අපි සාමාන්‍යයෙන් කෙනෙක් දුප්පත්ද පොහොසත්ද කියලා තක්සේරු කරන්නේ එයාට සල්ලි තියෙනවද නැද්ද කියන මිනුම් දණ්ඩෙන්. එහෙම නේද?
ඔව්. ඒක තමා අද සමාජයේ සිද්ධ වෙන්නේ. දුප්පත් කියන වචනය ඇහුනු ගමන් අපේ හිතට එන්නේ අතමිට හිඟ, මුදල් හදල් නැති, එදිනෙදා අවශ්‍යතාවන් මිල මුදලින් සපුරා ගන්නට හැකියාවක් නැති කෙනෙක්ව.
ඒකෙ අනිත් පැත්තත් ඒ වගේ. පොහොසත් කියන වචනය ඇහුනු ගමන් අපේ හිතට එන්නෙ අතමිට සරු , සමහරවිට යාන වාහන වතුපිටි ගේදොර තිබෙන, හිතේ හැටියට අවශ්‍ය දේවල් වලට වියදම් කළ හැකි කෙනෙක්ව. නේද?
හැබැයි මේක ඇත්තෙන්ම හරිම මුලාවක්. වැරදි අර්ථකථනයක් .ඒ වගේම වැරදි වැඩක්. වැරදි සමාජ හැදියාවක්.
කෙනෙක් පොහොසත් ද දුප්පත් ද කියලා තීරණය කරන්න ඕනේ ඒ පුද්ගලයා තුළ කොයිතරම් මනුස්සකම් තියෙනවද කියන මිනුම් දණ්ඩ උපයෝගී කරගෙන මිසක් ඔහුට හෝ ඇයට සල්ලි කොච්චර තියෙනවද නැද්ද කියන මිනුම් දණ්ඩ උපයෝගී කරගෙන නෙමෙයි.
වෙන වචන වලින් කියනවනම් අපි නිතරම බලන්න ඕනේ කෙනෙක් මනුස්සකම අතින් ගුණධර්ම අතින් කොයිතරම් පොහොසත් ද කියලා මිසක් ඔහුට හෝ ඇයට සල්ලි කොච්චර තියෙනවද නැද්ද කියලා නෙමෙයි.
සල්ලි තියන ඉතාමත්ම ගුණගරුක හොඳ මනුස්සකම් තියන මිනිස්සු ඉන්නවා. ඒ වගේම සල්ලි තිබුනට හිතේ කිසිදු තෙතමනයක් නැති මනුස්සකමක් නැති දූෂිත මිනිස්සුත් ඉන්නවා. කොච්චර සල්ලි තිබුනත් අනුන්වත් සූරා කමින් තව තව ධනය ගොඩ ගහන මිනිස් වෙස් ගත් මළ පෙරේතයෝත් ඉන්නවා.
ඇත්තටම අපේ ලස්සන රට අද මේ තරම් හිඟා නොකා හිඟා කන අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ ඒ වගේ කාලකන්නි මළ පෙරේතයෝ හින්දම තමයි.. එහෙම නේද?
යුක්තිය අයුක්තිය හඳුනන, ගඳ සුවඳ- යහපත අයහපත හඳුනන ගුණධර්ම වලින් පොහොසත් නායකයෝ දේශපාලකයෝ පුරවැසියෝ හිටියනං අද අපේ රට හැමෝම සතුටින් කාලා බීලා නීරෝගීව ඉන්න සුර ලෝකයක්.
ඒත් කරුමෙට අද අපේ රටේ බොහෝ දෙනෙක් කොච්චර සල්ලි තිබුණත් පොහොසත්තු නෙවෙයි. කිසිම වැදගත්කමක් නැති කිසිම මනුස්සකමක් නැති දූෂිත මානසික ලෙඩ්ඩු. මානසික හිඟන්නෝ .
ඒ වගේ දූෂිත මානසික හිඟන්නෝ නිසා අද බොහෝ දෙනෙක් සල්ලි අතින් දුප්පත් වෙලා තියෙනවා . ඒ උනාට මනුස්සකම් අතින් නම් සමහරු ඉන්නේ ඉතාම උසස්ම තැනක.
ඒ අය තමයි අනිත් අය එක්ක දුක සැප බෙදා ගන්නේ. හැකි පමණින් අනිත් අයට මිල මුදලින් හෝ වෙනත් යම් යම් දේ වලින් උදව් කරන්නේ.
දරුවෝ ඉස්කෝල යවන්න ,බේතක් හේතක් ගන්න තියා බත් කටක් කන්න බැරි තරමට මුදල් අතින් අසරණ වුණු බොහෝ දෙනෙකුට, තියෙන හැටියට උදව් කරල ඒ අයට ජීවිතය ඇදගෙන යන්න උදව් කරන්නේ ඒ වගේ මනුස්සකම් තියෙන හදවතින් පොහොසත්ම මිනිස්සු.
සමහර මිනිස්සු පල්ලි පන්සල් වැන්දට , සුදු ඇන්දාට , ප්‍රසිද්ධියේ පින්දහම් කෙරුවට හිත යටින් මහා බොරුකාර ආත්මාර්ථකාමී මිනිස්සු. අන්න ඒ අය තමා ඇත්තටම දුප්පත් මිනිස්සු.
ඇත්තටම ඔවුන් මානසික හිඟන්නෝ. සල්ලි තියෙන හිඟන්නෝ.
එක දුප්පත් පුද්ගලයෙක් දවසක් පල්ලියක නිහඬව යාච්ඤා කරමින් ඉන්නැද්දි, තවත් ධනවත් වෙළෙන්දෙකුත් පල්ලියේ ඒ අසලින් යාච්ඤා කරමින් හිටියලු.
දුප්පත් පුද්ගලයා ඉතා භක්තියෙන් ,අවංකව ඉතා ඕනෑකමින් යාච්ඤා කරනවා දැකලා,ධනවත් වෙළෙන්දා ඔහු ළඟට ගිහිල්ලා ඒ මිනිසාට රන් මල්ලක් පිරිනැමුවා ලු.
“මට පේනවා ඔයාට මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙන බව. මට හිතුණා ඔයාට උදව් කරන්න ඕනා කියලා.. ඒ නිසා කරුණාකරලා මේ රත්තරන් අරන් ඔයාගේ ප්‍රශ්න විසඳගන්න බලන්න..”
“ඔබේ කරුණාවන්ත කම ගැන ඔබට ඔහොම ස්තුතියි. නමුත් ඔබේ මුදල් ගැනීම හරි නැහැ කියලයි මට හිතෙන්නේ… . ඔබ ධනවත් කෙනෙක්ද ? ඔයාට ගෙදර තව සල්ලි තියෙනවද?”
“අනේ ඔව්. මට ගොඩක් සල්ලි තියෙනවා .මේ සල්ලි ගන්න” වෙළෙන්දා ආඩම්බරයෙන් කිව්වලු .
“ඔබ යාච්ඤා කරද්දි ඔබට මුදල් ලබා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවද?” ඒ පුද්ගලයා ධනවත් වෙළෙන්දාගෙන් ඇහුවලු.
” ඇත්ත වශයෙන්ම ඔව්….. සෑම දිනකම මම වැඩි වැඩියෙන් මුදල් උපයා ගැනීමට යාච්ඤා කරනව.
අර දුප්පත් මිනිසා රන් මල්ල නැවතත් වැවෙළෙන්දාට දුන්නලු.
” මට කණගාටුයි, නමුත් මට ඔබේ රත්තරන් ගන්න බැහැ”
” ඇයි ඒ? ”
” ධනවත් මිනිසෙකුට හිඟන්නෙකුගෙන් මුදල් ලබා ගන්න බැහැනේ. ඒකයි” .
“මට තේරෙන්නෑ.. ඇයි ඔබ එහෙම කියන්නේ ඇයි? මම ඉතා ධනවත් කෙනෙක්. ඇයි මට හිඟන්නෙක් කියන්නේ?
වෙළෙන්දා ඇහුවලු.
එතකොට අර දුප්පත් මිනිහා මේ විදියට පිළිතුරු දුන්නාලු.
” මට ලොකු ධනවත් කමක් නෑ… සල්ලි ගොඩක් නෑ… ඒ උනාට මට සතුටින් ජීවිතය ගත කරන්න ඕනෑදේවල් හැම දෙයක්ම දෙවියො දීලා තියෙනවා …මම ඒකට දෙවියන්ට ස්තූති කරනවා. මගේ හිත හරි සැහැල්ලුයි..
ඒත් මට පේන්නේ ඔබ ඉතා අතෘප්තිකර බවකින් ඉන්නවා කියලයි. ඔබ තව තව දේවල් වැඩි වැඩියෙන් දෙවියන්ගෙන් ඉල්ලන්නේ ඔබට අවශ්‍ය දේවල් නැති නිසා… ඒ කියන්නේ ඔබ හිඟන්නෙක් නිසා…
ඒ අතින් බලද්දි ඔබ හරි දුප්පතෙක් … මම හරි ධනවතෙක්… ඉතින් ධනවතෙකුට බැහැනේ හිඟන්නෙකුගේ රත්තරන් ගන්න… ඒක නිසා ඔබ මේ සියල්ල අරගෙන යන්න..”
මොකක්ද මේ පුංචි කතාවෙන් ඔබට ගන්න පුළුවන් පණිවිඩය? මේකෙන් කියන්නෙ දෙවියන්ගෙන් ඉල්ලන්න එපා ,සල්ලි වලින් ඇති වැඩක් නෑ… වගේ අදහස් නෙමෙයි.
මේ පුංචි කතාවෙන් දෙන්න හදන්නේ ජීවිතයේ තෘප්තිමත් බව හෝ අතෘප්තිකර බව , රඳා පවතින්නේ මුදල් මත නොවේ කියන සරල ඒත් ඉතා බලගතු පණිවිඩයයි. ඒ වගේම කෙනෙකුගෙ දුප්පත්කම හෝ පොහොසත්කම මනින්නෙ සල්ලි වලින් නෙමෙයි කියන පණිවිඩයයි.
ඇත්තටම මොනවද සල්ලි කියන්නේ? අපි එදිනෙදා අවශ්‍යතාවන් සපුරා ගන්න භාවිතා කරන මාධ්‍යයක් විතරයි නේද? අපිට අවශ්‍ය ආහාර පාන ඇතුළු ජීවත්වීමට අවශ්‍ය හැම දෙයක්ම කොහෙන් හරි ලැබෙනවා නම් මොකටද සල්ලි?
ඉස්සර කාලේ මිනිස්සු සල්ලි පාවිච්චි කෙරුවෙ නෑ. එක් එක්කෙනාට තිබුණු එක එක දේවල් හුවමාරු කරගෙන තමයි ජීවත් වුණේ.මේකට කිව්වෙ barter system කියලා. අද අපිට එහෙම කරන්න බැහැ. සල්ලි ඕන ජීවත් වෙන්න.
අද ලංකාවට වෙලා තියන ඛේදවාචකය අපි කාටවත් රහසක් නෙවෙයි. සල්ලි යහමින් අතේ ගැවසුණු බොහෝ දෙනෙකුට අද සල්ලි නැහැ. බොහෝ විට ඒ ඒ අයගේ වරදින් නෙවෙයි. අර කොච්චර සල්ලි තිබුනත් තෘප්තිමත් වෙන්නේ නැති මිනිස් වෙස් ගත් මළ පෙරේතයෝ නිසා තමයි බොහෝවිට එහෙම වෙලා තියෙන්නේ.
මොහොතකට නැවතිලා ඔබේම හිතෙන් ප්‍රශ්න කරන්න. ඔබ පොහොසතෙක් ද දුප්පතෙක් ද?
ඔබ අවංක පුද්ගලයෙක් නම් , හොඳ මවක් නම් හොඳ පියෙක් නම්, හොඳ ගුරුවරයෙක් නම්, අනුන්ගේ දුක් වේදනාව තේරුම් ගන්න පුලුවන්නම්, එවැනි අයට උදව් පදව් කරන්න හිතක් තියෙන කෙනෙක් නම්, අනුන්ගේ දේ කඩා වඩා ගන්න කිසිම විදිහකින් හිතන්නේ නැති කෙනෙක් නම්, අවස්ථාවාදී කෙනෙක් නෙමේ නම්, මුදලට ගිජු කෙනෙක් නෙමේ නම්, ඔබේ දෙමව්පියන්ට ආදරයෙන් සලකනවා නම්,… ඔබ සැබැවින්ම පොහොසතෙක්! ලොකු රැකියාවක් නොකළත් ලොකු මුදලක් උපයන්නේ නැති උනත් අතේ සතේ නැති වුණත් ඔබ දුප්පතෙක් නෙමෙයි ඉතාමත්ම උසස් ධනවත් පුද්ගලයෙක්!
ඔබත් උතුම් මනුෂ්‍යයෙක් විදියට එහෙම ජීවත් වෙනවා නම් අතමිට හිඟ වුනත් ඔබ පොහොසත් කෙනෙක්. සල්ලි තියෙන නරුම හිඟන්නන්ට වඩා සල්ලි නැතත් මනුස්සකම් කියන පොහොසත් මිනිස්සු තමයි අද මේ රටට විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ.. ධනවත් බව හෝ දුප්පත් බව හෝ තීරණය වන්නේ තමන් සතු ධනය හෝ මුදල් මත නෙවෙයි. සැබෑ මිනිස්කම මතයි.
අද බොහෝ දෙනෙකුට සල්ලි අමාරුයි.. පුලු පුලුවන් විදිහට අපි අනිත් අයගේ දුක බෙදාගන්න බලමු .කඳුළු මකන්න උත්සාහ කරමු . තියන හැටියට බෙදා ගන්න උත්සාහ කරමු. එතකොට අපිට පුද්ගලයෝ වශයෙන් විතරක් නෙමෙයි ජාතියක් වශයෙනුත් අපි පොහොසත් කියලා සතුටු වෙන්න හැකිවේවි.
මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු