ඉරානයේ ලෝක කුසලාන පරාජය ගැන රටේ ඇතැමුන් සතුටින්

iran

තම රට නියෝජනය කරන ක්‍රීඩා කණ්ඩායමක් ජාත්‍යන්තර තරගාවලියකින් පරාජය වූ විට එම පරාජය මහත් සතුටින් සැමරූ රටක් ගැන ඔබ අසා තිබේ ද? මේ එවැනි සිද්ධියක් ගැන කතාවකි.

මේ දිනවල පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය මේ වනවිට ලෝකයේම පාපන්දු ලොලීන් ග්‍රහණයට ගෙන තිබේ. මෙම තරගාවලියේ ඉරානය සහ ඇමරිකාව අතර තරගයක් මෙයට දින කිහිපයකට පෙර පැවැත්විණි. එම තරගයෙන් ඉරාන කණ්ඩායම පරාජයට පත් වූ අතර ඒ සමගම ඔවුන් තරගාවලියෙන් ඉවතට විසි විය. තරගාවලියේ දෙවැනි වටයට යාමට ඔවුන් සුදුසුකම් ලැබුවේ නැත. පුදුමයකට මෙන් මෙම පරාජය ඉරානයේ ඇතැමුන් තුළ විශාල සතුටක් ඇති කර තිබිණි. ඔවුන් වීදිවලට පැමිණ ගී ගයමින්, නටමින්, රතිඤ්ඤා, මල් වෙඩි දල්වමින්, වාහනවල නලා නාද කරමින්එම සතුට සමරන ආකාරය දැක්වෙන විඩියෝ දර්ශණ මාධ්‍ය තුළ සංසරණය විය.

ඉරාන ජනතාව මේ ආකාරයෙන් හැසිරුණේ ඇයි? තම කණ්ඩායමේ පරාජයෙන් සතුටු වූයේ ඇයි?
මෙය මේ වනවිට එරට තුළ ඉදිරියට යමින් ඇති විරෝධතා ව්‍යාපාරයක් හා බැඳුණු කාරණයකි. ඉරානයේ බොහෝ දෙනා දැන් මාස දෙකකට ආසන්න කාලයක සිට විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටිති. ඊට පසුබිම් වූයේ මහ්සා අමිනි නැමැති 22 හැවිරිදි තරුණියකගේ මරණය යි. ඇය මරණයට පත් වූයේ එරට ආගමික පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියදී ය. අමිනි අත්අඩංගුවට ගෙන තිබුණේ හිජාබය නිසි ආකාරයෙන් නොපැළඳීම පිලිබඳ චෝදනාවක් මත ය. අත්අඩංගුවේ සිටිය දී ඇයට දරුණු ආකාරයෙන් පහර දී තිබූ බව සඳහන් වේ. ඇය මියගොස් තිබුණේ මෙම පහරදීම නිසා බවට චෝදනා එල්ල විය. නමුත් බලධාරීන් මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කරමින් පවසා තිබුණේ අමිනි ගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවයි.

mahisa

කෙසේ හෝ වේවා, ඉරානයේ ඇතැමුන් මෙම ප්‍රකාශ පිලිගත්තේ නැත. ඔවුහු එරට පාලකයන්ට එරෙහිව විරෝධතා දැක්වීමට පටන් ගත්තෝය. රට පුරා පැතිරුණු මෙම විරෝධතාවලට වැඩි වශයෙන්ම එක්ව සිටියේ කාන්තාවන් ය. කාන්තා නිදහස සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ඉල්ලා සිටිමින් ඔවුන් ඉතා උද්‍යෝගිමත් ආකාරයෙන් විරෝධතාවලට සහභාගි වී සිටිනු දැකිය හැකි විය. උගතුන්, විශ්ව විද්‍යාල සිසුන් වැනි පිරිස් ද විරෝධතාවලට එක්ව සිටියෝය. ඉරානයේ පවතින පාලන තන්ත්‍රය පෙරලා දැමිය යුතු ය යන සටන්පාඨ ද ඔවුන් කියනු දක්නට ලැබිණි. කෙසේ හෝ වේවා, මෙම විරෝධතාකරුවන් සහ ආරක්‍ෂක අංශ අතර ඇති වූ ගැටුම්වලින් මේ වනවිට 450 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්ව ඇත. ඊට අමතරව තවත් 17,000 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව ද සඳහන් වේ.

මෙම විරෝධතාකරුවන් ඉරානයේ ජාතික පාපන්දු කණ්ඩායම දකින්නේ මෙම පාලන තන්ත්‍රය නියෝජනය කරන්නක් ලෙසිනි. ඔවුන්ගේ පරාජය ඉරාන පාලකයන්ගේ පරාජයක් ලෙස දැකීමට ඔවුන් යොමුව සිටින ආකාරයක් පෙනේ. ඉරාන කණ්ඩායමට අත් වන ජයග්‍රහණ එරට පාලන තන්ත්‍රය තම වාසියට යොදා ගත හැකි බව විරෝධතාකරුවන්ගේ අදහස යි. ඉරානය තරගාවලියෙන් ඉවතට විසි වීම විරෝධතාකරුවන් තුළ මහත් සතුටක් ඇති කර තිබුණේ මෙම පසුබිම තුළය. අමිනිගේ ගම් පළාත වන සාකේස් හි මෙම සැමරුම් විශාල වශයෙන් පැවැති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

iran1

‘ පාලකයන් මේ කණ්ඩායම අතකොලුවක් බවට පත් කරගෙන. එය තවදුරටත් ඉරානයේ ජනතාව නියෝජනය කරන්නක් නොවෙයි’ එක් පාපන්දු ලෝලියකු මාධ්‍ය සමග පවසා තිබිණි. රට තුළ මේ වනවිට පවතින මර්ධනකාරී තත්ත්වය ජාත්‍යන්තර අවධානයට යොමු කිරීම සඳහා පාපන්දු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය යොදා ගත යුතුය යන අදහසක් ඇතැම් පාර්ශ්ව තුළ තිබූ බව පෙනිණි. නමුත් ඔවුන්ගේ එම අපේක්‍ෂාව කණ්ඩායම අතින් ඉටු නොවූ බව මේ අයගේ අදහසයි. කෙසේ නමුත් ඉරාන කණ්ඩායම සහභාගි වූ පළමු තරගයට පෙර පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කණ්ඩායමේ නායක එහ්සාන් හජ්සාෆි විරෝධතාකරුවන්ට සහය දක්වන ආකාරයේ ප්‍රකාශයක් කර තිබිණි. විරෝධතාවල දී මිය ගිය අය වෙනුවෙන් ශෝකය පළ කිරීමට ද ඔහු පියවර ගත්තේය. එමෙන්ම පළමු තරගයේ දී ඉරාන ජාතික ගීය ගායනා කිරීමෙන් ද ඔවුහු වැලකී සිටියෝය. නමුත් ඉරාන විරෝධතාකරුවන් ඒවායින් සෑහීමකට පත්ව ඇති ආකාරයක් නොපෙනේ.

මේ අතර ඉහත කී ආකාරයෙන් විරෝධතාකරුවන්ට සුළු හෝ සහයක් පළ කිරීම ගැන පාපන්දු කණ්ඩායම ඉරාන රජයේ උදහසට ලක්ව තිබෙන්නට ඉඩ ඇතැයි යන සැකයක් ද පවතී. මේ නිසා ඔවුන් නැවත ඉරානයට පැමිණි විට යම් හිරිහැරවලට ලක්වීමට ඉඩ ඇති බව ඇතැමුන් ගේ අදහස යි. මේ හේතුවෙන් කණ්ඩායමේ ආරක්‍ෂාව ගැන ද මේ වනවිට බොහෝ පාර්ශවවල අවධානය යොමුව ඇති ආකාරයක් දැකිය හැකි වේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර