කඩදාසි හිඟය නිසා ගැසට් පත්‍රයේ සිට බත් ඔතන කොළය තෙක් අපට අහිමි වේද?

ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ලංකා ඉතිහාසයේ පැරණිතම ප්‍රකාශනය වන රජයේ ගැසට් පත්‍රය පවා ප්‍රකාශයට පත් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවෙමින් තිබේ. ඒ මුද්‍රණ කඩදාසි හිඟය හේතුවෙනි. ඩොලර් අර්බුදයේ තවත් හේතුවක් ලෙස මුද්‍රණ කඩදාසි හිඟය කරලියට පැමිණ තිබේ.

පුවත් පතේ සිට පාසල් පෙළ පොත දක්වා මුද්‍රණය කිරීම ඇන හිටිමේ තත්ත්වයක් උදාවී තිබේ. දැනට රට තුළ පවතින්නේ මාස කිහිපයකට පමණක් වූ මුද්‍රණ කඩදාසි තොග පමණකැයි කඩදාසි සංස්ථාවේ සභාපති විමල් රූපසිංහ කීවේය.

මෙරට ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් මාසකට කඩදාසි ටොන් 120,000 ක් පමණ අවශ්‍ය වන බව ඔහු කියා සිටියි. නමුත්, මෙරටට කඩදාසි ආනයනය කිරීම මාස කිහිපයක සිට ක්‍රමිකව පහත බැස්සේය. මෙරටට ආනයනය කොට ගබඩාවල තිබූ කාර්යාලීය සහ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය කඩදාසි, මුද්‍රණ කඩදාසි සහ පුවත්පත් මුද්‍රණ කඩදාසි තොග ශීඝ්‍ර ලෙස අවසන් වෙමින් තිබේ.

ජාත්‍යන්තර වෙළෙද පොලේ කඩදාසි හිඟයක් පැවතීමත් ඩොලර් අර්බුදයත් හේතුවෙන් කඩාදසි ආනයනය නතර වී ඇත. ලංකාවේ මුද්‍රණ කර්මාන්තයට අවශ්‍ය සියලූම අමු ද්‍රව්‍ය මෙරටට ආනයනය කළ යුතු ය. මුද්‍රණ කඩදාසි, මුද්‍රණ තහඩු මෙන්ම තීන්ත ද ආනයනය කළ යුතු ය. මෙරට කඩදාසි කර්මාන්ත ශාලා දෙකක් ඇතත් ඒ දෙකම මේ වන විට පවතින්නේ අක්‍රීය තත්ත්වයේ ය.

වාලච්චේන හා ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලා දෙක නැවත පණ ගන්වන බව රජය දැනට වසර දෙකක සිටි කියමින් සිටියත් එය තවමත් පණ ගැන්වී නැත. එම කර්මාන්ත ශාලා දෙක යළිත් පණ ගැන්වුවද එයින් සම්පූර්ණ කළ හැක්කේ මෙරට කඩදාසි අවශ්‍යතාවයෙන් සියයට 30 ක පමණ ප්‍රමාණයකි. ඉතිරි සියයට 70 වෙනුවෙන් කඩදාසි ආනයනය කළ යුතුම ය.

නමුත් ඩොලර් අර්බුදය හේතුවෙන් ලබන අප්‍රේල් මාසය වන විට පුවත්පත් ඇතුළු මුද්‍රණ කර්මාන්තය ඇන හිටිනු ඇත. එසේම ලබන වසරේ දී පාසල් දරුවන්ට අවශ්‍ය පෙළ පොත් පවා නිෂ්පාදනය කිරීමට නොහැකි වනු ඇත. කුඩා පරිමාණයෙන් මුද්‍රණ කටයුතු කරගෙන ගිය මුද්‍රණාල 100 ක් පමණ මේ වන විට වැසී ගොස් ඇතැයි මුද්‍රණ කර්මාන්ත කරුවෝ පවසති.

ලිපි කවර මුද්‍රණය, අරාධනා පත්‍ර මුද්‍රණය, පෝස්ටර් මුද්‍රණය ආදී මුද්‍රණ කටයුතු කළ මුද්‍රණාල එසේ වැසී ගොස් ඇත්තේ කඩදාසි, තහඩු හා තීන්ත නොමැතිවීම හා තිබෙන අමු ද්‍රව්‍ය ද අධික මිලකට අලෙවි වන්නට පටන් ගැනීමත් සමඟ ය

ඩොලර් හිගය හේතුවෙන් කඩදාසි මිල 150% කින් ඉහළට යාම පොත් මුද්‍රණය අවදානමකට ලක්ව ඇතැයි පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සමන්ත ඉන්දීවර කියා සිටියි. පොත් මුද්‍රණයේදි 30% ත් 32% ත් අතර මුදලක් වැය වන්නේ කඩදාසි වෙනුවෙන් බවත් එම නිසා පොත් මුද්‍රණය කිරීමේ මිල ද මුද්‍රණාල ඉහළ දමා තිබෙන බවත් ඔහු පවසයි.

පෙබරවාරි මාසයෙන් පසුව වෙළෙද පොල තුළ කඩදාසි හිගය ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි මුද්‍රණකරුවෝ පවසති. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පුවත්පත් කර්තෘවරුන්ගේ සංසදයේ සභාපති, ලංකාදීප කර්තෘ සිරි රණසිංහ කියා සිටියේ මේ ගැන සියලූම කර්තෘවරුන්ගේ අත්සනින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් වෙත කරුණු 12 කින් යුතු ලිපියක් යොමු කළ බවයි.

ඉක්මණින් කඩදාසි ඇතුළු මුද්‍රණ ක්ෂේත්‍රයට අදාළ අමු ද්‍රව්‍ය ගෙන්වීමට අවශ්‍ය ඩොලර් කඩිනමින් මුදා හරින ලෙස ඉල්ලා සිටි බව ද ඔහු කීවේය. එසේ නොවීම ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට වන බලපෑමක් බවද ඔහු කියා සිටියි.වර්තමානයේ එළඹ තිබෙන තත්වය මත ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සීමා වන තරමට හොඳයැයි සිතන පිරිස් ද හිඳින බව අප අමතක කළ යුතු නැත.

, දැනගන්නට ඇති පරිදි තවමත් මුද්‍රණ කඩදාසි ආනයනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ඩොලර් සංචිත නිදහස් කර නැත. පුවත් පත් මුද්‍රණ කඩදාසි අප්‍රේල් මාසය වන විට අවසන් වීමට නියමිත ය. රජයේ මුද්‍රණාලයට පවා ඔවුනට අවශ්‍ය කඩදාසි ගෙන්වා ගැනීමට නොහැකි වී තිබේ.

ඒ අනුව රජයේ ගැසට් පත්‍රය, චක්‍ර ලේඛ, පාර්ලිමේන්තු ලේඛන, අමාත්‍යාංශ ලේඛන, විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය ආදී සියළු මුද්‍රණ කටයුතු නවතා දැමීමට සිදුවනු නොඅනුමාන ය. රජයේ මුද්‍රණාලයෙන් මුද්‍රණය කර ගත නොහැකි ලිපි ලේඛන හා පොත් පත් මුද්‍රණය කිරීමට පෞද්ගලික මුද්‍රණාලවලට ලබා දෙන්නේය.

ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව පෞද්ගලික අංශයට දුන් පොත් මුද්‍රණ කටයුතු ද නියමිත දිනට ලබාදිය නොහැකි බවට මුද්‍රණාල හිමියන් දැනුම් දී ඇතැයි ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කීවේය.

එම අර්බුදය තවම සාමාන්‍ය ජනතාවට නොදැනුණත් ලබන අප්‍රේල් වන විට මුද්‍රණ අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් පුවත් පත්.දරුවන්ගේ පාසල් පොත්,අභ්‍යස පොත්,නව කතා,කෙටි කතා කවි පොත් සේම විවිධ විෂයන්ට අයත් විද්‍යා,ශාස්ත්‍රීය පොත පතේ සිට “බත් ඔතන කොළ” පවා අපට අහිමි වනු ඇත.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර