ඉදිරි සාගතයකදි අපිට “බජිරි”ත් නැතිවේවිද?

මහ කන්නය වෙනුවෙන් ගොවීන්ගෙන් 80% ක් කුඹුරට ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කීවද ගොවි සංවිධාන පවසන්නේ කිහිප දෙනෙකු හැර බහුතරයක් තවමත් සිටින්නේ නිවෙස්වල බවය. එයට හේතුව රසායනික පොහොර නොමැතිවීමය.

රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක නොමැතිවීමේ ප්‍රතිඵලය ගොයම් වෙනුවට ගොජිරි බජිරි ආදී වල් පැල හට ගැනීමත් ගොයම කෘමීන් කා දැමීමත් ය. එයට විකල්පයක් තවමත් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉදිරිපත් කර නැත.

කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ හා වෙළෙද පොලේ තිබෙන කාබනික පොහොර නිසි ප්‍රමිතියක් නොමැතිවීමෙන් සාර්ථක අස්වැන්නක් බලාපොරොත්තු විය නොහැකි බව ගොවීන් පවසයි. දැනට වගා කටයුතු වෙනුවෙන් කුඹුරු සකසා ඇති ගොවීන් ද බලාපොරොත්තු වන්නේ අවසාන මොහොතේ හෝ රසායනික පොහොර ලැබෙනු ඇතැයි කියාය.

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් සඳහන් කරන්නේ ගුණාත්මක බවින් ඉහළ කෘමිනාශක හා වල් නාශක යම් කොටසක් ආනයනය කිරීමට අවසර ලබා දෙන බවය. බොහොමයක් කතා වචනවලට පමණක් සීමා වී තිබේ. උසස් තත්ත්වයේ කාබනික පොහොර ලබා දෙන බව කීවත් ගොවීන්ට ලැබී තිබුණේ වීදුරු කැබලි, යකඩ කැබලි සහිත කලු පස් පිරවූ මලුය. හම්බන්තොට ගොවීන් එම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුනි.

ආණ්ඩුවේ අදූරදර්ශි ක්‍රියාමාර්ග හේතුවෙන් අවසානයේ අසරණ වන්නේ ගොවියාය. අවසන් වන්නේ රටේ කෘෂිකර්මාන්තයයි. කාබනික පොහොර යෙදීමෙන් ඵලදාව අඩුවුහොත් ඊට වන්දි ගෙවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. නමුත් කෘෂිකර්ම අමාත්‍යාංශය අඩු වන ඵලදාව වෙනුවෙන් ඇතිවන සාගතය වළක්වා ගන්නේ කෙසේදැයි කතා කරන්නේ නැත.

ගොවීන් නම් ප්‍රකාශ කරන්නේ වල් නාශක නොමැතිකම නිසා කුඹුරේ හැදෙන බජිරිවලින් ප්‍රයෝජනයක් ගනිමු කියාය. ඒ මන්ද ලෝක යුද්ධය සමයේ ඇතිවූ සාගතයේදී මෙරට ජනතාවට කන්න සිදුවුනේ බජිරි බැවිනි. වී අස්වැන්න අඩුවීම නිසා සහල් නිෂ්පාදනය අඩුවීමට ආදේශකයක් ලෙස කුඹුරේ වැවැල වල්ගසක් ලෙස සලකන බජිරි ජනතාවට කත හැකි බව මේ අයගේ අදහසයි.

එදා බජිරි යනු ධාන්‍ය වර්ගයකි. එය පක්ෂීන් මෙන්ම ජනතාවට ද ආහාරයට ගත හැකි පරිදි නිර්මාණය වූවකි. නමුත් අද එම බජිරි ශාකය දකින්නට නැතැයි පැරණි ගොවියෝ පවසති. දැන් ඇත්තේ පක්ෂීන් වෙනුවෙන් නිර්මාණය වූ බජිරි ශාකයක් බව ඔවුන්ගේ පවසයි. එදා මුං ඇටයකට ආසන්න ප්‍රමාණයක පැවැති බජිරි අද කෙසේවත් දකින්නට නොමැත.

පක්ෂීන් වෙනුවෙන් වගාකරන බජිරි ජනතාවට අහාරයට ගත හැකි වුවත් එය සීමා සහිත බැවින් ඉදිරියේ දී සාගතයක් ඇතිවුවහොත් ජනතාවට බජිරි ද නැත. වල් ගසක් ලෙස සැලකෙන බජිරි ශාකයේ ඵලදාවක් නැතැයි කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියෙකු අප කළ විමසීමක දී කිවේය. එය තවමත් විද්‍යාත්මකව තහවුරු වී නැති බැවින් රජය මේ ගැන පර්යේෂණයක් කළහොත් යම් තරමකින් හෝ සාගතයෙන් මිදිය හමැකි බව අපේ අදහසයි.

කාබනික පොහොර යොදා ලබා ගන්නා වී කිලෝවක් රුපියල් සියයකට මිලදී ගන්නා බව කෘෂිකර්ම ඇමතිවරයා සඳහන් කළේය. එසේම කාබනික පොහොර යොදා වී වගා කිරීමේ කටයුතු ගොවි බිම් හෙක්ටයාර ලක්ෂ පහක පමණ ආරම්භ කර ඇතැයි ද ඔහු පවසයි. රුපියල් 100 ට වී කිලෝවක් ගත් විට සහල් කිලෝවක් විකිණිය හැකි මිල ඔවුන් කතා කරන්නේ නැත.

සහල් කිලෝවක් නිපදනවීමට වී කිලෝ දෙකකට වඩා භාවිකා කළ යුතුය. එසේනම් සහල් කිලෝවක් රුපියල් 250 ට වඩා වැඩි මිලක් නියමවීම වැලැක්විය නොහැකිය. රුපියල් 60 ට වී කිලෝවක් මිලදී ගනිද්දි සහල් කිලෝවක් රුපියල් 150 ක් වන්නේ නම් රුපියල් 100 ට වී කිලෝවක් මිලදී ගනිද්දි සහල් කිලෝවක මිල කීයක් වනු ඇතිදැයි ඔබටම ගණනය කළ හැකිය.

සියළු භාණ්ඩ මිල ඉහළ ගොස්ය. සීනි මිල ද ඉහළ ගොස් තිබේ. සීනි, පරිප්පු, අර්තාපල්, තිරිඟු පිටි, කිරිපිටි, කුකුල් මස්, ලොකු ළුණු, ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 16 ක් වෙනුවෙන් පනවා තිබූ උපරීම සිල්ලර මිල ඉවත් කිරීමට ද රජය කටයුතු කර තිබේ. ඒ අනුව වෙළෙදුන් විසින් මේ භාණ්ඩවල මිල තීරණය කරනු ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනයෙන් ඉවත් වූ මෑත ඉතිහාසයේ පළමු රජය ලෙස වත්මන් රජය අනාගතයට සාක්ෂි සපයනු නියතය.

රට තුළ නිෂ්පාදනය ද පහත ගොසිනි. ඩොලර් නොමැතිකමින් ආනයනය ද පහත වැටි තිබේ. මුදල් අච්චු ගැසීමෙන් රුපියලේ වටිනාකම ද ක්ෂයව ගොසිනි. ලෝක යුද්ධ සමයේ පැවැති සාගතයේදි ජනතාව බජිරි කා ජිවත් වුවද මෙවර සාගතයක් පැමිණිය හොත් බජිරි තබා තණකොලවත් කෑමට තිබේදැයි සැක සහිතය.

ලසන්ත වීරකුලසූරිය

 

 

එතෙර - මෙතෙර