ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ ජනයාට සීනි ඇටයටත් හූල්ලන්න වෙලා!

දහසකුත් අර්බුද වලින් පිරී පවතින අපේ රටේ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර-පාන ලබා ගැනීම සම්බන්ධයෙන් පවා බරපතල ගැටළු පවතී.මේ වන විට බොහෝ ප්‍රදේශවල සුදු සීනි හිගයක් පවතින බව පාරිභෝගිකයෝ මැසිවිලි නඟති.ඔවුන් පවසනුයේ වෙළඳුන් සීනි සඟවා ඇති බවකි.මේ අතර සීනි උපරිම සිල්ලර මිලක් නියම කර තිබියදී පවා ඇතැම් වෙළෙඳුන් තවමත් සුදු සීනි වැඩි මිලට අලෙවි කරන බවද ජනතාව මැසිවිලි නගති.මේ අතර රට තුළ සීනි හිඟයට හේතුව වෙළෙදුන් සීනි සගවා ගෙන සිටීම බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පවසයි.මෙසේ සුදු සීනි සඟවා ගෙන සිටින ඇතැම් වෙළෙදුන් හොරෙන් වැඩි මිලට සීනි අලෙවි කරන බවත් පැවසූ ඔහු කිලෝවක් රුපියල් 310 – 315ට අලෙවි කරන බවත් මේ නිසා බේකරි හිමියන් දැඩි අසීරුතාවයකට මුහුණ පා ඇති බවත් කියයි.ඔහු පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටිනුයේ සුදු සීනි හිගයක් මවා පාමින් සීනි සඟවා ගෙන සිටින හා වැඩි මිලට අලෙවි කරන වෙළෙදුන් වහා අත්අඩංගුවට ගැනීමට වැටලීම් කරන ලෙසය.එහෙත් එය ප්‍රායෝගික වශයෙන් බලන විට හරියට කරකයක් ගෙන ඉන් ඉන්දියන් සාගරයේ සියළුම මසුන් ඇල්ලීමට දරන වෑයමක් මෙනි.

මේ අතර සීනි ආනයනයකරුවන් හා තොග වෙළෙඳුන් පවසනුයේ පිටකොටුව තොග වෙළෙදපොළේ සුදු සීනි හිගයක් නොමැති බවයි.ආනයනයකරුවන් ඇණවුම් කළ සුදු සීනි මෙට්‍රික් ටොන් 10000 ක් රුපියල් 50 ක වැඩි බද්ද යටතේ වරායෙන් නිදහස් කර ගැනෙන බවත් ඇණවුම් කළ සුදු සීනි තොග දිනපතා කොළඹ වරායට පැමිණෙන බවද ඔවුහු කියති. ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා 2020 වසරේ සිට පැවැති ශත 25ක විශේෂ භාණ්ඩ බද්ද එක් වරම රුපියල් 50 දක්වා යළි ඉහළ දැමීමට රජය තීරණය කිරීමත් සමඟ පසුගිය 03 දා සිටම සීනි මිල ඉහළ ගොස් ඇති අයුරු දක්නට ලැබිණි.පෞද්ගලික වෙළෙඳසල්වල පමණක් නොව සතොස අලෙවිසල්වල ද සීනි මිල එක් වරම ඉහළ ගොස් තිබිණ.මෙවන් පසුබිමක සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගිය දා පියවර ගෙන තිබිණ.ඒ අනුව නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝග්‍රෑම් එකක උපරිම මිල රුපියල් 275ක් විය යුතු බවකි.ඇසුරුම් නොකළ දුඹුරු සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 330ක උපරිම සිල්ලර මිලක්ද නියම කර තිබිණ.මේ අතර, ඇසුරුම් කළ සුදු සීනි කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 295ක් ලෙසත්, ඇසුරුම් කළ රතු සීනි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 350ක් ලෙසත් මිල පාලනය කෙරිණි.නමුත් සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පැනවුවද එය නොතකමින් අදත් දිවයිනේ ප්‍රදේශ රැසක සීනි වැඩි මිලට අලෙවි කරන අයුරු දක්නට ලැබිණි.

vinivida.lk“ඔය මිනිස්සු ඔය කරන්නේ අලුත් අවුරුදු උත්සව වල අලියට ඇහැ තියනවා වගේ වැඩක්.ගැසට් කරලා තියන ගණන් වලට සීනි විකුණුවොත් අපිට කිලෝ එකකට රුපියල් පහක් දහයක් අතින් පාඩු වෙනවා.එහෙම බිස්නස් කළොත් අපිත් ටික කාලෙකින් මහ පාරේ තමයි.මොකද මේ වෙන කොටත් ආණ්ඩුව මහ පාරට වැටිලා.දැන් ඒ අය ඔය හදන්නේ අපිවත් මහ පාරට ඇදලා දාන්න”ඇඹිලිපිටියේ ප්‍රධාන පෙළේ සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයෙක් අප හා කීය.”එක්කෝ අපි සීනි නොවිකුණා ඉන්න ඕනෙ; නැත්නම් හංගලා විකුණන්න ඕනේ.ඇයි එහෙම නොකළොත් අපි වැඩි ගාණට සීනි විකුණුවා කියලා නඩුයි දඩයිනේ”ඔහු වැඩිදුරටත් කීය. මේ අතර ඇතැම් පාරිභෝගිකයන් පවසන්නේ, වැඩි මිලට හෝ මිල දී ගැනීමට වෙළඳපොළේ සීනි නොමැති බවයි. ඇතැමුන් පවසන අන්දමට අද සීනි මිලට ගැනීමට වෙළඳුන් පෞද්ගලිකව දැන හඳුනාගෙන සිටිය යුතු වෙයි.නාඳුනන්නවුන් හට ඔව්හු වැඩි මිලට සීනි නොවිකුණති. මෙවන් අර්‍රබුදකාරී තත්වයන් හමුවේ ජනතාව දේශපාලනඥයන්ගේ පිහිට පතන අවස්ථා ද තිබේ.

අතිශය  අසාර්ථක ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ පසුව එකම “විනෝද සමයක්” බවට පත් ගම සමඟ පිළිසඳර නම් වැඩ සටහන ඇරඹෙනුයේ 2020 වසරේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කර ගනිමින් වෙලන්විට ගම්මානයේ දීය. ඉන් පසු තවත් ප්‍රදේශ කිහිපයක පිළිසඳර පැවැත්වීමෙන් මුල් වැඩ සටහන් වලදී ගත් තීරණ සහ ආරම්භ කළ ව්‍යාපෘති සම්බන්ධ ප්‍රගති සමාලෝචන රැස්වීමක් 2021 අප්‍රේල් මස 26 වන දින පැවැත්විණ. “සර්, ඔබතුමා අපේ ඉඩම් වලට බලපත්‍ර දෙන්න කියලා ගිය සැරේ නිලධාරීන්ට නියෝග කරලා ගියාට මොකද? තාම හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්තුමා අපේ ඉඩම් වලට බලපත්‍ර දෙන්න බෑ කියනවා. ඒ මදිවට කැලේ කපන්න ගිය ගමන් වන ජීවී මහත්තුරු අපිව අල්ලලා නඩුත් දානවා.” එම ප්‍රදේශයේ ගැමියකු ලෙස රඟ පෑ කැළෑ පාළුවකු වූ ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ “බළල් අතක්” එම සභාව මැද එසේ ක්‍රියාත්මක විය. “ඇයි මේ මිනිස්සුන්ගේ ඉඩම් වලට බලපත්‍ර නොදෙන්නේ?”එම දිරච්ච ලනුව ආමාශය තෙක්ම ගිල දැමූ ජනාධිපති ගෝඨාභය ප්‍රාදේශීය ලේකම්ගෙන් ඇසීය.”මොකද ඔයාලා මේ මිනිස්සුන්ට නඩු දානවා කියන්නේ”ඒ සමඟම ඔහු වන ජීවී නිලධාරීන් ගෙන් ද අසා සිටියේ ය.”සර්, ඉහළින් ප්‍රතිපත්ති තීරණයක් මත සර්කියුලර් එකක් (චක්‍රලේඛයක්) මගින් එවනවා නම්, මට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්.” යැයි ප්‍රාදේශීය ලේකම් වර්යා පිළිතුරු දුන්නේය. “මේ කතා කරන්නේ රටේ ජනාධිපති. ආයි මොනවටද සර්කියුලර්ද ඉල්ලන්නේ ? මේක ලියා ගන්නවා. ඒක තමයි සර්කියුලර් එක. රටේ නීතිය වෙන්නේ ජනාධිපති කියන ඒක” දේශපාලන නොදරුවකු වූ ගෝඨාභය රාජපක්ෂ මුල් වරට තම ජනාධිපති පදවිය නම් ඇඳුමේ මල මුත්‍ර පහ කර ගත්තේ එසේ ය.පසුව ජනපති මැදුර වැටලූ ජනතාවට බියෙන් ජනපතිකම හැර දමා මැදුරෙන් පලායාමට තරම් ඔහුගේ එම අවිචාරවත් දේශපාලන ගමන් මඟ අබල-දුබල විය. එවන් තත්වයක් තුළ සීනි යනු ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩයක් නිසා වෙළඳුන්ට ඕනෑ ගාණකට විකුණා ගන්නට ඉඩ හරින්නැයි කීමට තරම් වර්තමාන ආණ්ඩුවේ හිඳින දේශපාලන” ඇම්ඩන් ලා” නොකියනු ඇත.ඒ වෙනුවට ඔවුන් කරනුයේ හීන් සීරුවේ කර බා හිඳීම පමණි.එහෙත් කවර හෝ දෙයක ප්‍රායෝගිකත්වය ගැන නොතකා තම ගෙල රැඳි ටයි පටියෙන් සියළු තකතිරු,අමන මරි මෝඩ කම් වසා ගත හැකියැයි සිතන ලොක්කන් බක්කන් හිඳින රටක සාමාන්‍ය ජනතාවට සීනි ඇටයට පවා හූල්ලන්නට සිදු වීමේ කිසිදු අරුමයක් නැත.

රේණුකා දමයන්ති

එතෙර - මෙතෙර