ඇතැම් දෙවිවරුන්ට අසාමාන්‍ය ශරීරාංග පිහිටා ඇත්තේ කොහොමද?

අප සමාජයේ ඇදහීමට ලක් වන දෙවිවරුන්ට මිනිස් ශරීරාංග හා සාපේක්ෂව බලන විට අසාමාන්‍ය ශරීරාංග පිහිටීම වත්මන් සමාජයේ බොහෝ දෙනකුගේ හාස්‍යයටත් උපහාසයටත් ලක්ව තිබේ. විශේෂයෙන් වත්මන් ශ්‍රී ලාංකේය සමාජයේ ජනප්‍රියම දෙවියා සේ සැලකෙන කතරගම දෙවියන්ට මුහුණු සයක් සහ අත් දොළසක් තිබීම, ඇත් හිසකින් යුතු ගණ දෙවියන් මීයකු පිට නැග හිඳීම වැනි දේ බැලූ බැල්මට යමකු තුළ සිනහවක් ජනිත කරවීමට හේතු විය හැකිය. එමෙන්ම ලොව සෙසු ආගමික විශ්වාස මත පදනම් වන දෙවිවරුන්ට පවා මිනිසුන්ට වඩා වෙනස් ශරීර ව්‍යුහයක් පිහිටා ඇති බව එම දේව රූප, මූර්ති සේම ඒ සම්බන්ධ සාහිත්‍යාංගයන්ගෙන් පෙනී යයි. නමුත් එය සැබෑ විමසුමකට ලක් කළ යුත්තේ මානව විද්‍යාත්මක අංශයකිනි. ජන විශ්වාස වලට අනුව දෙවි වරුන් යනු භෞතික ජීවීන් කොටසක් නොවේ.ඔවුන් පිළිබඳව සඳහන් වනුයේ සූක්ෂම රූප කායන් ඇති ජීවීන් කොටසක් ලෙසිනි.ඒ අනුව ඔවුනට මිනිසුනට මෙන් තම ජෛවමය අවශ්‍යතා සංතෘප්ත කර ගත හැකි නාසය මුව දෙසවන් ඇතුළු ශරීරාංග එලෙසින්ම පිහිටා ඇතැයි සිතීම අසීරු ය.

එහෙත්, ලොව බොහෝ ආගමික විශ්වාස හා සම්බන්ධ දෙවිවරුන් ගේ රූප කායන් මානව රූප කේන්ද්‍රීය කොට නිර්මාණය කොට තිබේ.පිට සක්වල ජීවීන් ගේ රූපකායන් නිර්මාණය කොට ඇත්තේ ද මේ නියාමය අනුව ය.එසේ නොමැතිව මිනිස් රූප වලට සපුරාම වෙනස් අයුරින් දේව රූප නිර්මාණය කළ හොත් ඔවුන් කවුරුන්ද යන්න වටහා ගැනීම අපට මහත් ගැටලුවක් වනු ඇත. මෙවන් නමුදු අසාමාන්‍ය රූපකායන් බෞද්ධ සාහිත්‍යයේ එන දෙවිවරුන් සම්බන්ධයෙන් දක්නට ලැබෙනුයේ ඉතා මඳ වශයෙනි. එහි බොහෝ විට සඳහන් වනුයේ දෙවිවරුන් යනු ප්‍රභාෂ්වර ශරීරවලින් යුක්ත වූවන් ලෙසිනි.

නමුදු අප සමාජයේ ඇදහීම්වලට ලක්වන භාරතීය හින්දු සම්ප්‍රදායේ දෙවිවරුන්ට අපට අසාමාන්‍ය සේ පෙනෙන රූපකායන් පිහිටීම පිළිබඳව එම දේව පුරාණයන්හි නොයෙකුත් කතා ප්‍රවෘත්තීන් දක්වා තිබේ. බොහොමයක් ඒවා පිළිබඳ සඳහන් වනුයේ අසාමාන්‍ය මැවීම් හෙවත් පහළවීම් ලෙස ය. නමුදු ඒ එක් එක් රූපකායන් පිළිබඳ එකකට එකක් වෙනස් පුරාණොක්තීන් රැසක් ද තිබේ. විශේෂයෙන් ගණ දෙවියන්ට ඇත් හිසක් හිමි වීම පිළීබඳ ඉන්දියාවේ එක් එක් ප්‍රාන්ත අනුව විවිධ කතා ප්‍රවෘත්තීන් නිර්මාණය වී තිබේ.ඒවා විවිධ ජන කොටස් විසින් නිර්මාණය කර ගත් ඒවා බව ද පැහැදිලිය. ඒ අතුරින් ගණ දෙවියන්ට ඇත් හිසක් ලැබීම සම්බන්ධයෙන් රසවත් දේශීය කතා ප්‍රවෘත්තියක් මෙසේය.

ගණ දෙවියන් තම සොයුරු කඳ කුමරුන් සමග සෙල්ල කතරගම ජීවත් වන සමයේ මහ වනයේ මුවන් පිරිවරාගෙන සැරිසරන වල්ලී නම් අතිශය රූමත් වැදි යුවතියක දක්නට ලැබිණි. එහෙත්,මහ වනට මැද දිවි ගෙවන අතිශය කෝල යුවතියක වන ඇය කඳ සුරිඳුන්ට මුහුණ නොදී තම මුව පිරිවර සමග වනරොද තුළ සැඟවුණු අතර කඳ සුරිඳුන්ට ඇගේ රූසපුව දැක ගැනීම පිණිස විශේෂ පරිශ්‍රමයක් දැරීමට සිදු විය. දිනක් සෙල්ල කතරගම පිහිටි රූස්ස සියඹලා ගස් දෙබලක සැඟවී එම වල්ලී නම් සුරූපී වැදි යුවතිය එන තුරු බලා සිටි කඳ කුමරුන් ඇය ඒ සමීපයෙන් යද්දීම ඇගේ සුරතින් තර කොට අල්ලා ගත්තේ ය.ඒ ඇය හා පිළිසඳරකට එළැඹෙනු පිණිස ය. එහෙත් හුදෙක් වනගත දිවි පෙවෙතකට හුරු වූ යුවතියක වූ වල්ලී ඒ සමගම වනයට පලා ගිය අතර ඉන් පසු ඇය කිසි දිනෙක කඳ කුමරුන් සිටින ඉසව්වට පැමිණියේ නැත. මින් මහත් සිත් තැවුලට පත් කඳ කුමරුන් වල්ලී යුවතිය දැක ගැනීමට නොහැකි වූ සොවින් හරි හැටි ආහාරපාන වත් නොගෙන දුක් මුසුව පසු වූ අතර එය ගණ දෙවියන්ගේ මහත් විමතියටත් කුතුහලයටත් හේතු විය. ගණ දෙවිඳුන් ඒ සම්බන්ධයෙන් සොයුරු කඳ සුරිඳුන්ගෙන් දිගින් දිගටම විමසන්නට වූ බැවින් අවසානයේ තමන් මුහුණ පා හිඳින එම බැරෑරුම් පැනය තම සොයුරා සමග නොකියා සිටීමට කඳ සුරිඳුන්ට නොහැකි විය.

‘එහෙම නම් මම ඇත් වෙසක් ගෙන ඔබ ද පිට මත හිඳුවාගෙන මේ මහා වනය පුරා සැරිසරන්නම්. යම් හෙයකින් මේ වනය මැද කිනම් තැනක හෝ ඇය සිටිනු දුටුවහොත් ඔබ මගේ පිටින් බැස ඇය සමීපයට යන්න. එවිට මා ඒ ඇත් වේශයෙන්ම ඇය පසුපස ලුහුබඳින්නම්.’
එසේ කී ගණ දෙවියන් තමන් සතු ඉතා ප්‍රබල මන්ත්‍රයකින් මැතිරූ ජලය සහිත කෙණ්ඩිය කඳ කුමරුන් අතට දී මෙවැනි අවවාදයක් ද දුන්නේය.
‘මා ඒ යුවතිය ලුහුබඳින විට බියට පත්වන ඇය තමන්ගේ කෝල බව අතහැර දුවගෙන විත් ඔබගේ සිරුර වැළඳ ගනීවි. එවිට අස්වාමික යුවතියක් විවාහ නොවූ තරුණයකුගේ සිරුර වැළඳ ගැනීමත් සමග ඇය ඔහු සතු වීමේ ධර්මතාව අනුව එම යුවතිය නිතියෙන් ඔබගේ සහකාරිය වනු ඇති.’

ගණ දෙවිඳුන් දුන් ඒ කදිම උපදේශය මත ඔහු දුන් පැන් කෙණ්ඩිය ද සමග කඳ කුමරුන් වල්ලී දුටු සැණින් එනමග ඉදිරියට ගමන් කළේ තම සොයුරාගේ උපාය මාර්ගය අත්හදා බැලීමට ය. කඳ කුමරුන් එක් පසෙකින් වල්ලී යුවතිය ඉදිරියට එත්ම ඇත් වෙසක් ගත් ගණ දෙවියන් අනෙක් පසින් ඇය දෙසට වේගයෙන් පැමිණියේ වියරු ලෙසකිනි. ගණ දෙවිඳුන් අපේක්ෂා කළ පරිදිම ඉන් මහත් බියට පත් වල්ලී තරුණිය බියෙන් මුසපත්ව දිව අවුත් කඳ කුමරුන්ගේ සිරුරේ එල්ලුණාය. එවිට සිදු වූයේ කිසි විටෙකත් අපේක්ෂා නොකළ ඇබැද්දියකි. එනම් ඒ වන විට කඳ කුමරුන්ගේ සුරතේ තිබූ ගණ දෙවියන් මතුරා දුන් පැන් කෙණ්ඩිය බිම වැටී පැන් සියල්ල හැළී ඉහිරී යාම ය. එම සිදුවීමෙන් පසු තම සොයුරු කඳ කුමරුන්ට වල්ලී යුවතිය ලබා දීම පිණිස තාවකාලිකව ඇත් වෙසක් ගත් ගණ දෙවිඳුන්ට තම සුපුරුදු දිව්‍යමය රූපයට පිවිසීමට නොහැකි විය. එදා මෙදා තුර ගණ දෙවිඳුන් ඇත් හිසකින් යුතු වූයේ එනිසා ය.

මා ඉහතින් සඳහන් දේශීය පුරාවෘත්තය ඉදිරිපත් කරන ලද්දේ හින්දු දෙවිවරුන්ට මිනිස් ස්වරූපයට වඩා වෙනස් අප අසාමාන්‍ය සේ සිතන රූපකායක් ඇති වීම පිළිබඳ එක් එක් ජන සමාජය තුළ විවිධ පුරාවෘත්තයන් බිහි වී ඇති බව සනාථ කිරීමට ය.නමුත් ඇත් හිසකින් යුතු ගණ දෙවියන් මීයකු පිට නැඟ සිටීම සම්බන්ධ භාරතීය පුරාණෝක්ති ද කිහිපයක් තිබේ.මෙම ඇතැම් පුරාවෘත්ත ක්‍රි.පූ. නව වැනි සියවස දක්වා පැරණි බව මානව විද්‍යාත්මකව සනාථ වූ ඒවා ය.. එහෙත්, මෙම ජනප්‍රවාද පසෙක තිබිය දී එම දෙවිවරුන්ගේ හිස්, අත් ආදී ඉන්ද්‍රියයන්ගේ බහුවිධතාව පිළිබඳ දාර්ශනික සංකල්ප ද ඇති බව මානව විද්‍යාඥයන්ගේ මතයයි. විශේෂයෙන් ඉන්දීය මානව විද්‍යාඥයෝ එම දෙවිවරුන්ගේ පුරාණොක්ති මත එම දෙවිවරුන්ගේ රූපකායන් පිළිබඳ මානව විද්‍යාත්මක මත ඉදිරිපත් කරති.

saraswathiඒ සම්බන්ධයෙන් ඉන්දීය මානව විද්‍යාඥ ආචාර්ය එම්.කේ. ජෙයශංකර් මහතා දක්වා ඇති මතයක් වනුයේ අප කතරගම සුරිඳුන් නමින් හඳුන්වන ස්කන්ධ කුමාර දෙවිඳුන්ගේ මුහුණු සයෙන් උන්වහන්සේගේ චින්තන බලයත් අත් දොළසින් ක්‍රියාකාරී ශක්තියත් නිරූපණය වන බවකි. එමෙන්ම ස්කන්ධ කුමාර දෙවිඳුන්ගේ එක් එක් අත්වල ඇති ආයුධ සම්බන්ධයෙන් ද මානව විද්‍යාත්මක විග්‍රහයක් කරන ඔහු ඉන්දියාවේ එක් එක් ජන කොටස්වල පවත්නා සංස්කෘතික විෂමතා අනුව එම ප්‍රදේශවල ස්කන්ධ කුමාර දෙවියන්ගේ අත්වල ඇති ආයුධ වෙනස් වීමේ තත්ත්වයට ද කදිම අර්ථ නිරූපණයක් දී තිබේ.අප රටේ දේව රූප වල දක්නට ලැබෙන මේ ශරීරාංග සහ ආයුධ සම්බන්ධ බහුවිධතාව පිළිබඳ ප්‍රමාණවත් විමසුම් කොට නොමැති බව අපගේ වැටහීම ය. පොදුවේ සෑම හින්දු දෙවි කෙනකුගේම රූපකායන් තුළින් මතු වන මෙම විවිධත්වය හුදෙක් සිනාවට හෝ උපහාසයට ලක් නොකොට ඒ සම්බන්ධ මානව විද්‍යාතමක හැදෑරීම් කළ යුතු යැයි අප සිතනුයේ ඒ අනුවය.

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය