යථාර්ථවාදී සහ ප්‍රකෘති මට්ටම ඉක්මවා ගිය අධි විශ්වාසවලින් මුළු මානව සංහතියම බැඳී තිබේ. ඒ ඇතැම් විශ්වාස එක් එක් ජන සමාජයට හා ජන සංස්කෘතියට අනුව වෙනස් වෙයි. නිදසුනක් ලෙස තනි පොල්කිච්චකු දැකීම අප ජන සංස්කෘතියට අනුව අසුබ නිමිත්තක් වුව ද චීනයේ ඇතැම් ප්‍රදේශවල එය සුබ ලකුණක් සේ සලකනු ලැබේ. අධි විශ්වාස සම්බන්ධ මෙවන් විෂමතා බොහොමයකි.
නමුදු අප සමාජයේ ඇස්වහ කටවහ යනුවෙන් හැඳින්වෙන මෙම අධි විශ්වාසය සමස්ත ලෝකය පුරාම පාහේ දක්නට ලැබෙන්නකි. ඒ සම්බන්ධයෙන් සමාජ මනෝ විද්‍යාඥයන් දක්වන පොදු මතය වනුයේ එකි`නෙකා අභිබවා ඉස්මතු වීම සම්බන්ධයෙන් මිනිසුන් තුළ ස්භාවිකව පවත්නා මානසික තරගයේ ප්‍රඥාවට නතු නොවන පැතිකඩක් ලෙස මෙම ඇස්වහ කටවහ පිළිබඳ විශ්වාස සැලකිය හැකි බව ය.ස්මාජයේ පන්ති අතර පවත්නා තරඟකාරිත්වයට නතු නොවන අන්ත දුගීන් යාචක කාරකාදීන් තුළ මෙම විශ්වාස අව ප්‍රමාණව පැවතීම නිරීක්ෂකයන්ගේ අවධානයට යොමු වී තිබේ. පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග තමන් දන්නා කියන දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල දැන ගැනීම කෙරෙහි බොහෝ දෙනකු යුහුසුළු වූ බව නොරහසකි. ඒ කරුණ සම්බන්ධයෙන් මා හා අදහස් පළ කළ ගම්පහ ජනප්‍රිය පාසලක ගුරුවරියක කියා සිටියේ මෙවර ශිෂ්‍යත්වය සමත් ඇතැම් දරුවන්ගේ එම විභාග ප්‍රතිඵලය අන්‍යයන් හා පැවසීමට මැළි බවක් දක්වන බව ය. ඊට හේතුව එසේ තම දරුවන්ගේ ජයග්‍රහණයන් පිළිබඳව පිටස්තරයන් හා පැවසීමෙන් එම දරුවන් ඇන්වහ කටවහ දෝෂවලට ලක්වන බවකි.
සාමාන්‍ය ව්‍යවහාරයේ දී ඇස්වහ, කටවහ යනුවෙන් හැඳින්වුව ද මෙම විශ්වාස ප්‍රධාන කොටස් තුනකින් යුතු ය. එනම් ඇස්වහ, කටවහ සහ හෝවහ යනුවෙනි. ඇස්වහ යනු යමකු හෝ යමක් දෙස බැලීමෙන් හට ගන්නා බවට සැලකෙන ගුප්ත දෝෂයයි. ඒ තැනැත්තා හෝ වස්තුව සම්බන්ධයෙන් යමක් පැවසීමෙන් හටගන්නා ගුප්ත දෝෂය කටවහ ලෙස නම් කෙරේ. හෝවහ යනු යමකු හෝ යමක් දෙස බලා ඉච්ඡා භංගත්වයෙන් යුතුව හීල්ලීමට හෙවත් සුසුම් හෙළීමට යෙදෙන නමකි. බටහිර සංස්කෘතියේ ද මෙම විශ්වාසය මෙපරිද්දෙන්ම තිබෙන අතර ඒවා evil eye,evil mouth,evil thoughයනුවෙන් හැඳින්වෙයි.
මීට අමතරව යමකු හෝ යමක් දැකීමෙන් හට ගන්නා ඉච්ඡා භංගත්වය මුල් කොට සිදු කරන පරාධීන හෙවත් වේදනාත්මක ප්‍රකාශ අඬෝවැඩියා දෝෂ ලෙස ද හැඳින්වෙන අතර ඒවා ඇස්වහ කටවහ හෝවහ දෝෂවලට අයත් නොවන බවක් පෙනෙයි. ඒ පිළිබඳව අපි පසුව විමසා බලමු.
මෙම ඇස්වහ, කටවහ, හෝවහ සම්බන්ධයෙන් සමාජය පුරා පැතිර ඇති අනේකවිධ මතවාද පිළිබඳව දශක තුනක පමණ කාලයක් තිස්සේ ම’විසින් ගොනු කර ගත් කරුණු පදනම් කොට ‘ඇස්වහ – කටවහ වහ දොස් පිළිබඳ සමාජ මනෝ විද්‍යාත්මක විමසුමක්’ යන මැයෙන් කෘතියක් සම්පාදනය කිරීමට හැකි විය. ඒ 2018 වසරේදී ය. ඒ සඳහා ම’විසින් ගොනුකර ගන්නා කරුණු අතුරින් ඇස්වහ කටහව හෝවහ නොවදින පුද්ගලයන් සහ වස්තූන් පිළිබඳ විස්තරය ඉතා වැදගත් බව පුරාවිද්‍යා හා මානව විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විද්වතකු වන හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ සූරීන් ද අවධාරණය කොට තිබේ. එබැවින් අද සමාජයේ බොහෝ දෙනකුගේ අවධානයට යොමු නොවන ඇස්වහ, කටවහ, හෝවහ නොවදින පුද්ගලයන් සහ වස්තූන් පිළිබඳව විමසුමක් කිරීමට මට සිත් විය.
සාමාන්‍ය ව්‍යවහාරය වන දෝෂ නමින් හැඳින්වෙන මෙම ඇස්වහ, කටවහ, හෝවහ වැදීම සම්බන්ධයෙන් නවීන, මෘදු, සියුමැලි ආදී සාධක ඉවහල් වන බව පිළිගත් මතයකි. කුඩා බිලිඳුන්, නව යොවුන් රූමත් තරුණයන්, නවීන ගොඩනැගිලි, වාහන සේම බුලත්, තක්කාලි ආදී භෝග ද මෙම වහ දෝෂවලට වැඩිපුර නතු වන බවට පවතින ජන විශ්වාසය ඊට නිදසුනකි.
ඇස්වහ, කටවහ, හෝවහ පිළිබඳ ජන විශ්වාසවලට අනුව ඒවා නොවදින පුද්ගල තරාතිරම් කිහිපයක් පිළිබඳව ද ජන විඥානයේ සඳහන් වෙයි.
එම ජන විශ්වාසයට අනුව ශ්‍රමණයන්, තාපසයන්, පූජකවරුන්, යාචකයන්, ආබාධිතයන්, යුද සෙනෙවින්, රාජ දණ්ඩනවලට නියම වූවන්, අසාධ්‍ය රෝගීන්, ආබාධිතයන්, මානසික රෝගීන්, ගෘහ ජීවිතවලින් ඉවත් වූවන්, ගණිකාවන් කෙරෙහි ද මෙම ඇස්වහ, කටවහ, හෝවහ යන වහදොස් බලපෑම් එල්ල නොවේ. එමෙන්ම ප්‍රභූ පුද්ගලයන් සහ වයෝවෘද්ධයෝ ද මෙම ගුප්ත දෝෂවලින් නිදහස් වෙති. මෙලෙස ඇස්වහ, කටවහ, හෝවහවලින් නිදහස් වස්තූන් අතරට පැරණි නිවාස, ගොඩනැගිලි, පැරණි රථවාහන, පුරාවස්තු සහ කෞතුක වස්තූන්, සාංඝික වස්තූන්, රාජ්‍ය දේපළ, ආගමික සිද්ධස්ථාන, අම්බලම්, පින්තාලි ආදිය ද ඇතුළත් වන බව ජන විශ්වාසයයි.
ගෘහාශ්‍රිත සතුන් මෙම ඇස්වහ කටවහ හෝවහ බලපෑම්වලට නතුවන මුත් වන සතුන් කෙරෙහි එම බලපෑම එල්ල නොවන බව ද පැවසෙයි. එමෙන්ම මිනිසුන් විසින් වගා කරනු ලබන බව භෝග සඳහා එල්ල වන ඇස්වහ, කටවහ, හෝවහ බලපෑම වනඵල, ගඩාගෙඩි ආදිය කෙරෙහි එල්ල නොවන බවට ද ජන සම්මතයක් තිබේ. පෞද්ගලික වත්තක වුව ද මුරුංගා ආදී කටුසර භෝග ද මෙම වහ දොස් බලපෑමෙන් තොර වන අතර කෙතරම් සශ්‍රීක ලෙස ඵල දරා තිබුණ ද සියඹලා ගස් ද මෙම ඇස්වහ කටවහ බලපෑමෙන් නිදහස් බව පැවසෙයි.
කන්ද උඩරට පවතින ජන විශ්වාසවලට අනුව පෙරහර, දේව පූජා, කංකාරී ආදියට සම්බන්ධ වන නර්තන ශිල්පීන් ද මෙම ඇස්වහ, කටවහ දෝෂවලට නතු වුව ද පහතරට ජන විශ්වාසයට අනුව යකැදුරෝ මෙම ගුප්ත දෝෂයන්ට නතු නොවෙති.මෙම සියලු කරුණු සලකා බැලීමේ දී ඉහත සඳහන් ඇස්වහ, කටවහ, හෝවහ දෝෂ අප සමාජයේ සියලුම දෙනා කෙරෙහි එක සමානව බලනොපාන සේම අප අවට ඇති සෑම වස්තුවක් කෙරෙහිම ද එක සේ බල නොපාන බව අනාවරණය කර ගැනීමට අපට හැකි වේ. නමුදු අප සමාජයේ සාමුහික විඥාන පද්ධතිය තුළ ගොනු වී ඇති මෙම කරුණු පදනම් කර ගනිමින් ඒ සම්බන්ධ ශාස්ත්‍රීය විශ්ලේෂණ ඉදිරිපත් කරන්නවුන්ගේ පැහැදිලි අඩුවක් දක්නට ලැබීම නූතන සමාජයේ පවත්නා ඛේදනීය තත්වයකි.
තිලක් සේනාසිංහ