ඇමරිකාවට ඉහළ අහසේ දිස් වන්නේ පිටසක්වල යානා ද?

මෙයට ටික දිනකට පෙර ඇමරිකාවට ඉහළ අහසේ දිස් වූ චීන බැලූනය පිලිබඳ සිද්ධිය ලොව පුරා විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් වුණා. එය චීනය විසින් ඔත්තු බැලීම සඳහා එවන ලද බැලූනයක් යයි පැවසූ ඇමරිකාව පසුගිය 4 වැනි දින එයට වෙඩි තබා බිම හෙලුවා. මෙම බැලූනය නිසා මේ වනවිට ඇමරිකා-චීන මහ බලවතුන් අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් මතු වී තිබෙනවා. කෙසේ හෝ වේවා, මෙම සිද්ධිය පිලිබඳ උණුසුම පහව යන්නටත් පෙර තවත් අබිරහස් ආකාශ වස්තූන් තුනක් පිලිබඳව උතුරු ඇමරිකානු කලාපයෙන් වාර්තා වුණා. මේවා මුලින් දිස් වූ බැලූනයට වඩා කුඩා ඒවා බවයි සඳහන් වුණේ.

ඇමරිකාවට සහ කැනඩාවට ඉහළින් ගමන් කරමින් තිබූ මෙම අබිරහස් වස්තුන්ට ද මිසයිල ප්‍රහාර එල්ල කර බිම දැමීමට ඇමරිකානු සහ කැනේඩියානු ආරක්‍ෂක අංශ පියවර ගත්තා. මේ අතරින් එකක් සිලින්ඩරාකාර වස්තුවක් වූ බවක් ද වාර්තා වී තිබෙනවා. තවත් වස්තුවක් අහසේ ගමන් කිරීම සඳහා බලය ලබා ගත්තේ කෙසේද යන්න ගැටලුවක් බවත් නිලධාරීන් පවසා තිබුණා. කෙසේ හෝ වේවා, මෙම වස්තුන් මොනවාද, ඒවා එව්වේ කව්ද වැනි කාරණා ගැන අඟහරුවාදා (14) වනවිටත් නිශ්චිතව කිසිවක් අනාවරණය කර ගැනීමට ඇමරිකානු ආරක්‍ෂක අංශවලට හැකි වී තිබුණේ නැහැ.

මේ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියකු ඇමරිකානු ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් විමසා තිබුණේ මේවා පිටසක්වල සිට පැමිණි වස්තූන් විශේෂයක් විය හැකිද යන්නයි. ජනරාල් ග්ලෙන් වැන්හර්ස්ක් එහි දී පවසා තිබුණේ එවැනි පැහැදිලි කිරීමක් පවා තමා ප්‍රතික්‍ෂේප නොකරන බවයි. කෙසේ නමුත් ඒ පිලිබඳ අවසන් නිගමනයක් කළ යුත්තේ බුද්ධි අංශ බවක් ද ජනරාල්වරයා පවසා තිබුණා.

මුලින්ම මෙවැනි අබිරහස් වස්තුවක් දිස්ව තිබුණේ 10 වැනි සිකුරාදා යි. ඒ ඇමරිකානු ප්‍රාන්තයක් වන ඇලස්කාවට ඉහළ අහසේ යි. ඊළඟට 11 වැනි සෙනසුරාදා කැනඩාවට ඉහළින් ද තවත් වස්තුවක් දැක ගන්නට ලැබී තිබුණා. සිලින්ඩරාකාර හැඩයක් ගත් බව පැවසුණේ එයයි. මෙම වස්තුව දිස්ව තිබුණේ කැනඩාවේ යුකෝන් නැමැති කලාපයට ඉහළිනුයි. එය ඇමරිකානු දේශසීමාවේ සිට කි.මී. 160 ක් පමණ දුරින් පිහිටා ඇති කලාපයක්.

මෙම වස්තුව පිලිබඳව කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සමග ද සාකච්ඡා කිරීමෙන් පසු එය බිම හෙලීම සඳහා දෙරටේම සහභාගිත්වයෙන් මෙහෙයුමක් දියත් කර තිබුණා. අවසානයේ ඇමරිකානු යුද ගුවන් යානා එය වෙඩි තබා බිම හෙලූ බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධියෙන් පසු 12 වැනි ඉරිදා නැවතත් ඇමරිකාවට ඉහළ අහසේ තවත් වස්තුවක් දිස්ව තිබූ අතර එය ද වෙඩි තබා බිම හෙලන ලෙස ජනාධිපති බයිඩ්න් නියෝග කළා. කෙසේ නමුත් මෙම වස්තුන්ගේ සුන්බුන් තවමත් සම්පූර්ණයෙන් එක්රැස් කර ගැනීමට නොහැකිව ඇති නිසා මේවා ගැන නිශ්චිතව කිසිවක් කීමට නොහැකි බව ආරක්‍ෂක අංශ සඳහන් කර තිබුණා.

ඔත්තු බැලීමේ බැලූනයක් යයි ඇමරිකාව චෝදනා කළ චීන බැලූනයෙන් පසු එකවරම මේ ආකාරයෙන් අබිරහස් වස්තුන් දිස්වන්නට පටන් ගත්තේ මන්ද යන්න බොහෝ දෙනා තුළ ඇති කර තිබෙන්නේ විශාල කුතුහලයක්. චීන බැලූනයේ සිද්ධියෙන් පසු ඇමරිකාව සිය රේඩාර් පද්ධති හරහා ගුවන් නිරීක්‍ෂණ කටයුතු වඩාත් තීව්‍ර කර තිබීම මෙවැනි වස්තූන් හමුවන්නට එක් හේතුවක් විය හැකි බව ඇතැම් විශේෂඥයන්ගේ අදහසයි. මෙවැනි වස්තූන් මෙයට කලින්ද අහසේ පියාසර කරන්නට ඇති බවත්, නමුත් ඒවා කාගේවත් අවධානයට හසු නොවන්නට ඇති බවත් ඔවුන් පවසනවා. තවත් සමහර විශේෂඥයන් පවසන්නේ ඇමරිකාවේ රේඩාර් පද්ධති වැනි තාක්‍ෂණයන් කෙතරම් ප්‍රබලද යන්න මේ හරහා මැන ගැනීම සඳහා චීනය හෝ වෙනත් බලවතෙකු මේවා එව්වා විය හැකි බවයි. කෙසේ නමුත් මේ කිසිවක් පිලිබඳව තවමත් කිසිවෙකුටත් අවසන් නිගමනයකට පැමිණීමට හැකි වී නැහැ.

මේ සියල්ල අතරේ චීනයට ඉහළින් ද තවත් අබිරහස් වස්තුවක් දිස් වී ඇති බවට පුවතක් සඳුදා (13) එරට මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙම වස්තුව දිස් වී තිබුණේ චීනයේ නැගෙනහිර දිශාවේ පිහිටි කින්දාඕ නැමැති ප්‍රදේශය ආසන්නේ මුහුදට ඉහළිනුයි. තමුන් මෙම අබිරහස් වස්තුවට වෙඩි තබා බිම හෙලන බව චීන නිලධාරීන් ද එදින පවසා තිබුණා.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර