මාසයකට වැඩි කාලයක් පැවැති නිරෝධායන ඇඳිරි නීතිය ඊයේ (01) අලුයම 4.00 න් අවසන් විය. සාමාන්‍යයෙන් ඇඳිරි නීතියක් පැනවූ පසු ජනතාව නිවසට කොටුවන බැවැන් ඇඳිරි නීතිය ඉවත්වීම යනු ඔවුන්ට පස්වනක් ප්‍රීතියක් ඇති කරන්නකි. නමුත් මෙවර ජනතාවට එවැනි පස්වනක් ප්‍රීතියක් ඇතිවූ බවක් පෙනෙන්නට නැත.
අනික මඟ තොට දී වුව ඉකුත් සතියට වඩා ලොකු වෙනසක් දැකිය හැකි වූයේ ද නැත.මන්ද නිරෝධායන ඇඳිරී නිතිය ද මේ වන විට වලංගු නොවන නීතියක් බවට පත්ව ඇති බැවිනි.
ඇඳිරි නීතිය පනවා තිබුණ ද එය නැති බැරි අයට සීමාවූ ඇඳිරි නීතියක් බවට පත්විය. වාහන තිබෙන සෑම පුද්ගලයෙකුම මහා මාර්ගයට පැමිණ තිබුණි.ඒවාට අත අල්ලා නතර කිරීමට නම් පොලිස් නිලධාරීන්ට කතරගම දෙවියන්ට මෙන් අත් දොලහක් වත් තිබිය යුතු යැයි මට සිතෙයි. කඩ සාප්පු ද විවෘතව පැවැතිණි. “පොඩි මිනිහාට” ගමන් පහසුව සළසනපොදු ප්‍රවාහන සේවා සහ ත්රිරීද රථ සේවා පමණක් ක්‍රියාත්මක වූවේ නැත.
ඇඳිරි නීතිය අවසන්ව රට විවෘත වුයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන නිකුත් කළ මාර්ගෝපදේශ රැසක් ද සමගිනි.
එහිදි ප්‍රමුඛතම මාර්ගෝපදේශය වුයේ රට විවෘත කළ ද පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක බවය.එසේම මංගල, අවමංගල උත්සව පැවැත්විය යුතු ආකාරය ගැන මෙන්ම කඩ සාප්පු විවෘත කර පවත්වාගෙන යා යුතු ආකාරය ගැන ද මාර්ගෝපදේශ ඉදිරිපත් කර තිබේ. පාසල් පෙර පාසල් යළි ආරම්භ කිරීමේදී ක්‍රියාත්මක කළ යුතු මාර්ගෝපදේශ ද එහි ඇතුළත්ය.
රාජ්‍ය සේවයට හා පෞද්ගලික සේවයට සේවකයන් කැදවීමේදී සමස්ත සේවක පිරිසෙන් 50% ක් පමණක් දිනකට කැඳවිය යුතු බවට ද සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා නිර්දේශ කර ඇත. පළාත් සභා, පළාත් පාලන හා ස්වදේශ කටයුතු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් කීවේ රාජ්‍ය සේවයට කැඳවීමේදී ප්‍රමුඛතාවය අනුව සේවකයන් කැඳවිය යුතු බවටය.
රාජ්‍ය සේවකයන් මෙන්ම පෞද්ගලික සේවකයන් සේවයට කැඳවා ඇති අවස්ථාවක අන්තර් පළාත් බස් රථ ධාවනය වන්නේ නැත. අන්තර් පළාත් දුම්රිය ධාවනය වන්නේ ද නැත. එසේනම් සේවකයන් රාජකාරියට වාර්තා කරන්නේ කෙසේද? එම පැනයට පිළිතුරක් ද නොමැත.ඒ අනුව ඔවුනට “කොහොම හරි වරෙල්ලා”යැයි ආණ්ඩුව කියන බවක් පෙනෙයි.
එසේනම් පළාත් සීමාවන් තෙක් බස් රථයේ හෝ දුම්රියේ පැමිණ පළාත් සීමාව පයින් ගමන් කොට පසු කළ යුතු ය. ඉන් පසු අනෙක් පළාතේ සිට ධාවනය වන බස් රථයට ගොඩවී සේවා ස්ථානයට පැමිණිය යුතුය. මෙන නීතිය හමුවේ පළාත් සීමා පසු කිරීමට නොහැකිව අසරණ වන ගම්මාන රැසක් පළාත් සීමා අතර පවතියි.
උදාහරණයක් ලෙස හසලක නගරය ගත හැකිය. හසලක මධ්‍යම පළාතට අයත් වුවද ඔවුනට තිබෙන ආසන්නම නගරය වන මහියංගණය අයත් වන්නේ ඌව පළාතට ය. එහිදි හසලක ජනතාවට මහියංගණයට යාමට පළාත් සිමා පසුකළ යුතු ය. මෙලෙස සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වන ස්ථාන අනන්තවත් තිබේ.
පළාත් අතර සංචරණ සිමා පැනවීමෙන් ප්‍රයෝජනයක් නැතැයි කොවිඩ් වෛරසය ගැන පර්යේෂණ කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කළේය. ඔහු ඊට හේතුව ලෙස දැක්වූවේ කොවිඩ් ඩෙල්ටා ප්රභේදදය රටපුරා ව්‍යාප්තවී ඇති බැවින් පළාත් අතර සංචරණ සීමා පැනවීමෙන් ඩෙල්ටා වෛරසය හෝ කොවිඩ් වෛරසය ගමන් නොකරනු ඇතැයි විශ්වාස තැබීමෙන් දැන් ඵලක් නැති බැවිනි.
ආණ්ඩුව තවමත් සිතා සිටින්නේ පලාත් වෙන්කර බැරියර් සවි කිරීමෙන් වෛරසය පළාත් සීමා පසුකර නොයනු ඇති බවට ය. ඩෙල්ටා වෛරසය රටපුරා පැතිර ඇති මොහොතක පළාත් සංචරණ සිමාවන්ගෙන් ප්‍රයෝජනයක් නැත. මීට පෙරද පළාත් අතර සංචරණ සිමා පනවා තිබුණ ද වාහන හිමියෝ පළාත් සංචරණ සිමා පැන ගියේ ප්රසිද්ධියේය. එයද පසුගිය දිනවල පැවැති නිරෝධායන ඇඳිරි නීතියට සමානය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සදහන් කරන්නේ රට විවෘත කිරීම තුළ පස්වන රැල්ලක අවදානමක් ඇතිවිය හැකි බවය. රෝගීන් හා වෛරසය තවදුරටත් ව්‍යාප්තවීමට පොදු ප්‍රවාහන සේවා ආරම්භවීම හේතුවක් වනු ඇතැයි ද එම සංගමය සඳහන් කරයි.රජය ඉදිරි සති දෙක තුළ දුම් රිය ගමනා ගමනය නතර කොට දැම්මේ මගීන් තෙරපී ගමන් කරන නිසාය.එහෙත් බස් රථ තුළ “මීටරයේ පරතරය”එලෙසින්ම රැකේ ද යන්න දැන් කාටත් දැක බලා ගත හැකි ය.
රජය පවසන්නේ නව සාමාන්‍යකරණය යන වැඩපිළිවෙල යටතේ රට විවෘත කරන බව ය. මෙවැනි තීන්දු ගැනීමට පෙර කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වූහ. ජනාධිපතිවරයා රටේ නැති නිසාදෝ මෙවර කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය රැස්වූවේ නැත. එසේ නොකර මෙවර රට විවෘත විය.ඒ අනුව බලන විට කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීම ද අනිවාර්ය අවශ්‍යතාවයක් වී නැත.
යුදහමුදාපතිවරයා වෙනුවට සෞඛ්‍ය ඇමතිවරයා හා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මැදිහත්ව මෙවර රට විවෘත කිරීමේ නිර්දේශ ඉදිරිපත් කිරීමට පැමිණිම වැදගත්ය.
හමුදා නිලධාරින් වෙනුවට සෞඛ්‍ය සේවකයන් රෝග පාලනය අතට ගත් බවක් පෙනෙන්නට තිබේ.ඔවුන් ‘යුදමය කටයුතු වලට එක් නොවී’ තම යුතුකම් හා වගකීම් එලෙසම ඉටු කරන්නේ නම් එය අගය කළ යුතුය. නමුත් මෙම තත්ත්වය තව කොපමණ කාලයක් පවතීද යන පැනය තවමත් ඉතිරිව තිබේ.මක් නිසා ද පවතින තත්වයන් උඩු යටිකුරු වීමට”එක් රැයක්”හොඳටම ප්‍රමාණවත් බැවිනි.ලසන්ත වීරකුලසූරිය