එදා මෙදා තුර අඩුවක් නැති මෝඩ හාමුලා ගේ කරත්ත රේස්

වර්තමාන සමාජයේ දේශපාලන සහ සමාජ ක්‍රියාධරයන්, තරුණ අරගල කරුවන් සහ විප්ලවීය ආකල්ප දරන්නවුන් කොතෙකුත් සිටියදී ප්‍රභූ පවුල් වශයෙන් පිළිගත් පවුල් වල ඒ කිසිවක් නොමැති දරුවෝ ඒ සියල්ලන්ටම ඉහළින් සමාජයේ කැපී පෙනෙනු දක්නට ලැබේ. ඒ සඳහා ඔවුනට ඇති සුදුසුකම උත්සාහය,උනන්දුව, කැපවීම, සවිඥානකත්වය,බුද්ධිය, උගත්කම හෝ පෞරුෂය ආදී කිසිවක් නොවේ. තම පරම්පරාව හෝ පවුල සමාජයෙන් හිමිකරගත් ප්‍රභූත්වයයි.

එමෙන්ම සමකාලීන සමාජයේ පවත්නා විවිධ සංසිද්ධීන් ද ඔවුන් එලෙස සමාජයේ දිරියට තල්ලු කරන බලවේග ලෙස ක්‍රියාත්මක වන බව නොරහසකි. ඒ සම්බන්ධ ප්‍රබල නිදසුන් වත්මන් සමාජයෙන් ඕනෑ තරම් උපයා සපයා ගත හැකි බැවින් මම කෙලින්ම එවැනි අතීත සංසිද්ධියක් මුල් කොට ගත් රස කතාවකට පිවිසෙමි. මෙය මට මීට වසර තිහකට පමණ පෙර ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ දී අසන්නට ලැබුණු කතා ප්‍රවෘත්තියකි.

අප රට ඉංග්‍රීසීන් පාලනය කළ අවසන් කාල පරිච්ඡේදයේ දකුණු පළාතේ කුරුඳු ව්‍යාපාර වලින් මහා ධනවතකු බවට පත් ප්‍රභූ වරයෙක් සිටියේ ය. එවක සමාජයේ ඉහළම තරාතිරමක වැජඹුණු ඔහු ඉංග්‍රීසි ආණ්ඩුවෙන් මහ මුදලි තනතුරක් ලද අයෙක් ද විය. මේ මහ මුදලිගේ සමාජ, ආර්ථික තත්වය කෙතරම් ඉහළ මට්ටමක පැවැතිය ද ඔහුගේ කල් ක්‍රියාව අතිශය අයහපත් එකකි. සමාජයේ මතු පිටින් දානපතියකු,බෞද්ධ උපාසකයකු ලෙස පෙනී සිටිය ද තම ධන බලය සහ පිරිස් බලය යොදා ඕනෑම අකටයුත්තකට යොමු වීම ඔහු ගේ ජීවිතයේ සාමාන්‍ය අංගයක් විණි.

විශේෂයෙන් කාමුක චරිතයකින් හෙබි “අනංගයකු” වූ මේ මහ මුදලි තමන් ගේ සිත් ගන්නා ඕනෑම කාන්තාවක ඇගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තම වසඟයට ගැනීමට පුරුදුව සිටියේ ය. එම කරුණු මත පොදුවේ එම ප්‍රදේශයේ ගැමියන්ට ඒ මහ මුදලි කල් කදුරු මෙන් තිත්ත වුව ද ඊට එරෙහිව යමක් කළ හැකි කිසිවෙක් ඒ අහල ගම් හතකවත් නොවූහ.

මේ මහ මුදලිට එකම එක පුතෙකු සිටි අතර ඒ වන විට ඉලන්දාරි වියේ පසු වූ ඔහු ගැමි වහරට අනුව කිවහොත් “උපන් ගෙයි මෝඩයෙකි”. එහෙත් තමන් ගේ පෞරුෂයට හා ප්‍රතාපයට කැළලක් විය හැකි නිසා තම පුතු ගේ මෝඩකම් සමාජයෙන් සඟවා ගැනීමට මේ මහ මුදලි මහත් උත්සාහයක් දැරීය. එහෙත්, මේ තරුණයා ගේ මෝඩකම් පිළිබඳව ගම්මුන් හොඳින් දැන සිටි නිසා ගම්මුන් ඔහු හඳුන්වන ලද්දේ ‘මෝඩ හාමු’ යන සරදම් නමිනි. වරක් එම ප්‍රදේශයේ පැවැති සිංහල අලුත් අවුරුදු උත්සවයක කරත්ත රේස් එකක් සංවිධානය කොට තිබිණ.

ඒ අතර එම ගම්මානයේ ජීවත් වූ විප්ලවීය අදහස් ඇති;එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීමේ සමාජමය අවකාශයක් නොතිබූ තරුණ පිරිස එය මුල් කොට හෝ මහ මුදලිට අහල පහල ගම් හතටම දැනෙන අන්දමේ නිග්‍රහයක් කිරීමට අදහස් කොට හීන් සීරුවේ ගොස් ඔහුගේ පුත් ‘මෝඩ හාමු‘ හමු වූහ.

“හාමු අන්න අහවල් දවසේ අතන කරත්ත රේස් එකක් තියනවා. පුළුවන් නම් හාමුත් තාත්තට නොකියා රේස් කරත්තේ බැඳගෙන රේස් එකට එන්න. කිසිම ප්‍රශ්නයක් නැතුව හාමුට ඔය රේස් එකෙන් පළමුවෙනි තැනම ගන්න පුළුවන්” ඔවුන් ‘මෝඩ හාමු’ ට එසේ පවසා සිටියේ එම රේස් එක මුල් කොට මෝඩ හාමු ලවා මහ මුදලිට සුවිසල් නිග්‍රහයක් කොට ඔහුගේ විෂමාචාර ක්‍රියා නතර කොට ඔහු ටික කලකට හෝ වලව්ව තුළ කොටු කිරීමට ය.

“අපොයි මට නම් කීයටවත් බෑ; අපේ පප්පා මාව මරයි” තරුණයන් ගේ ඉල්ලීම හමුවේ නෝන්ජල් වූ මෝඩ හාමු බියෙන් හැකිලෙමින් කීය.
“එහෙම වෙන්නේ කොහොමද? හාමු, හාමු ඔය කරත්ත රේස් එකෙන් මුල් තැනටම එන එක ස්ථිරයිනේ. එතකොට ඒක හාමුගේ පප්පාටත් මොන තරම් ආඩම්බරයක්ද? ඊට පස්සේ හාමුගේ පප්පා හාමුට අදටත් වඩා අදරේ වෙයි. හැබැයි ඉතින් හාමු ඔය රේස් එකට එන කතාව කලින් කිව්වොත් නම් පප්පා හාමුට ඕකට එන්න දෙන එකක් නෑ. ඒ හින්දා හොරෙන්ම කරත්තේ බැඳගෙන එන්න” එම තරුණයන් කී පසු මෝඩ හාමු ද හිස සළා එය අනුමත කළේය.

කරත්ත රේස් එක පැවැත්වෙන දිනය එළැඹිණි.විප්ලවකාරී අදහස් ඇති තරුණයන් අපේක්‍ෂා කළ පරිදි තම පියාගේ රේස් කරත්තය රහසින් බැඳගත් මෝඩ හාමු තරඟ බිමට අවතීරණ වූයේ එම තරුණයන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේ ය. රේස් එක පැවැත්වෙන අතරතුර මෝඩ හාමු කිනම් හෝ අලකලංචියකට මුහුණ දෙන බව තරුණයන්ට නිසැක ය.

තරඟය ආරම්භ කිරීමේ මොහොත ඇරඹිණි. තරඟ කරුවෝ තම රේස් කරත්ත එක පෙළට තබාගෙන සූදානම්ව සිටියහ. සෙසු තරඟ කරුවන් නිදහසේ තරඟයට සැරසෙන අතරේ මෝඩ හාමු ගේ කරත්තය වටා තරුණ පිරිස් පොරකමින් රොක්වූහ.ඒ ඔහුගේ කරත්තය බැඳ සිටින ගවයා කුලප්පු කරවීමට ය. තරඟයේ ආරම්භක සංඥාව නිකුත් කෙරිණ.

මෝඩ හාමුගේ කරත්තය වටා සිටි තරුණයෝ මහ හඬින් බෙරිහන් දෙන්නට වූහ. ඉන් මහත් කලබලයට පත් කරත්තය බැඳි ගවයා ඒ වන විට අන්දමන්දව සිටි මෝඩ හාමු ද සහිත කරත්තය ගෙන එක්වරම ඉගිළුණි. කෙසේ හෝ ඉතා කෙටි වේලාවක් තුළ එම කරත්ත රේස් එක නිමා වූයේ ඉන් මෝඩ හාමුගේ කරත්තය දිනුම් කනුව පසු කොට ගොස් විශිෂ්ට ජයක් ලබා දෙමිනි.මින් එම තරුණයන්ගේ මුහුණු ඇකිලී යන්නට ඇත. කෙසේ හෝ මෝඩ හාමුගේ මෙම විශිෂ්ට සමත්කම ගැන දැන ගත් මහ මුදලි හනික එම තරඟ භූමියට පැමිණියේ රටවල් ගණනක් දිග් විජය කළ රණ ශූරයකුගේ විලාසයෙනි. එසේ පැමිණි මහ මුදලි තමන් උත්සවයේ සංවිධාකයන් විසින් ගෞරවයෙන් පිළිගන්නා ලදුව එම රේස් කරත්ත තරඟයේ ජයග්‍රාහකයාට හිමි සම්මානය මෝඩ හාමු වෙත ප්‍රදානය කරන ලදී.

“උඹලා හිතුවට මගේ පුතා මෝඩයෙක් කියල ඔන්න අදවත් දැන ගනිල්ලා මගේ පුතා ගේ රඟේ,” රැස්ව සිටි විශාල පිරිසට අවඥා සහගතව එසේ කී මහ මුදලි තම පුතු මෝඩ හාමු, රේස් කරත්තය හා ඔහුට හිමි ත්‍යාගය ද ගෙන මහත් අභිමානයෙන් යුතුව වලව්ව බලා පිටත් විය.
“මෝඩ හාමුගේ කරත්ත රේස් එක වගේ” යන එම උපහැරණය අද වන විට එම සිද්ධියට අදාල ප්‍රදේශවල ජනවහරේ කෙතරම් භාවිතයට ගැනේදැයි මම නොදනිමි.

එහෙත්, වර්තමාන සමාජයේ මහ මුදලි වරුන් ගේ පුත් මෝඩ හාමුලා ගේ අනේක විධ රැඟුම් දකින විට එම කතාව එදාට පමණක් සීමා වූවක් නොවූ බව කාට වුව මනාව වැටහෙනු ඇත.එය සාමාන්‍ය ජන සමාජය සේම වත්මන් මෝඩ හාමුලාගේ ජීවිත හැසිරවීමට බලාපොරොත්තු වන විප්ලවවාදී අරගලකාරී තරුණ පෙළ ද කල් ඇතිවම හොඳින් දැන සිටිය යුතුය.

තිලක් සේනාසිංහ

 

 

උරුමයක අසිරිය