ඊශ්‍රායල-හමාස් යුද්ධයට ඇමරිකාවත් පැටලෙයි ද?

මේ වනවිට මුළු ලෝකයම මහත් කම්පනයකට පත් කර ඇති ඊශ්‍රායල-හමාස් යුද ගැටුම ගැන මෙම සටහන ලියන 24 වැනි දින වනවිට පළ වී තිබූ වාර්තාවලට අනුව ඒ වෙද්දී ගාසා තීරයේ මියගොස් සිටි සංඛ්‍යාව 5,100 ක් පමණ දක්වා ඉහළ ගොස් තිබිණි. සමහර මූලාශ්‍ර පවසන ආකාරයට එයින් අඩකට ආසන්න සංඛ්‍යාවක් කුඩා දරුවන් ය. මෙම වාර්තා සත්‍ය නම් එය අතිශය ඛේදජනක තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඊශ්‍රායලය ගාසා තීරය වෙත එල්ල කරන ප්‍රහාර තවදුරටත් ඉහළ යමින් ඇති අතර ගාසා හි වැසියන්ගේ ඛේදවාචකය වඩාත් දරුණු වෙමින් තිබේ. මිය ගිය සිය දරුවන් වැළඳගෙන මහ හඬින් හඬා වැලපෙන මව්පියන්ගේ දසුන් දැක්වෙන විඩියෝ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ. ඒවා බලා සිටින්නට අපහසු තරම් සිත් කම්පා කරවන සුළු ය.

කව්රුත් මේ වනවිට බලා සිටින්නේ කවදා මෙම ගැටුම අවසන් වේවිද යන්න ගැන යි. නමුත් පෙනෙන්නට ඇත්තේ එය අවසන් වන පාටක් නොව තවත් පාර්ශ්ව මෙයට පැටලී මෙම යුද ගින්න තව තවත් ඇවිලෙන්නට පටන් ගන්නා ආකාරයකි. මේ ගැන ඉඟි කරන ප්‍රකාශයක් පසුගිය ඉරිදා (22) ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් කර තිබිණි.

ඔහු පවසා තිබුණේ ඊශ්‍රායල-හමාස් ගැටුම වඩාත් පැතිරුණු යුද්ධයක් බවට පත් වීමේ අවදානමක් මතුව ඇති බවයි. බ්ලින්කන් පවසන ආකාරයට මෙම තත්ත්වය ඇති වනු ඇත්තේ ඊශ්‍රායලයේ සතුරු පාර්ශ්වයක් වන ඉරානයට සම්බන්ධකම් දක්වන එම කලාපයේ තවත් සන්නද්ධ කණ්ඩායම් මෙම ගැටුමට පැටලීමත් සමග ය. හමාස් සංවිධානය ද ඉරානයේ සහය ලබන සංවිධානයකි. ඒ නිසා හමාස් සංවිධානය පරාජයට පත්වන ලකුණු පහළ වුවහොත් ඉරානයේ සහය ලබන ඉහත කී සෙසු සංවිධාන ද ඊශ්‍රායලයට එරෙහිව යුද්ධයට එළැඹිය හැකි බව බ්ලින්කන්ගේ අදහස යි. යාබද ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන හිස්බුල්ලා වැනි සංවිධාන මෙයට නිදසුන් ලෙස දැක්විය හැකිය.

මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා තවත් බිය හිතෙන කතාවක් ද කියයි. එනම් යුද්ධය තවත් පැතිරෙද්දී යම් හෙයකින් එම කලාපයේ සිටින ඇමරිකානු හමුදාවලට තර්ජනයක් එල්ල වුවහොත් ඇමරිකාව ඊට පිලිතුරු දීමට සූදානමින් සිටින බවයි. මේ සඳහා අවශ්‍ය යුද උපකරණ ආදිය තවදුරටත් මැද පෙරදිග කලාපය වෙත යවා ඇති බවක් ද බ්ලින්කන් පවසා තිබිණි. ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නැව් දෙකක් ද මේ වනවිට එම කලාපයේ රඳවා තිබේ. මේ සියල්ල තුළින් පෙනෙන්නේ ඊශ්‍රායල-පලස්තීන කලාපය තුළ මේ වනවිට ඇත්තේ පුපුරා යාමට ආසන්න ගිනි කන්දකට සමාන තත්ත්වයක් බවයි.

ඊශ්‍රායලය පවසන්නේ හමාස් සංවිධානය අතුගා දමන තුරු තමුන් යුද්ධය නතර නොකරන බවය. නමුත් ඉරානය එතෙක් දෑත් බැඳගෙන බලා සිටිනු ඇතැයි විශ්වාස කළ නොහැක. මන්ද යත් මෙම කලාපය තුළ සිය බලය පවත්වා ගෙන යාමේ දී ඉරානයට හමාස් සංවිධානය ඉතා අවශ්‍ය වන නිසා ය. යම් හෙයකින් හමාස් සංවිධානයේ පැවැත්මට බරපතල තර්ජනයක් මතු වුවහොත් ඉරානය වඩාත් සක්‍රිය ආකාරයෙන් ක්‍රියාත්මක වීමට ඉඩ තිබේ. යුද ගැටුම වඩාත් ව්‍යාප්ත වීමේ අනතුරක් ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ද කියන්නේ මෙම පසුබිම තුළ ය.

24 වැනි දින වනවිට ඊශ්‍රායල-හමාස් ගැටුමෙන් දෙපැත්තේම මිය ගිය ගණන 6,000 ඉක්මවා ගොස් තිබිණි. තුවාල ලබා ඇති සංඛ්‍යාව 21,000 කට ආසන්න බව සඳහන් වේ. මේ වනවිට විශාල අවධානයක් දිනාගෙන ඇති තවත් කාරණයක් වන්නේ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ අසරණව සිටින ගාසා හි සිවිල් වැසියන් මුහුණ දෙමින් සිටින මානුෂීය අර්බුදය යි. තුන් පැත්තකින් ගාසා තීරය වටලා සිටින ඊශ්‍රායලය ගාසා තීරය වෙත ආහාර, ජලය, ඉන්ධන, ඖෂධ ආදිය සැපයීම නතර කිරීම නිසා මෙම වැසියන්ට ප්‍රහාරවලට අමතරව තවත් බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදුව තිබේ. කෙසේ හෝ වේවා, ජාත්‍යන්තර මැදිහත් වීම් හමුවේ දැන් මෙම ජනතාව වෙත මානුෂීය ආධාර ලබා දීම ආරම්භ වී ඇත. ඒ ගාසා හි දකුණු දෙසින් පිහිටි ඊජිප්තු දේශ සීමාව හරහා ය. මෙම ආධාර රැගත් ට්‍රක් රථ පසුගිය දිනවල ගාසා තීරය වෙත පැමිණ තිබිණි. ආධාරවලට අමතරව මිනී පෙට්ටි වැනි භාණ්ඩ පවා මෙම ට්‍රක් රථවලින් ගෙනැවිත් තිබූ බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර