කතරගම දෙවියන් දෙමළ ජාතිකයන්ට වඩා සිංහල ජාතිකයන්ට පක්ෂපාත වන බවට ජන විශ්වාසයක් සිංහල ජාතිකයන් තුළ තිබේ. ‘දුෂ්ඨයන් නසා ශිෂ්ටයන්ට ඉෂ්ටාර්ථ සංසිද්ධිය සළසන විජාතිකයනට දසවද දිදී සිංහල ජාතිකයන් දිවිමෙන් ආරක්ෂා කරන ….” ආදී වශයෙන් සිංහලයන් විසින් අදත් භාවිතා කරනු ලබන පුරාණ කතරගම දේව කන්නලව්වෙන්ද කියැවෙන්නේ මේ දෙවිඳුන් දෙමළ ජාතිකයන්ට එරෙහි බවය. එසේම දෙමළ ජාතිකයන් දුටු දුටු තැන දඬුවම් පමුණුවන කතරගම දෙවියන් ඔවුන් තම දේවාල භූමිය තුළ කටුවලින් එල්ලා තබන බවත් සිරුර පසාරු කරගෙන යනසේ උල් ගසන බවත් දේවාලය වටා බිම පෙරලවන බවත් සිංහලයන් අතරේ ප්‍රසිද්ධ ය. ඇත්තෙන්ම හින්දුන්ගේ ‘පරවාකාවඩි’ නම් පූජා ක්‍රමවලින් ඔවුන් මෙසේ දුකට පත්වන බව රහසක් නොවේ. එසේ සිරුරට අධික දුක්දීම මතින් ඔව්හු තම අසීමාන්තික දේවභක්තිය පිළිබිඹු කරත්,සිංහල බෞද්ධයන් සහ හින්දුන් වෙතින් දෙයාකාර බැතියකින් පිදුම් ලබන මෙම කතරගම දෙවිඳුන් තම තමන්ට අයත් කර ගැනීම සඳහා අතීතයේ යම් යම් අවස්ථාවල සිංහල දෙමළ දෙපිරිස අතර ‘සීතල යුද්ධ’ පැවතිණ.
සීතාවක රාජසිංහ රජ (ක්‍රි.ව. 1581-1593) සමයේ බුද්ධාගම යටපත් කොට හින්දු ආගම ඉස්මතු කිරීමට දැරූ උත්සාහයේදී ඉන්දියාවෙන් සම්ප්‍රේෂණය වූ ස්කන්ධ කුමාර ඇදහීම මතින් කතරගම දෙවියන්ගේ බෞද්ධ පක්ෂය යටපත්ව හින්දු පක්ෂය වඩාත් ඉස්මතු වන්නට ඇත.ක්‍රි.ව. 1680-1685 යන වසරවල ශ්‍රී ලංකාවේ සංචාරය කළ ජඕ රොබෙයිරෝ නම් පෘතුගීසි ජාතිකයාගේ සහ ක්‍රි.ව. 1660-1679 ශ්‍රී ලංකාවේ විසූ රොබට් නොක්ස් නම් සුප්‍රකට ඉංග්‍රීසි ජාතිකයාගේ වාර්තාවල එවකට කතරගම පැවැති ශ්‍රී විභූතිය පිළිබඳව මැනවින් සඳහන් වේ. එසේම පළමුවෙනි රාජසිංහ සහ දෙවන රාජසිංහ වැනි රණශූර රජවරුන්,විදේශික ආක්රමණවලින් මේ රට බේරා ගැනීම සඳහා රණශූර කතරගම දෙවිඳුන්ගේ පිහිට ලබාගත් බව සාහිත්‍යමය මූලාශ්‍රයන්හි දැක්වේ. ජනප්‍රවාද වලට අනුව කතරගම දෙවියන් එම ජන නායකයන් හමුවේ පෙනී සිටි සහ ඔවුන්හට යුද්ධෝපදේශ දුන් අවස්ථාද වේ.
එහෙත්, ක්‍රි.ව. 1815 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යෙය් යටත් විජිතයක් වීමත් සමගම සිංහල රජවරුන්ගේ බලය මෙන්ම මෙම රණශූර කතරගම දෙවිඳුන්ගේ බලය ද පහත වැටෙන්නට පටන් ගෙන තිබේ. ක්‍රි.ව. 1819 ජෝන් ඩේවි නම් බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයා කතරගම පිළිබඳව කරන මෙම විස්තරය ඊට කදිම නිදසුනකි.”මෙහි කතරගම දේවාලයේ ගොඩනැගිලි දිනෙන් දිනම ගරා වැටෙමින් පවතී. වන්දනා පිරිස් ද ශීඝ්‍රයෙන් අඩුවේ. පවතින තත්ත්වය අනුව මේ ගොඩනැගිලි තව නොබෝ කලකින් මහපොළොවට සමතලාවී අනාගතයේ මෙහි පැමිණෙන්නවුන්හට මෙවැනි ස්ථානයක් තිබූ බවත් සොයාගැනීම අපහසු වනු ඇත.’
ජෝන් ඩේව් පැවසූ පරිද්දෙන්ම ඉන්පසු කතරගම ප්‍රදේශය මුළුමනින්ම මිනිස් වාසයෙන් මිදී ගත් වල් අලින්, දිවියන් ආදී වන මෘගයන් බහුල ඝන වනයෙන් වැසී යන්නට විය. පසුව කුඩා ප්‍රාදේශීය පූජනීය ස්ථානයක් ලෙස යළි හිස ඔසවන්නට පටන් ගත් කතරගම දෙවොලට ක්‍රි.ව. 1871 වසර තුළදී වන්දනාකරුවන් තුන් දහසක් පමණ පැමිණ ඇති බව වාර්තා වේ. එසේම 1873 දී එය හත් දහසක් දක්වා වැඩි වී ඇත. ඉන්පසු නැවතත් ඊළඟ වසර, එනම් 1874 වන විට එම පිරිස එක්දාස් දෙසීය දක්වා අඩු වී තිබේ.
එවකට පළාත්භාර සහකාර ආණ්ඩුවේ ඒජන්තවරුන් රජයට වාර්තා කළ පරිදි හරියටම මීට වසර එකසිය විස්සකට පෙර එනම් 1877 දී කතරගමට වන්දනාව සඳහා පැමිණි මුළු වන්දනාකරුවන් ගණන හතලිස් හතර දෙනෙකු පමණි.ඊට පසුවද එම ප්‍රදේශය පුරා පැතිර ගිය මැලේරියාව, පාචනය, කොලරාව වැනි භයානක වසංගත රෝග නිසා ක්‍රි.ව. 1878 වන විට කතරගම පුදබිම යළි වනයෙන් වැසී ගියේය. එවකට සිටි සහකාර ආණ්ඩුකාර ඒජන්ත ඒ පිළිබඳව රජයට ආදායම් වාර්තා ඉදිරිපත් කර ඇත්තේ ‘මෙය අභාවයට ගිය පූජනීය ස්ථානයකි. කිසිදු ආදායමක් නොමැත’ යනුවෙනි. 3 වෙනි ශත වර්ෂයේ දී රුහුණේ රජකම් කල මහානාග රජතුමා විසින් ඉදිකරන ලදැයි සැළකෙන තිස්සමහාරාම වැව. 1871 දී ඉංග්‍රීසීන් ප්‍රතිසංස්කරණය කිරීමත් සමඟ තිස්සමහාරාමය වෙළඳ නගරයක් ලෙස සංවර්ධය විය.ඒ අනුව එහි සාධනීය බලපෑම කතරගම පුදබිම කෙරෙහිද යොමු වූ බව පෙනෙයි.
මේ අතර ‘බැද්දේගම’ නවකථාව ලිවීමෙන් අතිමහත් කීර්තියට පත් ලෙනාඩ් වුල්ෆ් හම්බන්තොට සහකාර ආණ්ඩුවේ ඒජන්ත වශයෙන් සිටි කාලයේදී (1910 දී) මෙහි පැමිණි වන්දනා පිරිස වාර්ෂික තුන් දහසක් හාරදහසක් අතර වූ බව ඔහු රජයට ඉදිරිපත් කළ වාර්තාවල සඳහන් වේ. 1930 වසර වන විට වසරකට දහ දාහක් පහළොස් දාහක් අතර වූ වන්දනා පිරිසක් මෙහි පැමිණි අතර මෙය ක්‍රම ක්‍රමයෙන් වැඩි වී 1973 වන විට වසරකට කතරගම පැමිණෙන බැතිමතුන් ගණන ලක්ෂ අටක් දක්වා විය.
කතරගම දෙවියන්ගේ හින්දු සම්භවය නිසා මෙම පූජනීය ස්ථානයේ භාරකාරත්වයට හින්දුන් වරින් වර ඉව අල්ලා ඇති බව ප්‍රකට කරුණකි. එසේම කතරගම දෙවියන් වැඩසිටි ස්ථානය වශයෙන් සැලකෙන වැඩිහිටි කන්ද හැටේ දශකයේ මුල් භාගය තෙක් හින්දු ග්‍රහණයේ තිබී ඇත.
දෙවෙනි රාජසිංහ රජුගේ කාලයේ වත්මන් හම්බන්තොට ප්‍රදේශයේ නිපදවන ලුණු උතුරු නැගෙනහිරට ගෙන යන මාර්ගය කතරගම හරහා වැටී තිබූ බවත්, එහි කන්දක් උඩ වැඩ සිටි දෙවිකෙනෙකුට මේ සියලු දෙනාම පූජෝපහාර පවත්වා තිබූ බවත් රොබට් නොක්ස් වාර්තා කර ඇත. මෙසේ ලුණු ප්‍රවාහනයේ වැඩිපුරම යෙදී සිටියේ දෙමළ ජාතිකයෝ ය.තම සම්භවයට අයත් මෙම කතරගම දෙවියන් සිංහලයන්ගෙන් උදුරාගෙන මෙම ස්ථානයේ භාරකාරත්වය තමන් අතට ගැනීමට හින්දුන් වරින්වර ගෙන ගිය අරගලය උපක්රමශීලීව පිටු දකින්නට රුහුණේ සිංහලයන් සමත්ව තිබිණ. ඒ සඳහා ඔවුහු, එලාර රජු ඇතුළු දෙමළ ජාතිකයන් විනාශ කොට සිංහලය එක්සේසත් කරන්නට දුටු ගැමුණු රජුට
සෙල්ලකතරගම මැණික් නදිය අද්දරදී කතරගම දෙවියන් වරම දුන් බවත්, ඒ සඳහා කතරගම දෙවිඳුන් විසින් දුටුගැමුණු රජතුමන්ට රන් කඩුවක් ප්රදානය කළ බවත් ප්‍රසිද්ධ කළහ. මහා වංශයේ පවා ඇතුළත් නොවන මෙම ප්‍රවෘත්තිය රුහුණේ සිංහලයන්ගේ මුවින් මුව පැවතෙන ලදුව පසුව කන්ද උපත හෙවත් කතරගම පුවත ජන කාව්‍යයේ සඳහන් විය.
මෙම කාව්‍ය ක්‍රි.ව. 15-16 සියවස්වලට අයත් වූවක් බව ශ්‍රීලංකාවේ ඇදහිලි සහ ජනවිශ්වාස පිළිබඳ ගැඹුරු විමසුමක යෙදුණු විද්වතෙකු වන හියූ නෙවිල් දක්වා ඇත.පසුකාලීනව ප්‍රචලිත වූ මෙම කතා පුවතට අනුව කතරගම දෙවියන් සිංහල ජාතිය කෙරෙහි විශේෂ ඇල්මකින් කටයුතු කරන දෙමළ විරෝධී දෙවි කෙනෙකු බව පතල විණි.
ඒ අතරම මෙම දෙවියන් අතීතයේ දිනෙක හම්බන්තොටින් ලුණු ගෙන යාමට පැමිණි දෙමළ ජාතිකයන් කිහිප දෙනෙකු වෙතින් උපකාර ඉල්ලා ඔවුන්ගෙන් එය නොලද තැන, ඒ උපකාරය සිංහලයන් වෙතින් ලබා ගත් බවත් එබැවින් මින් මතු කිසි දිනයෙක දේවාලයේ භාරකාරත්වය දෙමළ ජාතිකයන්ට නොදෙන බවට තර්ජනය කළ බවක් දැක්වෙන පුවතක් ද එකල රට පුරාම ප්‍රසිද්ධව පැවතිණ. එම කතා ප්‍රවෘත්තිය ලෙනාඩ් වුල්ෆ්ගේ ‘බැද්දේගම’කෘතියෙහි පවා සඳහන්ව ඇත.ඒ අනුව අද කතරගම දේවාලයේ කපුකම් කරන්නේ ජාතික ඇඳුම් ඇඳ ගත් සිංහල ගොවි කුලයට අයත් කපු මහතුන් පිරිසකි.එහෙත් තත්වය මෙසේ තිබියදී මහනුවර ඓතිහාසික සතර මහා දේවාලවලට අයත් කතරගම දේවාලයේ පවා භාරකාරත්වය අදත් හින්දු පූජකවරුන් අත පැවතීම නිසා කතරගම දෙවියන් දෙමළ ජාතිකයන්ට එරෙහි වීමේ කතාව ගැන දෙවරක් සිතා බැලීමට අපට සිදුවේ.
තිලක් සේනාසිංහ