රෝගී වීම නිසා ඇඳටම සීමා වී ඇඳේ එහා මෙහා චලනය වීමට නොහැකිව එකම ඉරියව්වක සිටින අයකුට ඇතිවිය හැකි ප්‍රධාන සංකූලතාවයක් වන්නේ ඇඳ තුවාල ( bed sores) හට ගැනීම ය.
විවිධ රෝග තත්ත්වයන් නිසා ශරීරයේ මාංශපේශි දුර්වල වන රෝගීහු ඇතැම් විට මෙලෙස ඇඳටම සීමා වෙති. මෙහිදී වෙනත් අයකු විසින් රෝගියාව ඇඳ මත එහා මෙහා කළහොත් හැර තමාට ම තමාගේ අතපය සෙලවීමට නොහැකි නම් බොහෝ වේලාවක් එකම ඉරියව්වෙන් සිටීමට රෝගියාට සිදුවේ. නිරෝගී අයකුට මෙසේ එකම ඉරියව්වේ තම අවයව පවත්වා ගෙන සිටිය හැකි වන්නේ මිනිත්තු කිහිපයක් පමණි. තමාගේ දැනුවත් භාවයකින් තොරව ම තමා විසින්ම එම ඉරියව් වෙනස් කරගනු ඇත. එසේ වන්නේ අපට දැනෙන සංවේදනා අනුව මොළයෙන් දක්වන ප්‍රතිචාරයන්ට අනුගත වීමක් ලෙසිනි.
රෝගීවී සිටින සමහර පුද්ගලයන්ට එලෙස එකම ඉරියව්වෙන් සිටීමේදී අපහසුතා දැනුනත්, ඉරියව්ව වෙනස් කරගත නොහැකි නිසා එකම ආකාරයට සිටින්නට සිදු වනු ඇත. මේනිසා සිරුරේ ඇතැම් ස්ථාන දැඩි තෙරපුමකට ලක් වේ. මේ පිළිබඳව අපි නිදසුනකින් පැහැදිලි කර ගනිමු. බොහෝ වේලාවක් ලී පුටුවක වාඩි වී සිටින විට තට්ටම් ප්‍රදේශයට ශරීරයේ උඩ කොටසේ බරත් සමග තෙරපුමක් දැනෙනු ඇත. එහිදී එම ප්‍රදේශයට රුධිරය සපයන කුඩා කේශනාලිකා එක දිගට තෙරපීමට ලක්ව තිබීම හේතුවෙන් රුධිරය නොලැබී යාමෙන් එම සෛල ආබාධයට ලක් විය හැකිය. එවැනි අවස්ථාවල අනිවාර්යයෙන්ම ඉරියව් වෙනස් කරගත යුතුය. නමුත් එලෙස වෙනස් කර ගැනීමේ හැකියාවක් නොමැතිකම නිසා එකම ස්ථාන දිගින් දිගටම තෙරපීමට ලක් වේ නම් තෙරපුම් තුවාල හට ගැනීමේ හැකියාව තිබේ. මෙම තත්ත්වය ඇඳක දී සිදු වුවහොත් එම තුවාල ඇඳ තුවාල ලෙසින් හඳුන්වයි.
තවත් සමහර රෝගීන්ට ඔවුන්ගේ රෝග ස්වභාවයට අනුව එකම ඉරියව්වක දින ගණනාවක් සිටියත් සංවේදනා දැනෙන්නේ අඩුවෙනි. නිදසුනක් ලෙස සුෂුම්නා අනතුරුවලට ලක් වූ රෝගීන් ගේ කොඳු ඇට පෙළෙහි පහත කෙළවරේ කොඳු ඇටවලට හානි සිදු වුවහොත් පාදයේ චලනයන්ට හා සංවේදනාවලට අදාළ ස්නායුවල ක්‍රියාකාරිත්වය ඇන හිටී. එවැනි තත්ත්වයකදී පාදවලට වන අනතුරු හා ඉරියව්වල සංවේදනා නොදැනේ. ඒ නිසා පාදවල ඉරියව්වල වෙනසක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් ඔවුනට මතුවන්නේ නැත. එවැනි තත්ත්වයක දී ද තෙරපුම් තුවාල හටගනියි.
දැන් අපි තෙරපුම් තුවාල හට ගන්නා ස්ථාන පිළිබඳව අවධානය යොමු කරමු.
බොහෝ විට මෙම අවදානම් ස්ථාන වන්නේ අස්ථියක් ආසන්නයේ පිහිටන ස්ථාන යි. මේ අනුව රෝගියා නිදා සිටින්නේ උඩුබැලි අතට නම් හිස පිටුපස, උරපතු ඇට, තට්ටම් ප්‍රදේශය, වැලමිට ප්‍රදේශය, විලුඹ ප්‍රදේශය ආදී ස්ථාන අවදානම් කලාප ලෙස නම් කළ හැකිය. පැත්තකට හැරී සිටින රෝගියෙකුගේ කන ප්‍රදේශය, උරහිස ප්‍රදේශය, යටවී ඇති දණහිස ප්‍රදේශයේ උඩ කොටස සහ වළලුකර සන්ධියේ යට පැත්ත මෙසේ තෙරපුමට ලක් විය හැකිය. වාඩි වී සිටින විට දී නම් උරපතු ප්‍රදේශය, තට්ටම් ප්‍රදේශය හා කලවා ප්‍රදේශය මෙසේ තෙරපුමට ලක් වී තුවාල ඇති විය හැකිය. යම් රෝගියකු මෙම ඉරියව්වල බොහෝ වේලාවක් සිටී නම් ඉහත සඳහන් කළ ප්‍රදේශ පිළිබඳව නිතර සෝදිසියෙන් සිටීම මගින් මෙසේ තෙරපුම් තුවාල ඇතිවීම වළක්වා ගැනීමට හැකියාව ලැබේ.
යම් තැනක තෙරපුම් තුවාලයක් ඇතිවී ගෙන එන්නේ නම් එය කලින්ම දැන ගැනීම තුළින් බොහෝ දුරට වළක්වා ගත හැකිය. මෙවැනි තුවාල වළක්වා ගැනීමට නොහැකි වුවහොත් එම තුවාලය නිසා රෝගියා ගේ ජීවිතයට තර්ජනයක් ඇති වීමට හැකියාවක් තිබේ. යම් විෂබීජයක් එම තුවාලයට ඇතුළු වුවහොත් තුවාලයේ ප්‍රමාණය විශාල වී රුධිරය මගින් අස්ථිවලට බලපෑම් ඇතිවන්නට ඉඩ ඇත. මෙය මාරාන්තික විය හැකි අවස්ථාවකි. එම නිසා සුදුසුම ක්‍රියාමාර්ගය වන්නේ තුවාල ඇති වුවහොත් ඊට කඩිනම් ප්‍රතිකාර ලබාදී සුවකර ගැනීම සහ තුවාල ඇතිවීම වළක්වා ගතහැකි පිළියම් අනුගමනය කිරීම ය.
ඇඳ තුවාලයක් හඳුනා ගන්නේ කෙසේද ?
* ඇඳටම සීමා වී සිටින රෝගියකු ගේ යම්කිසි ස්ථානයක් රත් පැහැ ගැන්වී පවතී නම් එම ස්ථානය ඇඟිල්ලෙන් තෙරපූ විට සුදු පැහැ ගැන්වීමක් සිදු නොවී රත් පැහැයෙන් ම පවතී නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
* අදාළ ස්ථානවල සම බුබුලක් ලෙස දැකිය හැකි වීම
* බුබුල පවතින ස්ථානයේ සම තුවාල වීම
* ක්‍රමයෙන් මෙය මාංශ පේශි හරහා ඇතුළට විහිදී අස්ථි බන්ධන හා සන්ධි බන්ධන දක්වා විහිදීම
ඇඳටම සීමා වී සිටින බොහෝ රෝගීන්ට පාළනයකින් තොරව මුත්‍රා පිටවීම නිසා ඇඳ නිතරම තෙත් ව තිබීමෙන් සම ඉතා ඉක්මනින් ආසාදනයට ලක්විය හැකිය. සිහි කල්පනාව අඩු ඇඳටම සීමාවී සිටින රෝගීන්ට ඇඳ තුවාල ඇතිවීමේ අවදානම වැඩිය.
මෙසේ ඇඳට ම සීමා වූ බොහෝ රෝගීන් ඇඳේම සිට ආහාර අනුභව කිරීම නිසා ඇඳ මතට වැටෙන ආහාර කැබලි නිසි අයුරින් පිරිසිදු කර නොගතහොත් කූඹින් ඇඳට ඒම වැළැක්විය නොහැකිය. එසේ පැමිණෙන කූඹින් ආහාර කැබලි තුළ හිඳීමට අමතරව රෝගියාගේ ඇඟිලිකරු වැනි ස්ථානවල රැඳී සිටිමින් සම පලුදු කරනු ඇත. මෙලෙස කුඩාවට ඇතිවන තුවාල පසුව ඇඳ තුවාල දක්වා පැතිරී යාමේ අවදානමක් තිබේ.
මේ අනුව බලන විට ඇඳටම සීමා වූ රෝගියකු පැය දෙකකට වරක්වත් නිවැරදි ලෙස දෙපසට හැරවීම කළ යුතු වේ. මෙසේ ඉරියව් මාරු කිරීම මගින් ඇඳ තුවාල ඇතිවීම වළක්වාගත හැකි වෙයි.
ඉරියව් වෙනස් කිරීමේදී ඉහත සඳහන් කළ අවදානම් කලාපවල සම පිළිබඳ මනා අවධානයකින් සිටින්නේ නම් තෙරපුමට ලක් වී ඇති ස්ථාන හඳුනා ගැනීම පහසු වේ. මීට අමතරව නිතිපතා සිරුර හොඳින් පිරිසිදු කිරීම මෙන් ම ඇඳ වියළි පිරිසිදු ස්ථානයක් ලෙස තබා ගැනීමට කටයුතු කිරීම ද බෙහෙවින් වැදගත් ය. විවිධ මිල ගණන් යටතේ වෙළෙඳ පොළේ අලෙවි කිරීමට තබා ඇති වාතය පිරවූ මෙට්ට හා ජලය පිරවූ මෙට්ට භාවිතයෙන් ඇඳ තුවාල ඇතිවීම හැකියාව ලැබෙනු ඇත.
භෞත චිකිත්සක උදය.පී. චන්ද්‍රසේන
ඉන්දු පෙරේරා