ඇමතිවරුන් සිය තනතුරු වලින් ඉවත් කිරීම රජ කාලය දක්වාම දිව යයි. රාජ උදහසට ලක්වන ඇමතිවරුන්ට හිස් ගැසුම් කෑමකට ලක් ව ජීවිතය පවා අහිමි කර ගන්නට සිදු වූ බව දා හත් වන සිය වසේ මෙරට එළිමහන් සිර කරුවකු ව සිටි ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් කියයි.
ඉතිහාසගත එවැනි කතන්දර අප පොත පතෙන් කියවා තිබුණ ද මෑත ඉතිහාසයේ දී ද එවැනි දේවල් සිදුවිය. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ධූර කාලයේදී ය.
මහින්ද රාජපක්ෂගේ උදහසට පළමුව ලක් වන්නේ අනුර බණ්ඩාරනායක ය.මහින්ද රාජපක්ෂ තම විවාහ මංගල්‍යයේ මනාල යහළුවාව පවා සිටි අනුර බණ්ඩාරනායකව 2007 දී ඔහු දැරූ ඇමති ධූරයෙන් ඉවත් කරනුයේ ජනාධිපතිවරයාට 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි බලතල ප්‍රකාරව ය. ඉන් පසු රාජ උදහසට ලක් වෙන්නේ මංගල සමරවීර සහ ශ්‍රීපති සුරියාරච්චි ය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් පසු බලයට පැමිණි මෛත්‍රිපාල සිරිසේන එක් ක්ෂණයකින් අගමැති ධූරයෙන් රනිල් වික්රමසිංහව ඉවත් කළේ ය. නමුත් පසුව අධිකරණය තීන්දු කළේ මෛත්‍රිපාල ජනාධිපතිවරයාගේ තීන්දුව ව්‍යවස්ථා විරෝධී බවයි.
ජනාධිපතිවරුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණු මේ අසීමිත බලයේ වත්මන් ගොදුර බවට පත්ව ඇත්තේ සුසිල් ප්‍රේමජයන්ත් ය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත් ඉකුත් ඉරිදා දෙල්කඳ පොලට ගොස් සිටිය දී හමු වූ මාධ්‍යවේදියකුට කීවේ කෘෂිකර්ම ඇමතිවරයා සහ වෙළෙද ඇමතිවරයා “ෆේල්” බව ය. නුසුදුස්සන්ට මෙසේ කටයුතු කරන්නට අවස්ථාව දුන් අයත් අසමත් බව ඇමතිවරයා කියා සිටියේ ය.
ඇමතිවරයා මෙම ප්‍රකාශය කොට පැය 48 ක් යන්නට මත්තෙන් ජනාධිපතිවරයා ඔහු ඉවත් කර දැමූවේ ය. එසේම, අනෙක් ඇමතිවරුන්ට අනතුරු ඇගවීමක් ද කළේ ය. එනම් තමන්ට පක්ෂව සිටින්නට නොහැකි නම් ඒ ඇමතිවරුන්ට ද ධූරය අත හරින්නට සූදානමින් සිටින ලෙස ය.
නමුත් ජනාධිපති වරයාගේ මෙම ක්‍රියාවට මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති වරයා ප්‍රතිචාර දැක්වීය.ඒ මාතලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමක දීය.ඒ සුසිල් ප්‍රේමජයන්ත් වගේම නිමල් ලන්සා ද ආණ්ඩුව විවේචනය කළද ඔහුව ඉවත් කිරීමට ජනාධිපති වරයා කටයුතු නොකරන බව කියමිනි.. ඊට හේතුවූ රහස් තිබෙන නිසා බවද ඔහු සඳහන් කළේය.එය කිසියම් බරපතල රහසක් ව්‍යංගයෙන් එළි දැක්වීමකි.
ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් විවේචනය සේම රජයට විරුද්ධව නඩුවක සාක්ෂිකාරයන් ලෙස කටයුතු කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා එවැනි ක්ෂණික ක්‍රියා මාර්ගයක් ගත්තේ නැත.ඒ සම්බන්ධයෙන් දක්වන්නේ නිද්‍රාශීලි පිළිවෙතකි. එහෙත් ලබන 10 දා සිදු කිරීමට නියමිත ඇමති මණ්ඩල සංශෝධනයේ දී ඔවුන්ගේ ඇමතිකම් ද වෙනස් වනු ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර පිරිසක් මාධ්‍ය මයික් අල්ලන විට දුවන තත්ත්වයට දැන් පත්ව තිබේ. සුසිල් ප්‍රේමජයන්ත්ට මෙන් තමන්ට ද ඇමතිකම් අහිමි වනු ඇතැයි ඇමතිවරුන් බියවී ඇති බව ඉන් පැහැදිලි ය. අනෙක් පසින් එදා වීරයන් සේ කතා කළ විමල් වීරවංශ ද අද මාධ්‍යයෙන් පැන යන්නට උත්සාහ දරනු දක්නට ලැබුණි.
ඔහු එහි සිටි දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා ගෙන් කණට කර විමසා සිටියේ “මම කියන දෙයින් ආණ්ඩුව අපහසුතාවයට පත්වෙයිද දන්නේ නැහැ.” යනුවෙනි. මාධ්‍ය එය ද ප්‍රචාරය කළේය.ඒ එහි ද ප්රවෘත්තිමය අගයක් තිබූ බැවිනි.පාන් ගෙඩියේ මැද කොටසට වඩා වාටිය රස යැයි සමහරු කියති.ප්රවෘත්ති සම්බන්ධයෙන් ද එම නියාමය අකුරටම හරියන අවස්ථා තිබේ.
නමුත් විමල් වීරවංශ දැන් කියන්නේ පාර්ලිමේන්තුවේ සියළු පක්ෂ එකතු කර ගනිමින් පවතින රට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ඒමට කටයුතු කළ යුතු බව ය.
තම අදහස් ප්‍රකාශ කරන ඇමතිවරුන් ඉවත් කිරීම ගැටළුවට විසඳුමක් නොවන බවත් ඔවුන්ව ද එකතු කරගෙන මේ ප්‍රශ්න විසඳීමට කටයුතු කළ යුතු බවත් ඔහු දැන් සඳහන් කරයි.. මෙයින් පැහැදිලි වන්නේ ජනතා ද්‍රෝහී යන හංවඩු තබමින් විපක්ෂය ගර්හාවට ලක් කළ ඇමතිවරුන්ගේ පවා සැර බාලවී ඇති බව නොවේද?
මේ අතර කැබිනෙට්ටුවේ සාමුහික වගකීම දැරීමට ඇමතිවරුන් කටයුතු කළ යුතු බව ද දැන් දැන් ප්‍රකාශ වෙමින් තිබේ.තම පිය පාර්ශවයේ පාරම්පරික උරුමය පදනම් කරගෙන ආණ්ඩු පක්ෂයේ මුල් පෙළට පැමිණ සිටින අමාත්‍ය නාමල් රාජපක්ෂ පවා මේ ප්රජාතන්ත්රීය ලක්ෂණය ගැන මහත් උනන්දුවෙන් කතා කරනු පෙනෙයි.
සාමුහික වගකීම ක්‍රියාත්මක වන්නට නම් සාමුහිකව කටයුතු කළ යුතු ය. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය කාලයේ කළ,කී දේ බැලූ විට ඔහු සාමුහික වගකීම් කොපමණ ප්‍රමාණයක් කඩා ඇති දැයි පැහැදිලි වේ.රජයේ කාබනික හරිත වගා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේ දී ඔහු “තනි අලියකු”මෙන් කටයුතු කරන බවට ඇමති මණ්ඩලය තුළින්ම විවේචන එල්ල විය.”මහින්දානන්ද කෙළින පිස්සු නිසා අපිට ගම් වලට යන්න බෑ”ආණ්ඩුවේ මැති ඇමති වරු පාර්ලිමේන්තු ලොබියේ දී, කැන්ටිමේ දී විපක්ෂ මන්ත්‍රී වරුන් සමඟ පවා කීහ.
සුසිල් ප්‍රේමජයන්ත් ඉවත් කිරීමට තීරණය වන්නේ කෘෂිකර්ම ඇමතිවරයා හා වෙළෙඳ ඇමතිවරයා විවේචනය කිරීම නිසා ය. ඉදිරියේ දී සිදුවන ඇමති මණ්ඩල සංශෝධනයේ දී කෘෂිකර්ම ඇමතිධූරය වෙනස් වන බවට ද කතා පවතියි. එම ඇමති ධූරය වෙනස් වුවහොත් එයින් පැහැදිලි වන්නේ සුසිල් ප්‍රේමජයන්ත් කළ ප්‍රකාශයක් සත්‍යයක් වන බව නොවේද?
කෘෂිකර්ම ඇමතිවරයා ඉවත් කොට ඔහුව වෙළෙඳ ඇමති ධූරයටත්, කෘෂිකර්ම ඇමතිවරයා ලෙස එස්.එම් චන්ද්‍රසේන පත් කිරීමටත් නියමිත බව වාර්තාවේ. වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන එම ධූරයෙන් ඉවත් කොට එස් එම් චන්ද්‍රසේන දැරූ ඉඩම් ඇමති ධුරයට පත් කරනු ඇතැයි ද දැන ගන්නට තිබේ.
මේ ඇමතිවරුන් මාරු කිරීම “පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමට” සමාන ය. මුලින්ම ඇමතිවරුන් මාරු කිරීමේ ක්‍රියාවලියට බිලිවූයේ පවිත්‍රා වන්නිආරච්චි ය. ඇය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයට තල්ලු වී ගියා ය.
ඇයත් සමග තව ඇමති ධූර කිහිපයක් වෙනස් වුව ද පවිත්‍රා ඇමතිවරියට හිමිවූයේ ප්‍රවාහන අමාත්‍යාංශයය. සාර්ථකත්වය කෙසේ වෙතත් කොවිඩ් වසංගතය හමුවේ ඇය නොයෙක් ක්‍රියාකාරකම් කළා ය.ගඟට මුට්ටි දැම්මා පමණක් නොව ධම්මික පැණිය ද රස කරමින් බිව්වා ය. හොඳ හෝ නරක කෙසේ වුව ඇය කොවිඩ් මර්දනය වෙනුවෙන් කැපවූවා ය.
එසේම අවසානයේ ඇය ද කොවිඩ් රෝගියෙකු බවට පත්විය.එමෙන්ම මහින්දානන්ද අලුත්ගමගේට මෙන් ඇයට ආණ්ඩුවේ අභ්‍යන්තර විවේචන ද එල්ල නොවිණි. ඒ සියල්ල අවසානයේ ඇය ද වෙනත් තැනකට තල්ලු කර හැරියා ය.
මේ සියළු කාරණාවන්ගෙන් පෙනී යන්නේ විද්‍යාත්මක,තාර්කික පවා කවර හෝ පදනමකින් තොරව රාජ උදහසට ලක්වන සියල්ලෝම දාම් ලැල්ලේ ඉත්තන් මෙන් කැපී යන බව ය.එහෙත් එය පවත්නා අර්බුදයට විසඳුමක් නොවන්නේමය. එය අදත් හෙටත් එක සමාන ය.
නොකැපී සිටින්නට නම් සියළු දේට “එහෙයි” ස්වාමීනී කිව යුතු ය. රාජකීය රහස් දැන හිඳීම ද නොකැපී සිටීමට හේතුවක් වුව එය ඇතැම් විට ජන්ම පත්‍රයේ නැති මාරක අපල ඇති කිරීමට හේතුවක් විය හැකිය.
ලසන්ත වීරකුලසූරිය