අතීතයේ සල්ලි වලට කිව්වේ “දෙයියන්ගේ මල්ලි” කියලා.මේ පරණ ගැමි පිරුළෙන් මතු වන්නේ අප අතීත සමාජය ආර්ථිකයට වඩා ආධ්‍යාත්මික සහ සදාචාරාත්මක අගැයුම් වලට මුල් තැනක් දුන් බවයි. නමුත් අධි පරිභෝජනය ප්‍රධාන පුරුෂාර්ථය කර ගත් නූතන තෘෂ්ණාභරිත සමාජයට අනුව නම් සල්ලි හැඳින්විය යුත්තේ දෙවියන් ගෙ මල්ලී තබා අයියා ලෙසින් වත් නොවෙයි: දෙවියන්ගේ බාප්පා හෝ තාත්තා ලෙසයි. අද සමාජය එසේ තෘෂ්ණාව නම් මිරිඟු දිය ලුහුබඳින මුවන්ගේ තත්වයට පත්වන අතරේ අතීත සමාජ ආකල්ප මනැසින් ඉවත් නොකළ එම සමාජයේ නෂ්ඨාවශේෂ අදත් ඉඳහිට හෝ දකින්නට පුළුවන්. නූතන පරපුරේ දක්ෂ කිවිඳියක හා ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන ඉනෝකා සමරවික්‍රමට හමු වූ “මේරී අම්මා” එවැන්නියක්.අතීරණාත්මක සමාජ තරඟයකට මැදි වී තමන්ගෙන් වෙන් වූ පියා නොමැති දියණිය මත්තේ ජීවිතය දිය කර නොගත් මේරි අම්මා කී “ “රහට කන්නට නෙමෙයි නෝනේ-පණ ගැටගහ ගන්න ඕනේ“”යන වදන අතීත සරල සමාජයේ පැවති අල්පේච්ඡතා ගුණය මැනැවින් හුවා දක්වන්නක්..ආහාරයක මූලික අරමුණ දිවි රැක ගැනීම වෙනුවට උපරිම රසය සහ තෘප්තිය යන්න පරමාදර්ශ කර ගත් නූතන සමාජය “රස උදෙසා වස කන” යුගයක මේරි අම්මලාගේ සරල චාම් ජීවන රටාව තුළට එබී බැලීමට ඉනෝකා සමරවික්‍රම දැරූ වෑයම අගය කළ යුත්තක්.මේ වන විට “සිළුමිණ’ පුවත් පතේ “රසඳුන” අතිරේකයේ සංස්කාරක වරිය ලෙස කටයුතු කරන ඉනෝකා කලක් සිළුමිණ පුවත් පතේ “කවි සිළුමිණ”තීරයේ සංස්කාරක වරිය ලෙස ද කටයුතු කර තිබෙනවා.ඒ අනුව තම මාධ්‍ය ජීවිතය සහ කවීත්වය එක් කොට මේරි අම්මා දෙස බැලූ මානුෂීය ද්‍රෂ්ඨිය කෙබඳු දැයි අපි දැන් විමසා බලමු.
*********මේරී අම්මා*********
තෙත බරිත හැන්දෑවක
දහසක් ය`නෙන මඟක
ඇය සිටියා මතකයි
අගු පිළක ගුලිවී…
අත තියා උරට
“මේරි අම්මේ ඇයි මේ?“
නොඇසූවද ළඟට ළංවී
හිනැහුණා ඇය
නෙතින් නෙත හඳුනගෙන
ඕවිටේ වැඩ කරලා කුලියට
පලා මිටකුත් අරන් හවසට
ඇවිත් ගෙට අඳුරු කුස්සියේ
උයා හනිකට දූට කවලා
වියා පැඳුරක් දෙකක් රෑ යම
පොළට ගෙනිහින් මුදල් කරලා
මේරි අම්මා දුකම වින්දා
රැජනක් කරන්නට
පියකු නැති දුව…
සමත් වී ලොකු ලොකු විභාග
ගිහින් නොරටට
ඇවිත් මෙරටට
තිබ්බ බිම් කඩ විකුණ දාලා
අලුත් නිවසක් අලුත් පන්නෙට.
පරණ හින්දා මේරි අම්මා
ගමේ තනිකර දූ ගිහින්…
කිසි දොසක් නොකියා
අදත් හැන්දෑ අඳුර එනතුරු
කොහේ හෝ ගොස් කුලී කරනා
“රහට කන්නට නෙමෙයි නෝනේ
පණ ගැටගහ ගන්න ඕනේ“
කියා හිනැහෙයි මේරි අම්මා
බුලත් කහටින් වැසුණු
දත් දෙක තුනද පෙන්නා
ඉනෝකා සමරවික්‍රම