කොවිඩ් ආසාදනයෙන් මිය ගිය අප රටේ සිව් වන වෛද්‍යවරයා වන වෛද්‍ය සයිඩ් රෆයිඩීන් ගේ අවසන් කටයුතු මඩකලපුවේ ඔඩ්ඩමාවඩි කොවිඩ් සුසාන භූමියේ දී ඉස්ලාමීය ආගමික සම්ප්රදායක් අනුව පසුගිය 16 දා සිදු කෙරුණා. වෛද්‍ය සයිඩ් රෆයිඩීන් රජයේ වෛද්‍ය වෘත්තියෙන් විශ්‍රාම ගෙන සිටි කෙනෙක්. නමුත් දැන් පවතින කොවිඩ් වසංගතය හමුවේ වෛද්‍ය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟතාව හේතුවෙන් ඔහු නැවත ස්වේච්ඡාවෙන් සේවයට බැඳී තිබුණා.
වෛද්‍ය රෆයිඩීන් කොවිඩ් මාරකයාට ගොදුරු වන්නේ ඒ අතරේ. කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඒ උදාර කැප කිරීම නොකරන්නට වෛද්‍ය රෆයිඩීන් තවමත් කටුගස්තොට පිහිටි තමන් ගේ නිවසේ විශ්‍රාම සුවයෙන් පසුවන බවට සැකයක් නැහැ.
වෛද්‍ය රෆයිඩීන් ගේ දේහය ඉස්ලාමීය ආගමික සම්ප්‍රදායන් අනුව භූමදානය කළ මඩකලපුවේ ඔඩ්ඩමාවඩි කොවිඩ් සුසාන භූමියට කටුගස්තොට සිට කිලෝ මීටර් එක සිය අනූ දෙකක දුරක් තියනවා.
ඔඩ්ඩමාවඩි කියන්නේ මුස්ලිම් සුසාන භූමියක් නොවෙයි.කොවිඩ් ආසාදනය වීමෙන් මිය ගිය මුස්ලිම් නොවන අයගේ සිරුරුත් එහි මිහිදන් කොට තිබෙනවා. නමුත් වැඩිපුරම එහි මිහිදන් කොට ඇත්තේ අපේ රටේ විවිධ ප්‍රදේශවල කොවිඩ් ආසාදනය වීමෙන් මිය ගිය මුස්ලිම් ජාතියන්ගේ මළ සිරුරු කටුගස්තොට අවට මුස්ලිම් සුසාන භූමි කිහිපයක්ම තිබෙනවා.
ඒ වගේම මහයියාවේ මහනුවර මහ නගර සභා සුසාන භූමිය පිහිටලා තියෙන්නෙත් කටුගස්තොට මායිමේ මයි. ඒ හින්දා කොවිඩ් නිසා මුස්ලිම් සුසාන භූමියක මිහිදන් කරන්න බැරි වෛද්‍ය රෆයිඩීන්ගේ සිරුර මහයියාව ප්‍රසිද්ධ සුසාන භූමියේ ආදාහනය නොකළේ ඇයි කියන එක ඉස්ලාමීය ආගමික සංස්කෘතික පසුබිම ගැන නිසි අවබෝධයක් නැති කෙනෙකුගේ සිතට පිවිසෙන්න පුළුවන්.
මරණය කියන්නේ මේ ලෝකේ සැමට එක සේ පොදු උරුමයක්. නමුත් මේ මරණය ගැන එක එක ආගමික සංස්කෘතික පසුතලයන් මගින් එක එක අර්ථ නිරූපන දීලා තියනවා. ඒ අනුව මරණයෙන් පස්සේ අපිට සිදු වෙන්නේ මොකක්ද කියන එක ගැන පොදු එකඟතාවයක් දකින්න බැහැ. මරණයෙන් පස්සේ ඒ ශරීරය කුණු වී දිරා යාම, පොළවට පස්වීම වගේ භෞතික ක්‍රියාදාමයකට ලක් වන බව පොදුවේ කවුරුත් පිළිගන්නවා. නමුත් ඒ ශරීරයට ජෛවමය බලවේගය ගෙන දුන් ශක්තියට මොකද වෙන්නේ කියන එක ගැන මිනිස්සු දුරාතීතයේ ඉඳලා කල්පනා කළා. ලෝකයේ විවිධ ආගමික විශ්වාස බිහි වීමේ පදනමත් ඒකයි.
ඉස්ලාම් භක්තිකයන් හැටියට අපි කල්පනා කරන්නේ ඒ බලවේගය අසීමිත දයාවන්ත වූ ද අපරිමිත කරුණාවන්ත වූ ද අල්ලාහ් දෙවියන් අපිට දායාද කරපු දෙයක්හැටියටයි. නමුත් අපිට හැමදාම මේ ලෝකයේ දී ඒ දායාදය භුක්ති විඳින්න බැහැ. අපි කවදා හෝ ඒක අල්ලාහ් දෙවියන් අතටම පත් කළ යුතුයි. ඒ නිසා යම් පුද්ගලයකු මිය ගිය පසුව ඒ මළ සිරුර පිළිබඳ පූර්ණ අයිතිය, හිමිකම අල්ලාහ් දෙවියන් වෙතම හිමිකර දෙන්නට ඉස්ලාම් ආගමික සංස්කෘතික වශයෙන් අපි බැඳී ඉන්නවා.
ලෝකයේ බොහෝ ආගමිකයන්ට යමකුගේ මරණයක් මුල් කර ගත් අවමංගල්‍යය සමාජ, සංස්කෘතික, උත්සවයක්. නමුත් ඉස්ලාම් භක්තිකයන්ට ඒක හුදෙක් ආගමික සංස්කෘතික කෙටි කාලීන ක්‍රියාදාමයක්. ඒක මොන තරම් ඉක්මන්, පහසු සරල ක්‍රියාවලියක් ද කීවොත් සාමාන්‍යයෙන් බොහෝ ආගමිකයන් ගේ අවමඟුල් උත්සව සඳහා ගන්නා මිනී පෙට්ටියක් වත් භාවිතා කිරීමට ඉස්ලාම් භක්තිකයනට අවසර නැහැ.
ඉස්ලාම් භක්තිකයෙකු මිය ගිය විගස හැකිතාක් ඉක්මනින් ඒ සිරුර අල්ලාහ් දෙවියන් වෙත බාර කළ යුතු වෙනවා. යමෙක් මරණයට පත් වූ විටත් නින්දට ගිය විටත් අල්ලාහ් ඒවා අත්පත් කර ගන්නවා කියලා අල් කුරානයේ (39:42) පැහැදිලිවම සඳහන්. එලෙස යමකු මිය ගිය සැනින් ඒ තැනැත්තා ගේ ආත්මය සිය’තට ගන්නා අල්ලාහ් ‘බර්සක්’ නම් ඝන තිරයකින් ඔහු මෙලොවින් වෙන් කර තබන බවත් අල් කුරානයේ (55:19,20) දැක්වෙනවා. ඒ වෙන් කිරීම මත මිය ගිය අයකුට කිසිම ලෙසකින්; ඒ කියන්නේ යක්ෂයන්, භූතයන්, හොල්මන්, අවතාර වශයෙන් වත් යළි මෙලොවට එන්න බැහැ. යමකු ඒ විදිහේ මතයක් දැරීම පවා ‘ඊමානය’ ඒ කියන්නේ ඉස්ලාමීය භක්තිවන්ත විශ්වාසය කඩවීමක් ලෙසයි ඉස්ලාමයේ සඳහන් වෙන්නේ.
ඒ අනුව අවසන් විනිශ්චය හෙවත් ‘කියාමත්’ දිනයේ අල්ලාහ් නැවත පුබුදුවන තුරු නුඹට මරණයෙන් පිබිදිය නොහැකි යැයි අබ්දුල්ලා බින් උමර්(රලි) තුමා සඳහන් කරනවා.මේ ආගමික විශ්වාස මත ඉස්ලාම් භක්තිකයකුගේ ජීවිතය, මරණය, භූමදානය සහ ස්වර්ග විමුක්තිය අතර එකිනෙකට බැඳුණු මොන තරම් සවිමත් සබැඳියාවක් තිබේ ද කියා ඔබට සිතා ගන්න පුළුවන් වේවි. සෑම ඉස්ලාම් භක්තික හදවතකම කුඩා කාලයේ සිට රෝපණය වන මේ ආගමික විශ්වාස ඉවත හෙළා කටයුතු කිරීමට කිසිම ඉස්ලාම් භක්තිකයෙක් කැමති නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ.
කොවිඩ් ආසාදනයෙන් මියගිය පුද්ගලයන් ගේ සිරුරු ආදාහනය කළ යුතුමය කියා ජාත්‍යන්තර නියමයක් තිබුණේ නැහැ. ඒ වගේම මළ සිරුරු මගින් කොවිඩ් වයිරසය සම්ප්‍රේෂණය වන බවට මේ දක්වාත් නිශ්චිතව තහවුරු වෙලා නැහැ. කොවිඩ් ආසාදනයෙන් සිදුවන මරණ ගැඹුරු ලෙස සැකසූ වළක හෝ මිහිදන් කළ යුතුය යන මතය මුල සිටම ජාත්‍යන්තර වශයෙන් සම්මත වුණේ ඒ අනුවයි.
සමාජයේ එක් එක් ජන කොටස් වල ආගමික, සංස්කෘතික විශ්වාසයන් ආරක්ෂා කළ යුතු බවත් අන්‍යයන් ඒවා පිළිනොගැනීම සහ පිළිනොපැදීම මත ඒවා නිශේධනය නොකළ යුතු බවත් ජාත්‍යන්තර ප්රඥප්ති කිහිපයකින්ම සම්මත වී තිබෙනවා. නමුත් අපේ රටේ ඉස්ලාම් භක්තිකයන් ගේ මළ සිරුරු පවා නිරෝධායන නීති රෙගුලාසි අනුව කියා කියමින් ඔවුන් ගේ කැමැත්තට පටහැනිව ආදාහනාගාර තුළ පුළුස්සා දැමූ අවස්ථා රාශියක් පසුගිය කාලයේ වාර්තා වුණා.
ලෝකයේ බොහෝ දෙනකු අදාහනය කියා හඳුන්වන කටයුත්ත ඉස්ලාමීය ආගමික සංස්කෘතික පසුබිම තුළ අර්ථ දක්වා නැහැ. ඒ හින්දා ඒ සඳහා වන ඉස්ලාමීය අර්ථ කථනය වන්නේ සිරුරු පුළුස්සා අළු කර දැමීම යන්නයි.
ඒ අනුව බලන විට ඉස්ලාම් භක්තිකයන්ගේ කැමැත්තට පටහැනිව පසුගිය කාලයේ මේ දක්වා දවා අලු කොට ඇත්තේ අල්ලාහ් දෙවියන් ගේ උරුමයක් බව ඒ බොහෝ දෙනෙක් නොදැන ඉන්න ඇති. පසුගිය කාලය පුරා පැවැති මේ තත්වය හමුවේ තම ශරීරය මිහිදන් වීම තුළින් අල්ලාහ් දෙවියන් වෙතට යාමේ මාර්ගය ඛේදනීය ලෙසින් අහිමි වී තිබීම නිසා මුස්ලිම් ජනාවාස ආශ්‍රිතව කොවිඩ් වසංගතයට ගොදුරු වූ සමහරුන් ඒ බව සමාජයෙන් වසන් කර ගනිමින් ඒ රෝගයෙන් මිය ගොස් තිබුණා.
ඒකට හේතුව ඒ මරණයට හේතුව කොවිඩ් ආසාදනය වීම බව දැන ගන්නා බලධාරීන් එම සිරුර අල්ලාහ් දෙවියන් ගේ කැමැත්තට පටහැනිවආදාහනාගාරයක බහා පුලුස්සා අලු කරතැයි යන බියයි.
එසේ මරණයෙන් පසු අල්ලාහ් දෙවියන්ට උරුම විය යුතු ඒ මරණ කරුගේ ආත්මය හා සබැඳි ශරීරය වෙනත් බලවේග මගින් දවා ලීමට එරෙහිව අල්ලාහ් දෙවියන් වෙත යාමේ අභිලාෂයෙන් කොවිඩ් ආසාදනය වීම ගැන හෙළි නොකර රහසින් මිය ගිය පුද්ගලයන් පිළිබඳ නිල නොවන තොරතුරු මධ්‍යම හා නැගෙනහිර පළාත් වලින් ලැබී තිබුණා.
මේක මේ දක්වා සිදුවූ කොවිඩ් මරණ ගණන නිවැරදිව දැක්වීමටත් එරෙහි බාධකයක් බව පැහැදිලියි.කොවිඩ් මරණ සහ භූමදානය සම්බන්ධ මේ ඉස්ලාමීය මතවාදය මේ තාක් අපේ රටේ ප්‍රධාන ජන කොටස වන සිංහල ජනතාව අතරට පත් වී නැහැ.
මුස්ලිම් ජාතිකයන් ගේ ව්‍යවහාරික භාෂාව දෙමළ වීම මත සිංහල බසින් මේ කරුණු ඉදිරිපත් කරන්න ඔවුන්ට ඇති හැකියාව අව ප්‍රමාණ වීම මීට හේතු වන්නට ඇති.ඒ කොහොම වුණත් අද වන කොට කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානයට සුසාන භූමි වෙන්කොට තැබීම ඉතා වැදගත්.
කොවිඩ් රෝගීන් ගේ ජීවිත රැක දීම උදෙසා තම විශ්‍රාම දිවිය කැප කොට අවසානයේ තම ජීවිතයත් ඒ වෙනුවෙන් කැප කළ වෛද්‍ය සයිඩ් රෆයිඩීන් සුව විරුවා ඇතුළු සමස්ත ඉස්ලාමීය ප්‍රජාවටම ඒ අයගේ ආගමික සංස්කෘතික පසුබිම අනුව අල්ලාහ් ගේ හිමිකමක් වූ මුස්ලිම් මළ සිරුරු භූමදානය කිරීමට බලධාරීන් පසුව හෝ ලබා දුන් අවසරය ගැන මුස්ලිම් ප්‍රජාව ගේ ස්තුතිය ඔවුන් වෙත හිමි වෙනවා ඇති.
අකුරන – මොහොමඩ් අබ්දුල් ෆායිස්