විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට හෙට (27) ඉදිරිපත් කිරීමට නියමිත ය.මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීමෙන් සතියකට පසු විවාදයට ගැනීමට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව හැකියාව තිබේ..නමුදු ඒ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් නොවුණ හොත් පමණි.
එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් ද තහවුරු කොට තිබේ.මෙම විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමි විය.ඒ අනුව එය ගැසට් පත්‍රයක් මඟින්ද පසුගිය ජුනි මස 24 වෙනිදා ප්‍රකාශයට පත් කෙරිණ.ඒ අනුව මෙම කඩිනම් ක්‍රියා මාර්ගය අප අගය කළ යුතු ය.
වර්තමානයේ රට තුළ ඔඩු දුවා ඇති ගැටළු අර්බුද සඳහා “සිස්ටම් චේන්ජ් එකකක්”අවශ්‍ය බව රටේ බහුතරයකගේ මතය වී තිබේ.එහෙත් ඒ සිස්ටම් චේන්ජ් එක කෙබඳු විය යුතු ද යන්න පිළිබඳ පොදු එකඟතාවක් නැත.ඇතැමුන් ඒ පිළිබඳව දක්වන අදහස නම් දැනට පවත්නා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කුණු බක්කියට හෙළා පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ද ඉවත ලා යම් පාර්ශවීය මතයක් මත නව දේශපාලන ක්‍රියාදාමයක් ඇරඹිය යුතු බව ය. “නොදන්න අවංකයාට වඩා දන්නා හොරා හොඳ යැ”යි ජන වහරක් අප සමාජයේ තිබේ.ඒ අනුව යම් යම් අඩු පාඩු දුර්වලතා පැවැතිය ද වත්මන් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය කුණු බක්කියට හෙලීමට පෙර දෙවරක් නොව සිව් වරක්ම සිතිය යුතු වේ.
මක් නිසා ද යම් යම් දේශපාලන බලවේග තුළින් ඉදිරිපත් වන යෝජනා තුළ ගැබ් ව ඇති බිහිසුණු ප්‍රතිඵල අත් විඳීමට පෙර දැන ගත යුතු අන් ක්‍රමයක් නොමැති බැවිනි. විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමත් සමගම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කිරීමට ජනාධිපති වරයා තීරණය කර ඇත.සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කරන බව ජනාධිපති වරයා එම ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ දී පක්ෂ නායකයන් හමුවූ අවස්ථාවේදී පසුගිය 21 වෙනිදා ප්‍රකාශ කොට තිබේ.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් තේරී පත්වීමෙන් පසුව ද ඔහු සභාව අමතමින් සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට සම්බන්ධ වන්නැයි සියලු දේශපාලන පක්ෂ වලට ආරාධනා කරන බව පැවසීය.එය වත්මන් සමාජ ආර්ථික දේශපාlaන ව්‍යාධිය සඳහා වන ඔඩු දුවා ඇති රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක් වේ දැයි අපි නොදනිමු.මක් නිසාද යත් රෝග ලක්ෂණ වලට කරන ප්‍රතිකාර වලට වඩා වැදගත් වනුයේ රෝග නිධානය හඳුනා ගෙන කරන ප්‍රතිකාර වන බැවිනි.මෙය ඒ අතරින් කෙබඳු ප්‍රතිකාරයක් වේදැයි පුරෝකථනය කිරීමට තවම කල් වැඩි ය.
මේ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවමත් තමන්ට නිල වශයෙන් ආරාධනා ලැබී නැතැයි දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂවල නායකයෝ කියති.
ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්, දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන්,දමිළ ප්රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් සහ ජාතික කම්කරු පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් යන මන්ත්‍රී වරු මේ බව තහවුරු කරති.ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කිරීමට ජනාධිපති වරයා ගත් තීරණය තවමත් හරිහැටි ක්‍රියාත්මක වී නොමැති බවක් පෙනෙයි. ජනාධිපති වරයාගේත් අගමැති වරයාගේත් ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ පළමු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද(26) පැවැත්වෙයි.
එහි දී මෙම සර්ව පාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇත.ඒ අනුව අප රටේ සුළු ජන කොටස් නියෝජනය කරන පක්ෂ සර්ව පාක්ෂික ආණ්ඩුව සඳහා එක් කර ගත යුතු අන්දම පිළිබඳව ද සාකච්ඡා කෙරෙනු ඇත.ඒ නව සර්ව පාක්ෂික ආණ්ඩුව මෙරට ජන සංයුතිය ද නිවැරදිව නියෝජනය කළ යුතු වන බැවිනි.අප රටේ සුළු ජන වර්ග නියෝජනය කරන ඇතැම් දේශපාlaන පක්ෂ තම වාර්ගික අයිතීන් හා හිමිකම් වෙනුවෙන් පමණක් පෙනී සිටින අවස්ථා තිබේ.සැබැවින්ම එය එක්තරා අන්තගාමී ස්ථාවරයකි.එහෙත්, ඔවුන් එම ස්ථාවරයට පැමිණ ඇත්තේ දිගු කාලීනව අප රටේ මුඛ්‍ය දේශපාලන ධාරාව මඟින් රටේ සුළු ජන කොටස් නොතකා හැරීම නිසා බව පෙනෙයි.
ඒ නිසා විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු අරඹන සර්ව පාක්ෂික ආණ්ඩුව හුදු වාර්ගික සංකල්ප වලින් බැහැරව රටේ සමස්ත ජනතාවම ශ්‍රී ලාංකේය යන අනන්‍යතාව යටතට පත් කිරීමට සමත් වන්නක් විය යුතු ය.ගාලු මුවදොර අරගලයෙන් සමාජය වෙත ඉදිරිපත් වූ එම පූර්වාදර්ශය ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නැංවීමට ජනපති වරයා ඇතුළු නව සර්ව පාක්ෂික ආණ්ඩුවට හැකි විය යුතුමය.එසේ කිරීමට නව රජය අපොහොසත් වුව හොත් වත්මන් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය කුණු බක්කියට හෙලීමේ යෝජනා කෙමෙන් ජන සම්මත වීමේ අවදානමක් ඇති බව ද අප කෙසේ වත් අමතක කළ යුතු නැත.
හේමන්ත රන්බණ්ඩාර