ඉම්රාන් ඛාන්ට පිට පිට සිර දඬුවම් එකක් වසර 10 ක්, අනික වසර 14 ක් බිරිඳත් හිරේ

vinivida

පකිස්තානයේ හිටපු අගමැති, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ට වසර 10 ක සහ වසර 14 ක සිර දඬුවම් නියම කරමින් පිට පිට දින දෙකක් තුළ අධිකරණය දුන් තීන්දු පසුගිය දිනවල විශාල අවධානයක් දිනාගත්තක් විය. වසර 10 ක සිර දඬුවම නියම කෙරුණේ පසුගිය අඟහරුවාදා (30) ය. වසර 14 ක සිර දඬුවම නියම කරන ලද්දේ ඊට පසුදා යි. මෙම තීන්දු ලබා දෙන විටත් ඉම්රාන් සිටියේ වසර තුනක සිර දඬුවමක් විඳිමිනි. ඒ, දූෂණ චෝදනා යටතේ ය. ඔහු රඳවා සිටින්නේ රාවල්පිණ්ඩි නගරයේ පිහිටි අදියාලා බන්ධනාගාරයේ යි. වසර තුනේ සිර දඬුවම ආරම්භ වූයේ පසුගිය අගෝස්තු මාසයේ ය.

ඉහත කී වසර 10 යේ සිර දඬුවමට පසුබිම් වූයේ ඉම්රාන් රජයේ රහස් ප්‍රසිද්ධියට පත් කිරීම පිලිබඳ චෝදනාවකි. 2022 වසරේ මාර්තු මාසයේ දේශපාලන රැළියක් අමතමින් සිටිය දී ඔහු කිසියම් ලියැවිල්ලක් පෙන්වමින් පැවසුවේ තමා බලයෙන් ඉවත් කිරීම සඳහා විදේශීය කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවක් එම ලියැවිල්ලේ අඩංගු බවයි. එම ලියැවිල්ල එකල ඇමරිකාවේ පකිස්තාන තානාපතිවරයා විසින් එවන ලද රජයේ නිල ලියැවිල්ලක් බවක් ද පැවසිණි. මෙවැනි ලියැවිලි සැලකෙන්නේ රහසිගත ලේඛන වශයෙනි. එවැන්නක අඩංගු කරුණු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට විරුද්ධව පසුගිය කාලයේ ඉම්රාන්ට එරෙහිව නඩු පැවරිණි. එහි දී එල්ල වූ තවත් චෝදනාවක් වූයේ මේ තුළින් ඔහු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ද අනතුරේ හෙලා ඇති බවයි. මෙම දෙවැනි චෝදනාව වෙනුවෙන් ජිවිතාන්තය දක්වා සිර දඬුවම් හෝ මරණ දඬුවම පවා නියම කිරීමට හැකියාව ඇති බව සඳහන් වේ.

තමාට එරෙහිව කුමන්ත්‍රණය දියත් කර ඇත්තේ කවර රටක් ද යන්න එම රෑළියේ දී ඉම්රාන් නොපැවසුවත් පසු කාලයේ ඔහු ඇමරිකාව දැඩි ලෙස විවේචනය කරනු දැකිය හැකි විය.

බදාදා ඉම්රාන්ට වසර 14 ක සිර දඬුවම් නියම කෙරුණේ ඔහු අගමැති ධුරය දරමින් සිටි කාලයේ ලැබුණු තෑගි කිහිපයක් නීති විරෝධී ආකාරයෙන් විකිණීම පිලිබඳ චෝදනාවක් යටතේ ය. මෙවැනි තෑගි සැලකෙන්නේ රජයට අයත් ඒවා හැටියට යි. මෙම චෝදනාව යටතේ ඔහුට පමණක් නොව ඔහුගේ බිරිඳ බුෂ්රා බිබිට ද සිර දඬුවම් නියම විය. මේ වනවිට ඇයත් බන්ධනාගාරය වෙත බාර වී ඇති බව සඳහන් වේ. සිර දඬුවම්වලට අමතරව ඔවුන්ට දඩ මුදලක් ද නියම කර තිබේ. එය පකිස්තාන රුපියල් බිලියන 1.5 ක පමණ දඩයකි.

මෙම තීන්දුව නිසා ඉම්රාන්ට වසර 10 කට රජයේ තනතුරු දැරීම ද තහනම් වේ. කෙසේ හෝ වේවා, ඉහත කී තීන්දුවලට එරෙහිව මහාධිකරණය හමුවේ අභියාචනා ගොනු කරන බව ඉම්රාන්ගේ නීතිඥයන් පවසා ඇත.

මේ සියල්ල සිදුවෙමින් ඇත්තේ පකිස්තානයේ මහා මැතිවරණය පැවැත්වීමට ඔන්න මෙන්න කියා තිබියදී ය. එය පැවැත්වීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 8 වැනි දින යි. තමාට එරෙහිව එල්ල කරන සියලු චෝදනා දේශපාලනික හේතු මත එල්ල කරන ඒවා බව ඉම්රාන් දිගින් දිගටම කියමින් සිටියි.

ඉම්රාන් පකිස්තානයේ අගමැති ධුරය දැරුවේ 2018 අගෝස්තු සිට 2022 අප්‍රේල් දක්වා කාලයේ යි. 2022 අප්‍රේල් මාසයේ ඔහුගේ ආණ්ඩුව බලයෙන් පහ කෙරුණේ පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාවක් මගිනි. ඇමරිකාව සහ දේශීය බලවේග එක්ව තමා බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවක් ඔහු එම අවස්ථාවේ පැවසුවේය. තමා චීනය සහ රුසියාව වැනි රටවල් සමග සමීප සබඳතා පැවැත්වීම එයට එක හේතුවක් බව ද ඔහු කීවේය.

ඉම්රාන් බලයෙන් ඉවත් කිරීමෙන් පසු බලයට පැමිණියේ තවත් හිටපු අගමැතිවරයකු වන නවාස් ෂරීෆ් අයත් වූ පකිස්තාන මුස්ලිම් ලීගය මූලිකත්වය දැරූ සන්ධානයකි. අගමැති ධුරයට පත් වූයේ නවාස් ෂරීෆ්ගේ සහෝදරයකු වූ ෂෙබාස් ෂරීෆ් ය.

බලය අහිමි වීමෙන් පසු ඉම්රාන් නිහඬව බලා සිටියේ නැත. ඔහු අලුත් පාලකයන්ට එරෙහිව රට පුරා දේශපාලන රැස්වීම් ද, විරෝධතා ද පවත්වමින් විශාල ව්‍යාපාරයක් ගෙන ගියේය. ඔහු තවදුරටත් ජනතාව අතර අතිශයින් ජනප්‍රිය නායකයකු බව මේ හරහා දැකිය හැකි විය. ඉම්රාන් ගේ සහ ඔහුගේ පකිස්තාන තෙහ්රීක්-ඉ-ඉන්සාෆ් පක්‍ෂයේ ප්‍රධාන සටන් පාඨය වූයේ ආණ්ඩුව විසුරුවා හැර මහා මැතිවරණයක් පවත්වන්න ය යන්නයි. එවැනි මැතිවරණයක් පැවැත්වුවහොත් තම පක්‍ෂය ජය ගනු ඇති බවට ඉම්රාන් තුළ විශාල විශ්වාසයක් පැවැති බව පෙනිණි.

විවිධ චෝදනා යටතේ ඉම්රාන්ට එරෙහිව නඩු පැවරෙන්නට වූයේ මෙම පසුබිම තුළ ය. තව දින කිහිපයකින් මැතිවරණය පැවැත්වුණත් ඉම්රාන්ට ඒ සඳහා තරග කිරීමට හැකියාවක් නැත. ඔහුගේ පක්‍ෂය චෝදනා කරන්නේ පක්‍ෂයට පවා නිදහසේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කිරීමට ඉඩක් නැති බවයි. පක්‍ෂයට එරෙහිව දැඩි මර්ධනයක් ක්‍රියාත්මක වන බවට පසුගිය කාලය පුරාම ඔවුහු චෝදනා කරමින් සිටියෝය.

ඉම්රාන් මෙන්ම එම පක්‍ෂයේ තවත් නායකයන් කිහිප දෙනෙකුම මේ වනවිට සිටින්නේ බන්ධනාගාරවල යි. තවත් සමහරුන් මර්ධනය හමුවේ රට හැර ගොස් ඇත. මෙම පසුබිම තුළ ඉදිරි මැතිවරණයේ දී ඉම්රාන් ගේ පක්‍ෂයේ ඉරණම කුමක් වනු ඇත් ද යන්න බොහෝ පාර්ශ්ව දැඩි කුතුහලයෙන් බලා සිටින කාරණයක් වී තිබේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර