මේ දිනවල මුළු ලෝකයම කම්පනයට සහ තිගැස්මට පත් කර ඇති සිද්ධිය නම් ඊශ්‍රායලය සහ පලස්තීනයේ හමාස් සංවිධානය අතර ඇතිව තිබෙන යුද ගැටුම යි. දිනෙන් දින විශාල වශයෙන් අහිංසක සිවිල් වැසියන් ද ඝාතනයට ලක් වෙමින් ඇති මෙම ගැටුම නිසා මිය ගිය ගණන මෙම සටහන ලියන 19 වැනි දින වනවිට 5,000 ඉක්මවා තිබිණි. ඊට අමතරව 17,000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර ලක්ෂ 15 කට වැඩි පිරිසක් අවතැන්ව සිටිති. ඊශ්‍රායලය විසින් පලස්තීන භූමිය අල්ලා ගනු ලැබීමට එරෙහිව සටන් කරන සන්නද්ධ සංවිධානයක් වන පලස්තීන හමාස් සංවිධානය පසුගිය 7 වැනි දින ඊශ්‍රායලය වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ඇරඹුණු මෙම ගැටුම වඩාත් ගිනියම් වූයේ ඊශ්‍රායලය ඊට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීමත් සමග ය. ඔවුන්ගේ ගුවන් ප්‍රහාරවලින් හමාස් සංවිධානයේ පාලනය යටතේ පවතින ගාසා තීරයේ මේ වනවිට විශාල විනාශයක් සිදුව තිබේ.
මෙහි දී මෙවැනි ගැටුමක් ඇති වීමට බලපෑ ඉතිහාස කරුණු ගැන සැකෙවින් සලකා බැලීම වැදගත් වෙයි. මෙම ගැටුම හැඳින්විය හැක්කේ යුදෙව් ජාතිකයන් සහ අරාබි ජාතිකයන් අතර ගැටුමක් ලෙසිනි. මොවුන් අතර මෑත ඉතිහාසයේ ගැටුම් ආරම්භ වූයේ පසුගිය සියවසේ මුල් භාගයේ යුරෝපයේ සිටි යුදෙව්වන් විශාල වශයෙන් අරාබිකරය වෙත සංක්‍රමණය වීමට පටන් ගැනීමත් සමග ය. ඔවුන් එසේ සංක්‍රමණය වූයේ ඒ කාලයේ යුරෝපය තුළ පැතිර ගිය යුදෙව් විරෝධය හේතුවෙන් විවිධාකාර පීඩාවන්ට, වධහිංසාවන්ට ලක් වීම නිසා ය. හිට්ලර් යුදෙව්වන්ට එරෙහිව කළ ක්‍රියාවන් මේ අතරින් බෙහෙවින් ප්‍රසිද්ධ ය.
අරාබි ජාතිකයන් විසූ පලස්තීන කලාපය තුළ තමුන්ට ද ඓතිහාසික උරුමයක් ඇති බව විශ්වාස කරන යුදෙව්වන් යුරෝපයෙන් සංක්‍රමණය වී මෙම කලාපය තුළ පදිංචි වීමට එම විශ්වාසය ද බලපෑවේය. මේ අනුව පලස්තීන කලාපය තුළ යුදෙව් ජනගහණය විශාල වශයෙන් ඉහළ යන්නට විය.
මේ කාලයේ මෙම පලස්තීන කලාපය පැවතියේ බි්රතාන්ය පාලනය යටතේ යි. යුරෝපයේ යුදෙව්වන් මෙම කලාපය වෙත විශාල වශයෙන් සංක්‍රමණය වෙද්දී එක් අවස්ථාවක බි්රතාන්ය පාලකයන් එය සීමා කිරීමට උත්සාහ කළ අතර එම පසුබිම තුළ බි්රතාන්ය පාලකයන් සහ යුදෙව් කණ්ඩායම් අතර ගැටුම් පැන නගින්නට වූයේය. මෙහි දී යුදෙව් සන්නද්ධ කණඩායම් පවා බිහි විය. මෙම ගැටුම් උත්සන්න වෙද්දී අවසානයේ බි්රතාන්ය පාලකයෝ 1948 මෙහි පාලනයෙන් ඉවත් වීමට තීරණය කළෝය. ඒ සමගම යුදෙව් දේශපාලන කණ්ඩායම් මෙහි ඊශ්‍රායලය නමින් යුදෙව් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළහ. මෙයට මෙම කලාපයේ අරාබි ජාතිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර ඒ නිසා යුද්ධ කිහිපයක් පවා ඇති විය. කෙසේ හෝ වේවා, අද දක්වාම ඇදී එන්නේ මෙම අරාබි- යුදෙව් ගැටුම යි.
මේ වනවිට පලස්තීන ජාතිකයන් ජීවත් වන ප්‍රදේශ දෙකක් මෙම කලාපය තුළ වෙයි. එකක් බටහිර ඉවුර (West Bank) වන අතර අනෙක ගාසා තීරය යි. මේ ප්‍රදේශ දෙක පාලනය කරනු ලබන්නේ පාර්ශ්ව දෙකක් විසිනි. බටහිර ඉවුර කලාපය පලස්තීන අධිකාරිය විසින් පාලනය කරනු ලබන අතර ගාසා තීරය පවතින්නේ හමාස් සංවිධානයේ පාලනය යටතේ ය. මේ අතරින් හමාස් සංවිධානය වඩාත් ප්රචණ්ඩ සන්නද්ධ සංවිධානයකි. ඔවුන්ගේ අවසන් අරමුණ වන්නේ ඊශ්‍රායලය විනාශ කර මෙම කලාපයේ ඉස්ලාමීය රාජ්‍යයක් ඇති කිරීම යි.
මේ දිනවල ඇතිව තිබෙන ගැටුම ආරම්භ වූයේ පසුගිය 7 වැනි දින හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලය වෙත එල්ල කළ දරුණු ප්‍රහාරයත් සමගිනි. එම සංවිධානය මෑත කාලයේ ඊශ්‍රායලයට එල්ල කළ දරුණුම ප්‍රහාරය මෙය ලෙස සැලකේ. ඊශ්‍රායලය ඊට පිලිතුරු දෙමින් ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීමත් සමග තත්ත්වය වඩාත් බිහිසුණු අතට හැරිණි.
මේ වනවිට වඩාත්ම අවධානයට ලක්වන කාරණය වන්නේ ඊශ්‍රායල ප්‍රහාරවලට ලක්ව ඇති ගාසා තීරයේ වැසියන් මුහුණ දී සිටින මානුෂීය අර්බුදය යි. ගාසා තීරය වටලා සිටින ඊශ්‍රායලය එම කලාපය වෙත ආහාර, ජලය, ඉන්ධන, ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම පවා නතර කිරීම නිසා ගාසා වැසියෝ තවදුරටත් අසරණභාවයට පත් වූහ. පසුගිය දා එම කලාපයේ රෝහලකට එල්ල වූ ප්‍රහාරය ද විශාල කම්පනයක් ඇති කළ සිදුවීමක් විය. 500 කට ආසන්න පිරිසක් එයින් මරණයට පත් වූ බව පැවසුණු අතර කුඩා දරුවන් පවා ඒ අතර සිටි බැව් සඳහන් විය. මේ අනුව පෙනෙන්නේ ගාසා තීරයේ කිසිදු තැනක් ආරක්ෂිත නොවන තත්ත්වයකට පත්ව ඇති බවයි.
මෙම යුද ගැටුමට එරෙහිව මේ වනවිට වෙනත් රටවල පවා විරෝධතා පැවැත්වෙමින් තිබේ. සාමය කැමැති බොහෝ දෙනෙකු දැන් බලා සිටින්නේ ඊශ්‍රායල-හමාස් ගැටුම කවදා විසඳේවි ද යන්න ගැන ය.
ඊශ්‍රායලය නම් පවසන්නේ තමුන් යුද්ධය නතර කරන්නේ හමාස් සංවිධානය පරාජය කිරීමෙන් පසුව පමණක් බවයි. නමුත් හමාස් සංවිධානය එතරම් පහසුවෙන් පරාජය කළ හැකි වේවි ද යන්න සැක සහිත ය. ඉරානය වැනි ප්‍රබල රාජ්‍යයන්ගේ සහය මෙන්ම යාබද ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන තවත් ප්‍රබල සන්නද්ධ සංවිධානයක් වන හිස්බුල්ලා සංවිධානයේ සහය ද හමාස් සංවිධානයට ලැබේ. යම් හෙයකින් හමාස් සංවිධානය පරාජය වන ලකුණු ඇති වුවහොත් මෙම පාර්ශ්ව කුමක් කරනු ඇත්දැයි කිව නොහැක. එවැනි තත්ත්වයක් තුළ ඉරානයත් මෙයට පැටලේවි ද? රුසියාව වැනි රටවල් සහ ඉරානය අතර ද විශාල සබඳතාවක් තිබේ. ඉරානය මෙයට පැටලුනහොත් රුසියාව සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශ්ව කුමක් කරාවි ද? මෙම යුද ගැටුම නිසා පලස්තීන (අරාබි) ජාතිකයන්ට විශාල හානියක් සිදුවන බව පෙනී ගියහොත් සෙසු අරාබි රටවල් ඊට මොන ආකාරයෙන් ප්‍රතිචාර දක්වාවි ද? මේවා තවමත් පිලිතුරු සිතා ගැනීමට අපහසු ප්‍රශ්න ය.
මෙම පසුබිම තුළ මේ වනවිටත් පවතින්නේ මෙම යුද ගැටුම ඉදිරියේ දී මොන ස්වරූපයක් ගනු ඇත්ද යන්න නිශ්චිතව කිව නොහැකි, ව්‍යාකූල තත්ත්වයකි.
නිහාල් පීරිස්