ඉන්දියාවත් සඳ මත ගොඩබසින්නට යයි

moon

ඉන්දියාව සිය අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ තවත් ඓතිහාසික කටයුත්තකට සූදානම් වෙයි. එනම් එරට ඉතිහාසයේ පළමු වතාවට සඳ මත යානයක් ගොඩ බැස්සවීමයි. මෙම යානය රැගත් රොකට්ටුව 14 වැනි සිකුරාදා පස්වරු 2.35 ට ඉන්දියාවේ ශ්‍රී හරිකොතා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කරනු ලැබිණි. කෙසේ නමුත්, මෙය මිනිසුන් රැගෙන යන යානයක් නොවේ.

මෙම ගවේෂණ ව්‍යාපෘතිය හඳුන්වා ඇත්තේ චන්ද්‍රයාන්-3 යන නමිනි. එය අංග තුනකින් සමන්විත වේ. සඳ වටා ගමන් කරන යානයක් (Orbiter) , සඳ මත ගොඩ බසින යානයක් (Lander) සහ සඳ මත එහා මෙහා ගමන් කරමින් තොරතුරු රැස් කරන රොබෝ වාහනයක් (Rover) යනු ඒ අංග තුන යි. සඳ මත ගොඩ බසින චන්ද්‍ර යානය ‘වික්‍රම්’ යනුවෙන් නම් කර ඇති අතර රෝවරය හඳුන්වා ඇත්තේ “ප්‍රඥාන්’ යනුවෙනි. ‘ප්‍රඥාන්’ රෝවරය රෝද සයකින් යුතු එකක් බව සඳහන් ය.

මෙම සඳ ගමන සඳහා මාසයකට වැඩි කාලයක් ගත වේ. මේ වනවිට මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට අනුව වික්‍රම් යානය සඳ මත ගොඩ බසින්නට නියමිතව ඇත්තේ අගෝස්තු 23 වැනි දින යි. එම කටයුත්ත සාර්ථක වුවහොත් ඉන්දියාව සඳ මත යානයක් සාර්ථකව ගොඩ බැස්ස වූ සිව්වැනි රට ලෙස ඉතිහාසයට එක් වනු ඇත. මෙයට පෙර මෙම දස්කම කර ඇත්තේ රටවල් තුනක් පමණි. ඒ සෝවියට් සංගමය, ඇමරිකාව සහ චීනය යි. ඉතිහාසයේ පළමු වරට සඳ මත යානයක් ගොඩ බැස්සවීමට සමත් වූයේ සෝවියට් සංගමය යි. ඒ 1959 තරම් ඈත කාලයක ය. එම යානය හැඳින්වුණේ ලූනා-2 යනුවෙනි.

ඉන්දියාව පළමු වරට යානයක් සඳ මත ගොඩ බැස්සවීමට සැලසුම් කර තිබුණේ 2019 වසරේ යි. ඒ චන්ද්‍රයාන් 2 ව්‍යාපෘතිය හරහා ය. නමුත් එම සඳ ගමන සියයට සියයක් සාර්ථක වූයේ නැත. චන්ද්‍රයාන්-2 ව්‍යාපෘතිය ද සඳ වටා ගමන් කරන යානයකින්, සඳ මත ගොඩ බසින යානයකින් සහ රෝවරයකින් සමන්විත විය. සඳ වටා ගමන් කරන යානය අදටත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබේ. නමුත් සඳ මත ගොඩ බැසීමට නියමිතව තිබූ යානය අවසන් මොහොතේ ඇති වූ තාක්‍ෂණික දෝෂයක් නිසා අනපේක්‍ෂිත ආකාරයෙන් සඳ මත කඩා වැටී විනාශයට පත් විය. මෙම අනතුරට බල පෑ කාරණා ඉතා හොඳින් අධ්‍යයනය කරන ලද බවත්, චන්ද්‍රයාන්-3 ව්‍යාපෘතියේ දී එවැන්නක් නොවීම සඳහා සියලු පියවර ගන්නා ලද බවත් ඉන්දියානු අභ්‍යවකාශ ගවේෂණ ආයතනයේ ප්‍රධානියා වන ශ්‍රීධර පනිකර් සෝමනාත් පවසයි.

චන්ද්‍රයාන්-3 සමස්ත යානය කි.ග්‍රෑ. 3,900 ක බරින් යුතු එකකි. මෙම ව්‍යාපෘතිය සඳහා වැය කරන මුදල ඉන්දියානු රුපියල් බිලියන 6 ක් බව ද සඳහන් වේ. එය ලංකා රුපියල්වලින් බිලියන 23 කට ආසන්න වන්නකි.

ඉන්දියාව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අරමුණු ගැන සඳහන් කරමින් සෝමනාත් මෙසේ පවසා තිබිණි. ‘සඳ මත ගමන් කරන රෝවරය ප්‍රධාන මෙවලම් පහකින් සමන්විතයි. සඳ පෘෂ්ඨයේ ඇති භෞතික ලක්‍ෂණ අධ්‍යයනය කිරීම, පෘෂ්ඨය ආසන්නයේ ඇති වායුගෝලය අධ්‍යයනය කිරීම, පෘෂ්ඨයට යටින් පිහිටි භූ තලවල ක්‍රියාකාරිත්වයන් අධ්‍යයනය කිරීම මෙම මෙවලම්වලින් සිදු කරනු ලබනවා”.

ඉන්දියාව යැවූ සඳ යානය ගොඩ බසින්නේ සඳෙහි දක්‍ෂිණ ධ්‍රැව කලාපයට ය. මෙම කලාපය සැලකෙන්නේ අඩුවෙන් ගවේෂණය කෙරුණු කලාපයක් ලෙසිනි. සඳෙහි සමකය ආසන්න කලාප මෙයට වඩා අධ්‍යයනයට ලක් වූ කලාපයන් ලෙස සැලකේ. ‘ ඒ නිසා අලුත් යමක් සොයා ගන්නට නම් අපිට අලුත් කලාප ගවේෂණය කරන්න සිද්ධ වෙනවා. දක්‍ෂිණ ධ්‍රැව කලාපය එවැනි කලාපයක්’ සෝමනාත් තවදුරටත් සඳහන් කර තිබිණි.

මෙයට වසර කිහිපයකට පෙර චීනය ද මෙවැනි අලුත්ම කලාපයක් ගවේෂණය කිරීමට පියවර ගත්තේය. එනම් සඳෙහි “අඳුරු අර්ධය” යනුවෙන් හඳුන්වනු ලබන කලාපය යි. එය එම නමින් හඳුන්වන්නේ එය අඳුරින් වැසී ඇති නිසා නොවේ. එය කවදාවත් පෘථිවියට නොපෙනෙන කලාපයක් වන බැවිනි. සඳෙහි හැමවිටම පෘථිවිය දෙසට හැරී තිබෙන්නේ එකම පැත්තකි. අනෙක් පැත්ත කිසි දිනෙක පෘථිවියට දිස් වන්නේ නැත. මෙම කලාපය මත යානයක් ගොඩ බැස්සවීම සැලකුණේ ඉතා දුෂ්කර අභියෝගාත්මක කටයුත්තක් ලෙසිනි. නමුත් 2019 වසරේ චීනය මෙම දස්කම කිරීමට සමත් විය. ඔවුන්ගේ එම ව්‍යාපෘතිය හැඳින්වුණේ ‘චැංග් ඊ-4” යන නමිනි.

ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 චාරිකාව සාර්ථක වුවහොත් එය සඳ ගවේෂණ කටයුතුවල ඉතා වැදගත් පියවරක් වනු ඇත. ඒ නිසා දැන් කව්රුත් කුතුහලයෙන් යුතුව බලා සිටින්නේ අගෝස්තු 23 වැනි දින චන්‍ද්‍රයාන්-3 හි වික්‍රම් චන්‍ද්‍ර යානය නිරුපදි්‍රතව සඳ මත ගොඩ බැසීමට සමත් වේවි ද යන්න ගැන ය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර