සම සුදුවීම සඳහා භාවිත කරන ඇතැම් ක්‍රීම් සහ දියර වර්ගවල අනුමත සීමාව ඉක්මවා අධික ලෙස රසදිය අඩංගු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය පසුගියදා පිටකොටුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී අනාවරණය වී තිබේ.අලෙවිය සඳහා පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසැලක තිබූ ක්‍රීම් වර්ග සම්බන්ධයෙන් මෙම හෙළිදරව්ව සිදුවී ඇත.එම වැටලීමේ දී පාකිස්තානයෙන් ආනයනය කළ බවට සැක කෙරෙන දේශීය වශයෙන් වගකීමක් සඳහන් කර නොමැති, ප්‍රමිතියකින් තොර සහ නීතිවිරෝධි ලෙස ඇසුරුම් කර තිබුණු රූපලාවන්‍ය ආලේපන වර්ග රැසක් සොයාගත් බව එම ඒකකය සඳහන් කරයි.2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට අනුව රූපලාවන්‍ය ක්‍රීම් සහ දියර වර්ගවල අඩංගු විය හැකි අනුමත රසදිය ප්‍රමාණය වන්නේ කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් එකක් පමණි.නමුත් පරීක්ෂණ ප්‍රතිඵල අනුව එම අනුමත සීමාව ඉක්මවා අධික රසදිය ප්‍රමාණයක් එහි අඩංගුව ඇති බව අනාවරණය වී තිබේ.රසදිය විශාල ප්‍රමාණයන්ගෙන් අඩංගු වන මෙවැනි රූපලාවන්‍ය ක්‍රීම් වර්ග ශරීරයේ ආලේප කිරීමෙන් පිළිකා ඇතුළු විවිධ ලෙඩ රෝග ඇතිවිය හැකි බව වෛද්‍යවරු නිරතුරුවම පවසති.