ඇමරිකානු ජනාධිපතිගේ වයස ගැන ප්‍රශ්නයක්

2020 වසරේ පැවැති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් ජෝ බයිඩ්න් ධුරයට පත් වූයේ වාර්තාවක් පිහිටුවමිනි. ඒ, එරට ඉතිහාසයේ ජනාධිපති ධුරයට පත් වියපත්ම පුද්ගලයා වශයෙනි. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 78 ක් විය. මේ වෙද්දී ඔහු 80 වැනි වියෙහි පසුවෙයි.

ජෝ බයිඩ්න්ගේ වයස මේ දිනවල ඇමරිකානු දේශපාලන කරළියේ නැවතත් ප්‍රධාන මාතෘකාවක් වී තිබේ. ඒ ඔහු 2024 වසරේ පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණයට ද තරග කිරීමට බලාපොරොත්තු වන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම නිසා ය. එම ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්‍ෂයෙන් නාම යෝජනා දිනා ගැනීම සඳහා තමා ඉදිරිපත්වන බව බයිඩ්න් පසුගිය 25 වැනි දින නිවේදනය කළේය.
යම් හෙයකින් ඔහු එම පක්‍ෂයෙන් නාම යෝජනා දිනා ගැනීමට සමත් වුවහොත් සහ ඉන්පසු ජනාධිපතිවරණයෙන් ද ජයගෙන නැවත ජනාධිපති වුවහොත් එම ධුර කාලය අවසන් වනවිට ඔහුගේ වයස අවුරුදු 86 ක් වනු ඇත. මෙතරම් වියපත් කෙනෙකු ඇමරිකාව වැනි රටක ජනාධිපති පදවිය දැරීම කෙතරම් සුදුසු ද? මෙය මේ වනවිට ඇමරිකානු ජනතාව ද නගන ප්‍රශ්නයක් වී ඇති බව පෙනේ.

මෙයට දින කිහිපයකට පෙර ඇමරිකාවේ NBC News නැමැති මාධ්‍ය ආයතනය විසින් පවත්වන ලද ජනමත සමීක්‍ෂණයකින් හෙලි වී තිබුණේ එරට ජනතාවගෙන් සියයට 70 ක් පමණ බයිඩ්න් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවිය යුතු යයි සිතන බවයි. එපමණක් නොව ඔහුගේ පක්‍ෂය වන ඩිමොක්‍රටික් පක්‍ෂයේ සියයට 51 ක් ද සිටින්නේ එම අදහසේම බව එහි දී හෙලි වී තිබිණි. ඔවුන් අතරින් අඩකගේ පමණ මෙම විරෝධයට හේතු වී ඇති ප්‍රධාන සාධකය වී ඇත්තේ බයිඩ්න්ගේ වයස යි.

බයිඩ්න් මෙම ජනාධිපතිවරණයට තරග කරද්දී ඔහුගෙන් වචනයක් වැරදුනහොත්, නොගැලපෙන යමක් කියවුණහොත්, එසේ නැතිනම් ඔහු ඇද වැටීමක් හෝ අසනීප වීමක් වැනි දෙයක් සිදු වුවහොත් එය ඔහුගේ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්‍ෂය දැඩි ලෙස ප්‍රයෝජනයට ගනු ඇති බව නිරීක්‍ෂකයෝ පෙන්වා දෙති. බයිඩ්න්ගේ මතක ශක්තිය, සිහි කල්පනාව, ශාරීරික යෝග්‍යතාව වැනි දේ ගැන ප්‍රශ්න කිරීම සඳහා ඔවුන් මෙවැනි අවස්ථාවක් ප්‍රයෝජනයට ගනු ඇත. මෙයට මාස කිහිපයකට පෙර ඇමරිකානු කොංග්‍රස් මැතිවරණය පැවැති අවස්ථාවේ රිපබ්ලිකන් පක්‍ෂය ඔවුන්ගේ දේශපාලන රැළිවල දී එක්තරා විඩියෝවක් ප්‍රදර්ශණය කළ අතර එහි ඇතුළත් වූයේ බයිඩ්න්ගෙන් සිදුවූ එවැනි වචන වැරදීම් වැනි අතපසු වීම් ය.

කෙසේ වෙතත්, බයිඩ්න්ගේ වයස කාට ප්‍රශ්නයක් වුවත් බයිඩ්න්ට එය ප්‍රශ්නයක් වී නැත. තමාට ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට හැකි බවට ඔහු තුළ විශාල විශ්වාසයක් ඇති ආකාරයක් පෙනේ.
‘මගේ වයස ගැන ප්‍රශ්න කිරීමට ඕනෑම කෙනෙකුට සාධාරණ අයිතියක් ඇති බව මා පිලිගන්නවා. නමුත් මට කියන්න තියෙන්නේ එක දෙයයි. මා වැඩ කරන දෙස බලා සිටින්න’ වරක් ඔහු පවසා තිබිණි.

මෙවර ද ඔහු තමාගේ උප ජනාධිපති අපේක්‍ෂිකාව ලෙස තෝරාගෙන සිටින්නේ වත්මන් උප ජනාධිපතිනිය වන කමලා හැරිස් ම ය. ඉන්දියානු සම්භවයක් ඇති ඇයගේ වයස මේ වනවිට අවුරුදු 58 කි. බයිඩ්න්ගේ ධුර කාලය තුළ යම් හේතුවක් නිසා ඔහුට ධුරයේ කටයුතු කළ නොහැකි තත්ත්වයක් ඇති වුවහොත් ජනාධිපති ධුරයට පත් වන්නේ ඇය යි. බයිඩ්න්ගේ අනාගත ජනාධිපතිවරණ ව්‍යාපාරයට ඇයගෙන් විශාල ජවයක්, ප්‍රාණයක් එකතු වනු ඇති බව නිරීක්‍ෂකයන්ගේ අදහස යි. මේ තුළින් බයිඩ්න්ගේ වයස පිලිබඳ කාරණය යම් දුරකට යටපත් කිරීමට හැකි වනු ඇති බව ද ඔවුහු පෙන්වා දෙති. තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව බයිඩ්න් නිවේදනය කර තිබුණේ විඩියෝවක් මාර්ගයෙනි. මෙම විඩියෝවේ ද කමලා හැරිස් නිතර දකින්නට හැකි වේ. 2012 වසරේ බැරක් ඔබාමා දෙවැනි ධුර කාලය සඳහා තරග කිරීමට ඉදිරිපත් වූ අවස්ථාවේ ද මෙවැනි විඩියෝවක් නිර්මාණය කර තිබිණි. නමුත් එවකට උප ජනාධිපති වූ බයිඩ්න්ගේ රුව එහි දක්නට ලැබුණේ නැත.

කෙසේ හෝ වේවා, 2024 ජනාධිපතිවරණයට තරග කිරීමට බයිඩ්න්ට ඉඩ ලැබෙන්නේ ඩිමොක්‍රටික් පක්‍ෂයෙන් ඔහුට නාම යෝජනා දිනාගැනීමට හැකි වුවහොත් පමණි. කෙසේ හෝ වේවා, එම නාමයෝජනා තරගයේදී ඔහුට අභියෝගයක් එල්ල කළ හැකි ප්‍රබල ප්‍රතිවාදියකු තවම ඉදිරිපත් වී නැත. ඒ නිසා බයිඩ්න්ට නාම යෝජනා හිමි වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසය යි. එසේ වුවහොත් 2024 ජනාධිපතිවරණය නැවතත් බයිඩ්න් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර තරගයක් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. තමා මීළඟ ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්‍ෂයෙන් නාම යෝජනා දිනා ගැනීමට තරග කරන බව ට්‍රම්ප් ද මේ වනවිට ප්‍රකාශ කර අවසන් ය. නමුත් තවත් අපේක්‍ෂකයෝ කිහිප දෙනෙක් ඔහු සමග නාමයෝජනා තරගයට ඉදිරිපත්ව සිටිති. නිරීක්‍ෂකයන් පවසන්නේ ට්‍රම්ප් ඒ අතරින් ඉදිරියෙන් සිටින බවයි. එම පක්‍ෂයේ නාම යෝජනා ඔහුට හිමි වුවහොත් 2024 දී නැවතත් බයිඩ්න්-ට්‍රම්ප් තරගයක් දැක ගැනීමට හැකි වනු ඇත. එසේ වුවහොත් බයිඩ්න්ට හිමිවන එක් වාසියක් වනු ඇත්තේ ට්‍රම්ප් ද තරුණයකු නොවීම යි. ඔහු බයිඩ්න්ට වඩා බාල වන්නේ අවුරුදු 4 කින් පමණි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර