අපරාධකරුවන්ට මරණ දඬුවම ලබා දීමේ දී මෙතෙක් කිසිදු රටක් භාවිත නොකළ ක්‍රමයක් පළමු වතාවට භාවිත කිරීමට පසුගිය 25 වැනි දින ඇමරිකාව පියවර ගත්තේය. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ දී සාමාන්‍යයෙන් යොදා ගැනෙන්නේ එල්ලා මැරීම, වෙඩි තැබීම, විෂ එන්නත් කිරීම වැනි ක්‍රම යි. නමුත් පසුගිය දා ඇමරිකාව යොදා ගත් ක්රමයේ දී සිදු වූයේ නයිට්රජන් වායුව ආඝ්‍රාණය කරවීමෙන් මරණයට පත් කිරීම යි. මුහුණ වැසෙන සේ යොදන ලද ගෑස් ආවරණයක් හරහා වැරදිකරුගේ සිරුරට නයිට්රජන් ඇතුල් කරනු ලැබිණි. මෙහි දී මරණය සිදුවන්නේ සිරුරට ඔක්සිජන් අහිමි වීම තුළිනි. මෙම ක්‍රමය අනෙක් ක්‍රමවලට වඩා වේදනාකාරී සහ අමානුෂික ක්‍රමයක් බවට පසුගිය දිනවල විශාල වශයෙන් අදහස් පළ විය.
පසුගිය 25 වැනි දින මෙම නව ක්‍රමය තුළින් මරණ දඬුවම ලබා දුන්නේ කෙනත් ඉයුජින් ස්මිත් නැමැති වැරදිකරුවකුට යි. මෙම දණ්ඩනය ක්‍රියාත්මක වූයේ ඇමරිකාවේ ඇලබාමා ප්රාන්ත්රයේ ය. එහි පිහිටි විලියම් හෝල්මන් බන්ධනාගාරයේ දී ස්මිත්ට මෙම දඬුවම ලබා දෙන ලද්දේ එදින රාත්‍රි 8 ට පමණ ය.
මෙහිදී දඬුවම ලබා දෙන්නේ අදාළ පුද්ගලයා ඇඳක් වැනි ආධාරකයකට ගැට ගැසීමෙන් පසුව යි. කෙනත්ට නයිට්රජන් ආඝ්‍රාණය කරවද්දී ඔහු ඉතා වේගයෙන් එහා මෙහා දැඟ ලූ බව එම සිද්ධිය ඇසින් දුටු ඇතැමුන් මාධ්‍ය සමග පවසා තිබිණි. මෙය මෙම ක්රමයේ ඇති වේදනාකාරී බව පිලිබඳ සාක්ෂියක් බැව් බොහෝ දෙනා පෙන්වා දී ඇත. හුස්ම ගැනීමේ අපහසුතාව සහ වමනය යාමත්, එම වමනය උගුරේ සිරවීමත් නිසා මෙම දඬුවමට යටත් වන්නකු දැඩි වේදනාවට පත් විය හැකි බව ඇතැම් පාර්ශ්ව මෙම සිද්ධියට කලින් සිටම පෙන්වා දී තිබිණි. නමුත් ඇලබාමා හි නිලධාරීන් පවසා තිබුණේ මරණ දඬුවම ලබා දෙන ක්‍රම අතරින් මෙය වේදනාව අඩුම ක්‍රමය විය හැකි බවයි.
දඬුවම ක්‍රියාත්මක කිරීමට ආසන්න කාලයේ කෙනත් ස්මිත් ද මානසික වශයෙන් දැඩි ආතතියකින් පසු වූ බව සඳහන් විය. මෙම නයිට්රජන් ක්‍රමය ඊට කලින් කිසිදා අත්හදා නොබැලූ ක්‍රමයක් නිසා එය වේදනාකාරී ද නැද්ද යන්න පිලිබඳ ඔහු කිසිවක් නොදැන සිටි බැවිනි.
58 වැනි වියෙහි පසු වූ ස්මිත් ඒ දිනවල නිතර අසනීප වෙමින් සිටි බව ද සඳහන් වේ.
“වමනෙ යන්න එනව වගේ හැම තිස්සෙම දැනෙනවා. ලොකු භීතියක් නිතරම හිතට කඩා වදිනවා. දැනටමත් මම විශාල වධයකට ලක්වෙලයි සිටින්නේ” දඬුවමට දින කිහිපයකට පෙර ස්මිත් මාධ්‍ය ආයතනයක් සමග පවසා තිබිණි.
ඔහුගේ ආගමික උපදේශකවරයා වූ ආචාර්ය ජෙෆ් හුඩ් නැමැති පූජකවරයා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනු දැකිය හැකි විය. “ස්මිත් බියෙන් සිටින්නේ මිය යාමට නොවෙයි. ඔහු ඒ බව පැහැදිලිව කියා තිබෙනවා. ස්මිත්ට බියක් තිබෙන්නේ මෙම ක්‍රමය තුළින් ඔහුට දැඩි වේදනාවක් විඳින්න වෙයිද යන්න පිලිබඳවයි” පූජකවරයා පවසා තිබිණි.
මරණ දඬුවම ලබා දීමේ නව ක්‍රමයක් අත්හදා බලන ලද්දේ වසර 42 කට පසුව යි. විෂ එන්නත් කර මරණ දඬුවම ලබා දීමේ ක්‍රමය පළමු වරට ක්‍රියාත්මක කරන ලද්දේ 1982 වසරේ ය.
කෙනත් ස්මිත්ට මේ ආකාරයෙන් මෙම දඬුවම ලබා දුන්නේ 1988 වසරේ ඔහු සහ තවත් පුද්ගලයකු එක්ව කරන ලද මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙනි. එහි දී ඝාතනයට ලක් වූයේ එළිසබෙත් සෙනෙට් නැමැති 45 හැවිරිදි කාන්තාවකි. මෙය කුළී ඝාතනයක් බව සඳහන් වේ. ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දී තිබුණේ අර කාන්තාවගේම සැමියා ය. ණය බරින් මිරිකී සිටි ඔහු රක්ෂණ මුදලක් ලබා ගැනීම සඳහා මෙම ඝාතතනය සැලසුම් කළ බව අනාවරණය විය.
ඝාතනය වෙනුවෙන් එළිසබෙත්ගේ සැමියා ස්මිත්ට සහ ඔහුගේ සගයාට ලබා දුන් මුදල ඇ. ඩොලර් 1,000 ක් බව ද සඳහන් ය. මරණය සිදු කර තිබුණේ යම් මෙවලමකින් පහර දීමෙන් සහ පිහියෙන් ඇනීමෙනි. නිවසට පනින ලද සොරුන් විසින් කරන ලද අපරාධයක් ලෙස පෙනී යන ආකාරයෙන් එය සිදු කර තිබිණි.
විමර්ශණ සිදු වෙමින් තිබිය දී එළිසබෙත් සෙනෙට්ගේ සැමියා සිය දිවි නසා ගත්තේය.
ස්මිත් සමග එක්ව මෙම අපරාධය සිදු කළ අනෙක් පුද්ගලයා වූ ජෝන් ෆොරෙස්ට් පාකර්ට මෙයට පෙර මරණ දඬුවම ලබා දී තිබිණි. ඒ 2010 වසරේ ය
ස්මිත්ට මරණ දඬුවම ලබා දීමට නියමිතව තිබුණේ 2022 වසරේ යි. ඒ විෂ එන්නත් කිරීමේ ක්‍රමය මගිනි. නමුත් එම අවස්ථාවේ විෂ එන්නත් කිරීම සඳහා අලුගෝසුවන්ට ඔහුගේ සිරුරේ නහර නිසි ආකාරයෙන් පාදා ගැනීමට නොහැකි වූ අතර ඒ හේතුවෙන් එවර දඬුවම අවලංගු කිරීමට සිදු විය.
නයිට්රජන් ක්‍රමය මගින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තවමත් අනුමත කර ඇත්තේ ඇමරිකාවේ ප්‍රාන්ත තුනක් පමණි. ඒ ඇලබාමා, මිසිසිපි සහ ඔක්ලහෝමා නැමැති ප්‍රාන්ත යි.
නිහාල් පීරිස්