ඉන්දියාවෙන් ණයට ලැබෙන ඕමාන් යූරියා රුපියල් දස දහස ගණනේ ගොවීන්ට

ඉන්දීය රජය ණය ආධාර වශයෙන් ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 ලබන මස පළමු සති දෙක තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවත් මෙම යුරියා පොහොර තොගය මිටියක් රුපියල් 10,000ක වැනි මුදලකට ගොවීන් අතට පත් කිරීමට කටයුතු යොදා ඇති බවත් කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.ඊයේ (08) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති විදේශ ආධාර මත ක්‍රියාත්මක වන කෘෂිකර්ම ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව එම නිලධාරින්ට පැවසීය.එම පොහොර තොගය ඉන්දීය රජය විසින් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා ඕමානයෙන් ආනයනය කරන ලද තොගයක් වන අතර දැනට අපේ රටේ ගොවීන් මුහුණ දෙන පොහොර හිඟය සලකා බලා මෙම යුරියා පොහොර තොගය ලබා දීමට තීරණය කොට ඇති බව ඇමති වරයා කීය.
මෙම පොහොර තොගය ලැබුනු වහාම ඒවා ගොවි ජනතාවට බෙදා හැරීමේ කටයුතු දින දෙක තුනක් තුළ කෘෂිකර්ම අමා‍ත්‍යාංශයට අයත් ජාතික පොහොර ලේකම් ‍කාර්යාලය, කොමර්ෂල් පොහොර සමාගම, ලංකා පොහොර සමාගම ඇතුළු ජාලය මගින් ‍ ගොවි ජන මධ්‍යස්ථාන හරහා සිදු කිරීමට නියමිතයැයි ද අමාත්‍යවරයා කීය.
මෙම යුරියා පොහොර තොගය මිටියක් රුපියල් 10,000ක වැනි මුදලකට ගොවීන් අතට පත් කිරීමට කටයුතු යොදා ඇති මුත් ඒ සම්බන්ධව ගොවි ජන නියෝජිතයින් හා නිලධාරින් සමග සිදු කළ සාකච්ඡාවල දී එකඟත්වය පළ කළ බවත්, අමාත්‍ය මණ්ඩලය වෙත එම මිල ගණන් ඉදිරිපත් කළ විට ඊට කිසිවෙක් විරුද්ධත්වය පළ නොකළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.කෙසේ වුව ද මෙම පොහොර තොගය යල කන්නයේ වී වගා කරන ගොවීන් වෙත නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.

කාලීන පුවත්