ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුතා හිරේ යයි ද?

vinivida

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත් හන්ටර් බයිඩ්න් මේ වනවිට ලොකු ගැටලුවකට මුහුණ දී සිටියි. ඇතැම් විට ඔහු වසර කිහිපයකට හිරේ යාමට පවා ඉඩ තිබේ. මන්ද යත් පසුගිය දා ඔහුට එරෙහිව විභාග වූ නඩුවකින් ඔහු වරදකරු වීම නිසා ය. මෙහි දී ඔහුට එල්ල වී තිබූ චෝදනාවලට අනුව හන්ටර්ට වසර 25 ක් දක්වා සිර දඬුවම් නියම කිරීමට හැකියාව තිබේ. නඩුවෙන් ඔහු වරදකරු බවට තීන්දු කෙරුණත් තවම ඔහුට දඬුවම් නියම කර නැත. ඉදිරි දිනවල ඔහුට දඬුවම් නියම කිරීම ද සිදුවනු ඇති අතර මෙය බොහෝ දෙනෙකු මහත් කුතුහලයෙන් යුතුව බලා සිටින කාරණයක් බවට පත්ව තිබේ.

හන්ටර් මේ ආකාරයෙන් වරදකරු වී ඇත්තේ බොරු කීම පිලිබඳ චෝදනාවකට ය. මෙම සිද්ධිය සිදු වූයේ 2018 වසරේ යි. එම වසරේ දිනෙක හන්ටර් ගිනි අවියක් මිල දී ගෙන තිබූ අතර එහි දී පිරවිය යුතු පෝර්මයක ඔහු සාවද්‍ය තොරතුරු සටහන් කර ඇති බවට චෝදනා නැගිණි. එම චෝදනාවලට අනුව ඔහු බොරු කියා තිබුණේ තමා මත්ද්‍රව්‍ය භාවිත කරනවා ද යනුවෙන් අසා තිබූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි. ඔහු එම ප්‍රශ්නයට පිලිතුරු දී තිබුණේ ‘නැහැ’ යනුවෙනි. නමුත් පැමිණිලි පාර්ශ්වය චෝදනා කර තිබුණේ ඒ වනවිට ඔහු මත් ද්‍රව්‍ය භාවිත කරමින් සිටි බවට යි. ඇමරිකානු නීතිය අනුව මත් ද්‍රව්‍ය භාවිත කරන්නෙකුට ගිනි අවි මිල දී ගැනීම සහ ළඟ තබා ගැනීම යන දෙකම තහනම් ය. හන්ටර් බයිඩ්න් මිල දී ගත් ගිනි අවිය මාස 11 ක කාලයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබිණි.

හන්ටර් සිය බිරිඳ සමග

හන්ටර් බයිඩ්න් කලක් දැඩි ලෙස මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි කෙනෙකි. කොකේන් වැනි මත් ද්‍රව්‍ය ඔහු පාවිච්චි කර තිබූ බව සඳහන් වේ. ඊට තදින්ම ඇබ්බැහිව සිටි කාලයේ සෑම විනාඩි 15 කට වරක්ම වාගේ තමා කොකේන් භාවිත කළ බව ද ඔහුම සඳහන් කර තිබිණි. 2021 වසරේ හන්ටර් Beautiful Things නමින් පොතක් පළ කළේය. එය ඔහුගේ ජීවිත මතක සටහන් ඇතුළත් පොතකි. මත් ද්‍රව්‍ය ඇබ්බැහිය ගැන බොහෝ තොරතුරු ඔහු මෙම පොතේ ඉතා විවෘතව සඳහන් කර තිබේ.

ඇමරිකාවේ බලයේ සිටින ජනාධිපතිවරයකු ගේ දරුවකුට එරෙහිව අපරාධ නඩුවක් විභාග වූ පළමු අවස්ථාව මෙය යි.

හන්ටර් බයිඩ්න් මිල දී ගෙන තිබුණේ කෝල්ට් වර්ගයේ ගිනි අවියක් වූ අතර ඔහු එම අවිය මිල දී ගත් ආයතනයේ පුද්ගලයකු ද මෙම නඩුවේ දී සාක්‍ෂි දුන්නේය. ඔහු පවසා තිබූ ආකාරයට හන්ටර් මෙම ගිනි අවිය සඳහා ඇමරිකානු ඩොලර් 900 ක ( ලංකා රුපියල් 270,000 ක පමණ) මුදලක් ගෙවා තිබිණි.

හන්ටර් බයිඩ්න් කලක් දැඩි ලෙස මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි කෙනෙකි. කොකේන් වැනි මත් ද්‍රව්‍ය ඔහු පාවිච්චි කර තිබූ බව සඳහන් වේ. ඊට තදින්ම ඇබ්බැහිව සිටි කාලයේ සෑම විනාඩි 15 කට වරක්ම වාගේ තමා කොකේන් භාවිත කළ බව ද ඔහුම සඳහන් කර තිබිණි. 2021 වසරේ හන්ටර් Beautiful Things නමින් පොතක් පළ කළේය. එය ඔහුගේ ජීවිත මතක සටහන් ඇතුළත් පොතකි. මත් ද්‍රව්‍ය ඇබ්බැහිය ගැන බොහෝ තොරතුරු ඔහු මෙම පොතේ ඉතා විවෘතව සඳහන් කර තිබේ.
මත් ද්‍රව්‍ය ඇබ්බැහිය නිසා ඔහු බොහෝ අවස්ථාවල පුනරුත්ථාපන වැඩසටහන්වලට ද යොමු කරනු ලැබ තිබිණි.

හන්ටර් බයිඩ්න් මේ ආකාරයෙන් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිව තිබුණේ ඔහුට සමීපව සිටි අය අහිමි වීම නිසා හටගත් මානසික අර්බුද නිසා බවක් සඳහන් වේ. 1972 වසරේ ඔහු ගේ මව සහ සොහොයුරිය රිය අනතුරකින් මිය ගිය අතර එම අනතුර සිදු වූයේ ඔහුගේ මව නීලියා බයිඩ්න් ඔවුන්ගේ මෝටර් රිය පදවාගෙන යමින් සිටිය දී ය. එම අවස්ථාවේ හන්ටර් ද රිය තුළ සිටි බව සඳහන් වේ. 2015 වසරේ හන්ටර්ගේ සොහොයුරු බෝව් බයිඩ්න් ද මොළයේ පිලිකාවකින් මිය ගියේය.

හන්ටර් බයිඩ්න් ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පළමු විවාහයේ දරුවෙකි. ජෝ බයිඩ්න්ගේ පළමු බිරිඳ වූ නීලියා මිය යාමෙන් වසර පහකට පසු ඔහු ජිල් ජේකබ්ස් සමග විවාහ වූයේය. බයිඩ්න්ගේ වත්මන් බිරිඳ ඇය යි.

ජෝ බයිඩ්න් අධිකරණය වෙත නොපැමිණියත් නඩු විභාගය ගැන දැඩි අවධානයකින් පසු වූ බව පෙනිණි. මෙම නඩු විභාගයත්, සිය පුත්‍රයාට එල්ල වී ඇති චෝදනාත් ජෝ බයිඩ්න් තුළ විශාල කම්පාවක් ඇති කර තිබෙන බව වාර්තා වේ. කෙසේ නමුත්, තමා අධිකරණයේ තීන්දුවට ගරු කරන බව ද, තම පුතුට සමාවක් පිරිනැමීමට කටයුතු නොකරන බව ද ඔහු පවසා තිබිණි.

හන්ටර්ට එරෙහි නඩු විභාගය ආරම්භ වූයේ ජුනි 3 වැනි දින ය. එය සතියක කාලයක් පැවැති අතර තීන්දුව ප්‍රකාශ කරන ලද්දේ ජුනි 11 වැනි දින යි. නඩු විභාගය පැවතෙද්දී ඔහුගේ පවුලේ සමීපතමයන් ඔහුට සහය දක්වමින් අධිකරණය වෙත පැමිණ සිටිනු දැකිය හැකි විය. හන්ටර්ගේ කුඩම්මා ජිල් බයිඩ්න් ද, ඔහුගේ බිරිඳ මෙලිසා කෝහන් ද නිතරම අධිකරණය වෙත පැමිණියෝය. ජෝ බයිඩ්න් අධිකරණය වෙත නොපැමිණියත් නඩු විභාගය ගැන දැඩි අවධානයකින් පසු වූ බව පෙනිණි. මෙම නඩු විභාගයත්, සිය පුත්‍රයාට එල්ල වී ඇති චෝදනාත් ජෝ බයිඩ්න් තුළ විශාල කම්පාවක් ඇති කර තිබෙන බව වාර්තා වේ. කෙසේ නමුත්, තමා අධිකරණයේ තීන්දුවට ගරු කරන බව ද, තම පුතුට සමාවක් පිරිනැමීමට කටයුතු නොකරන බව ද ඔහු පවසා තිබිණි.

බදු මුදල් නොගෙවීමක් සම්බන්ධ නඩුවක් ද හන්ටර් බයිඩ්න්ට එරෙහිව විභාග වීමට නියමිත ය. ඇ. ඩොලර් මිලියන 1.4 ක ( ලංකා රුපියල් කෝටි 42 ක පමණ) බදු මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත. එම චෝදනාවලට ද ඔහු වරදකරු වුවහොත් වසර 17 ක් දක්වා සිර දඬුවම් නියම කිරීමට හැකියාව ඇති බව සඳහන් වේ. මෙම නඩු විභාගය ලබන සැප්තැම්බර් මාසයේ ආරම්භ වීමට නියමිතව තිබේ.

මෙම සිදුවීම් සිද්ධ වෙමින් ඇත්තේ ජෝ බයිඩ්න් ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වෙමින් සිටිය දී වීම ද විශේෂත්වයකි.

පසුගිය දා ප්‍රකාශයට පත් කෙරුණු නඩු තීන්දුවට එරෙහිව හන්ටර් බයිඩ්න් අභියාචනයක් ගොනු කිරීමට ඉඩ ඇති බව ද සඳහන් වේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර