එන්සයිම නැති වීම

* වැරදි හිමොග්ලොබින් වර්ග රුධිරයේ නිෂ්පාදනය වීම හෙවත් තැලසීමියා රෝගය

* මැලේරියා රෝගය

* ආචාර පෙළපාලිවල එක දිගට පැය ගණන් නිරත වී සිටින විට දෙපා තදින් පොළොවේ ගැසීමේදී යටිපතුල්වල සෛල බිඳීයාම

* හෘදය තුළ වෑල් නරක් වන විට යකඩ වලින් සෑදූ අලුත් වෑල් ඇතුළු කිරීම

* විෂබීජවලට විරුද්ධව ශරීරයේ නිපදවන ප්‍රතිදේහවලින් ශරීරයේම ඇති රතු සෛලවලට පහර දීම නිසා රතු සෛල කුඩු වී යාම

මේ සියලුම හේතු අතරින් ශරීරයේ ලේ අඩුකම නමින් හඳුන්වන රතු සෛලවල හිමොග්ලොබින් අඩු වීමේ තත්ත්වය ඇති වීමට බහුල ලෙසම හේතු වන්නේ පෝෂණ ඌනතාවය සහ ඔසප් වීමේදී අධිකව රුධිර පිටවීම යි. මේ හැරුණු විට කොකු පණු රෝගය සහ අර්ශස් රෝගය ද දැක්විය හැකිය .මේවා නිසි ප්‍රතිකාර මගින් යථා තත්ත්වයට පත් කළ හැකිවේ.

ලේ නිපදවීමේ අඩුකම ඇතිවීම සඳහා බලපාන ඇටමිදුළුවල රෝග සහ ජාන සම්බන්ධ රෝග යථා තත්ත්වයට පත් කිරීම බොහෝ විට අසීරු වෙයි.

විෂබීජ සහ සමහර රසායන ද්‍රව්‍යවලින් ඇතිවන විෂ වර්ග අපට වළක්වා ගත නොහැකි ඒවා නොවේ.

තුන්වන හේතුව ලෙස මෙහි දැක්වූයේ රුධිරයේ රතු සෛල කැඩීයාමේ තත්ත්වයයි. මෙහිදී රතු සෛලවල හැඩය වෙනස් වීම, එනම් බෝල හැඩයක් ගැනීමේ තත්ත්වය සුව කරන්නට ශරීරයේ ප්ලීහාව සැත්කමක් මගින් ඉවත් කළ හැකිය. නමුත් ඉන්පසු ප්ලීහාවෙන් කරනු ලබන කාර්යයන් නතර වන නිසා ජීවිත කාලය පුරා ඒ වෙනුවෙන් ඖෂධ ප්‍රතිකාර ගන්නට සිදු වෙයි.

රුධිරයේ නිපදවෙන ප්‍රතිදේහ මගින් ම රතු සෛල වලට පහර දීම ද ප්‍රතිකාර මගින් පාළනය කිරීමට පුළුවන. එය සුලභ රෝග තත්ත්වයකි. නමුත් රුධිරයේ සෛල කැඩී යාමට බලපාන මෙහි දැක්වූ අනිකුත් හේතු විරල ඒවාය.

සිරුරේ ලේ අඩු නම් ඊට හේතු දැන් ඔබට පැහැදිලි වී ඇතැයි සිතමු. සිරුරේ ලේ අඩු වූ විට නිතර දැනෙන නිදිමත ගතිය, ක්ලාන්ත ගතිය, හතිය,ඇවිදීම අපහසු ගතිය, අලස බව වැනි ලක්ෂණ ඇති වන අතර මෙයින් කිහිපයක් හෝ පවතින්නේ නම් වෛද්‍යවරයකු වෙත ගිය විට නිසි ආකාරයෙන් පරීක්ෂාකර හේතු සොයා ප්‍රතිකාර ලබාගත හැකිය.

කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

ඉන්දු පෙරේරා

විනිවිද සායනය