ඉන්දියාව අභ්‍යවකාශ ගවේෂණයේ තවත් යෝධ පියවරකට සූදානම් වෙයි

අප අසල්වැසි ඉන්දියාව තවත් බොහෝ ක්‍ෂේත්‍රවල මෙන්ම අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රයේ ද වේගවත් ඉදිරි ගමනක නිරතව සිටිනු දැකිය හැකි වේ. මෙයට මාස කිහිපයකට පෙර සඳෙහි දක්‍ෂිණ ධ්‍රැව කලාපය මත යානයක් ගොඩ බැස්සවීමට ද ඉන්දියානු අභ්‍යවකාශ විද්‍යාඥයන් සමත් විය. මෙයට පෙර කිසිදු රටක් සඳෙහි මෙම කලාපය මත අභ්‍යවකාශ යානා ගොඩ බස්වා නොතිබුණු නිසා මෙය ඓතිහාසික සිද්ධියක් ද වූයේය.

මේ අතර ඉන්දියාව මෙම ක්‍ෂේත්‍රයේ තවත් දස්කමක් කිරීමට සූදානම් වෙමින් සිටියි. එනම් එරට ඉතිහාසයේ පළමු වරට මිනිසුන් තිදෙනෙකු අභ්‍යවකාශයට යැවීම යි. ඉන්දියාව අභ්‍යවකාශය වෙත යානා යවා තිබුණත් ඒ කිසිවක මිනිසුන් ගමන් කළේ නැත. එවැන්නක් කිරීමට ඉන්දියාව සූදානම් වන්නේ පළමු වතාවට යි. 2025 වසරේ එනම් තව වසර දෙකකින් මෙම ඉලක්කය ජය ගැනීමට එරට අභ්‍යවකාශ ගවේෂණ කටයුතු භාරව සිටින ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය බලාපොරොත්තු වෙයි. මේ ආකාරයෙන් මුලින්ම අභ්‍යවකාශයට යන ඉන්දියානු අභ්‍යවකාශගාමීන් පෘථිවියේ සිට කි.මී. 400 ක් පමණ ඉහළ අභ්‍යවකාශය වෙත ගමන් කරනු ඇතැයි සඳහන් වේ.

මෙයට පෙර මේ ආකාරයෙන් අභ්‍යවකාශයට මිනිසුන් යවා ඇත්තේ රටවල් තුනක් පමණි. එනම් සෝවියට් දේශය, ඇමරිකාව සහ චීනය යි. ඇමරිකාව සහ සෝවියට් දේශය මෙම දස්කම කළේ නවසිය හැටේ දශකයේ යි. චීනය පළමු වරට මිනිසුන් අභ්‍යවකාශයට යැව්වේ 2003 වසරේ ය. ඉන්දියාවේ ඉහත කී වෑයම සාර්ථක වුවහොත් මෙම දස්කම කළ සිව්වැනි රට බවට ඔවුන් පත්වනු ඇත.

මෙම ඓතිහාසික අභ්‍යවකාශ ගමන ඉලක්ක කර ඉන්දියාව මේ වනවිට අත්හදා බැලීම් ආරම්භ කර තිබේ. එවැනි වැදගත් අත්හදා බැලීමක් මෙයට ටික දිනකට පෙර සිදු කරනු ලැබිණි. එහි දී ඔවුන් යානයක් ගුවන්ගත කරන ලද අතර එහි අරමුණ වූයේ අනාගතයේ අජටාකාශගාමීන් රැගෙන යන යානය යම් හෙයකින් අනතුරකට මුහුණ දුන්නොත් එහි සිටින අජටාකාශගාමීන් බේරා ගැනීමේ තාක්‍ෂණය අත්හදා බැලීම යි.

මෙවැනි අනතුරක දී සිදු වන්නේ යානයෙ හි අජටාකාශගාමීන් රැඳී සිටින කොටස යානයෙන් වෙන් කර නැවත නිරුපද්‍රිතව පෘථිවිය වෙත රැගෙන ඒම යි. මෙහි දී එම කැප්සියුලය පැරෂුටවල ආධාරයෙන් ඉන්දියන් සාගරය වෙත පතිත කරවනු ලැබේ. ඒ වනවිට ඒ අසළ කිමිදුම්කරුවන් ද රැගත් ඉන්දියානු නාවුක හමුදා යාත්‍රාවක් රැඳී සිටිනු ඇති අතර ඔවුහු එම කැප්සියුලය නැවත ගොඩබිම වෙත රැගෙන එති.

මෙයට අදාළව පසුගිය දා කරන ලද අත්හදා බැලීම සම්පූර්ණයෙන් සාර්ථක වූ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සඳහන් කර තිබිණි. මෙම අත්හදාබැලීම් මාලාවේ මීළඟ පියවර වන්නේ රොබෝ අජටාකාශගාමිනියක අභ්‍යවකාශයට යැවීම යි. මෙම රොබෝව නම් කර ඇත්තේ වයෝමිත්‍රා යනුවෙනි. ‘අභ්‍යවකාශයේ මිතුරිය’ යන්න එහි තේරුම යි. ලබන වසරේ මෙම රොබෝ අජටාකාශගාමිනිය අභ්‍යවකාශයට යැවීමට ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය බලාපොරොත්තු වෙයි.

මෙම අත්හදාබැලීම් මාලාව අවසානයේ 2025 වසරේ සැබෑ අජටාකාශගාමීන් අභ්‍යවකාශය වෙත යැවෙනු ඇත. එම ගමනට එක්වන අජටාකාශගාමීන් මේ වනවිටත් තෝරාගෙන අවසන් බව සඳහන් වේ. ඔවුහු දැන් පුහුණුවීම්වල නිරතව සිටින අතර වෛද්‍ය පරී්ක්‍ෂණ ඇුතුළු විවිධ පරීක්‍ෂණවලට මුහුණ දෙමින් සිටිති. මෙම අජටාකාශගාමීන් දින තුනක කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටීමට නියමිත ය.

මේ ආකාරයෙන් මිනිසුන් අභ්‍යවකාශයට යැවීමෙන් පසු ඉන්දියාවේ ඊළඟ අරමුණ වන්නේ සඳ වෙත ද මිනිසකු යැවීම යි. වසර 2040 ට පෙර පළමු වරට ඉන්දියානු අජටාකාශගාමියකු සඳ වෙත යැවීම ඉන්දියාවේ බලාපොරොත්තුව යි. මෙයට ටික දිනකට පෙර ඉන්දියානු අගමැති නරේන්‍ද්‍ර මෝදි ද මේ බව ප්‍රකාශ කළේය. ඔවුන්ගේ මෙම බලාපොරොත්තුව ඉටු කර ගැනීමට හැකි වුවහොත් එය අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රයේ ඔවුන් ලබන සුවිසල් ජයග්‍රහණයක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. තවමත් සඳ වෙත මිනිසුන් යැවීමට සමත්ව ඇත්තේ ඇමරිකාව පමණි. කලකට පෙර අභ්‍යවකාශ ගවේෂණයේ දැවැන්තයකු වූ රුසියාව පවා තවම මිනිසුන් සඳ වෙත යවා නැත. කෙසේ නමුත් මේ වනවිට චීනය ද මිනිසුන් සඳ වෙත යැවීමට සැලසුම් කරමින් සිටියි. වසර 2030 වනවිට එම ඉලක්කය ජය ගැනීමට ඔවුහු බලාපොරොත්තු වෙති.

මේ අතර සිකුරු සහ අඟහරු වෙත ද යානා යැවීම සඳහා සූදානම් වන මෙන් ඉන්දීය අගමැතිවරයා පසුගිය දා එරට විද්‍යාඥයන්ට පවසා තිබිණි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර