කතරගම දේවාලයේ මහ කපු “සීයා” සහ චූටි කපු “මුනුපුරා” අත් අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස්

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු රාල වන සොමිපාල රත්නායක මහතා සහ දේවාලයේ ගබඩාව භාර කපු රාල සහ සොමිපාල රත්නායක මහතාගේ මුනුපුරා වන සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපති වරයා උපදෙස් ලබා දී ඇත.ඒ, පාතාල නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් දරුවාගේ ග්‍රහ අපල වෙනුවෙන් රුහුණු කතරගම මහා දේවාලයට පූජා කළ රත්‍රන් පවුම් 38ක් බරැති රත්‍රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි. මෙම රන්තැටිය අතුරුදන් වීම සම්බන්ධව රුහුණු කතරගම දේවායේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා විසින් 2021 ඔක්තෝබර් මාසයේදී පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකින් පසුව විමර්ශන සඳහා එවක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබුණි.ඒ අනුව එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා මහතා ගේ උපදෙස් මත ඒකක අංක 1 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී .ජේ. නිශාන්ත මහතා යටතේ විමර්ශන සිදු කරන ලදී.එහි දී කරන ලද විමර්ශනවලදී අංගොඩ ලොක්කා හෙවත් මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරාගේ බිරිඳ වන අබේසිංහගේ නිසංසලා මහත්මිය ප්‍රකාශ මගින් ලබාදී ඇත්තේ තම පුතාගේ ග්‍රහ අපල දුරුවන්නට පුතුගේ නම කෙටූ රත්‍රන් තැටියක් කතරගම දේවාලයට පූජා කළ බව ය.දරුවාගේ වයසට සරිලන පවුම් පහක් පූජා කිරීමට ගියද පසුව දේවාලයේ කපු මහතුන්ගේ උපදෙස් මත අංගොඩ ලොක්කාගේ වයසට සරිලන්නට පවුම් තිස් අටක් බරැති රත්රන් යොදා තැටිය සාදා ඇති බවද හෙළි වී ඇත. කතරගම හෝටලයක අරක්කැමියකු බව පැවසෙන සුජිත් ප්‍රසන්න නමැත්තාට අංගොඩ ලොක්කා ඉමෝ තාක්ෂණයෙන් කතා කර රත්‍රන් තැටිය සාදා දීමට කටයුතු සලසා දෙන්නැයි කී බවත් ඒ අනුව කඩුවෙලට ගිය පසු අංගොඩ ලොක්කාගේ ගෝලයන් ගෙනවිත් දුන් රත්‍රං බිස්කට් කතරගම රන් බඩු සාදන අයෙකුගෙන් උණුකර තැටිය සකස් කර දුන් බවත් හෙළි වී ඇත.පසුව 2019 ජුලි 03 වනදා කතරගම දේවාලයට අංගොඩ ලොක්කාගේ බිරිඳ දරුවා රැගෙන ගොස් පූජා කළ බවත් එහි පූජාව කළේ ප්‍රධාන කපු රාල වන සොමිපාල ටී. රත්නායක මහතා බවත් හෙළි වී තිබේ.කතරගම මහා දේවාලයේ කපු රාලලා 15 දෙනෙකු සේවය කරන බවත්, සෑම මාසයකම මාසය භාර කපු රාල ලෙස නම්කරන අය එම මාසයේ පූජා කරන මුදල් හා සෙසු පූජා භාණ්ඩ ලබාගෙන ඇති බවත් හෙළිවී ඇත.එහෙත් බැතිමතුන් පූජා කරන වටිනා භාණ්ඩ දේවාල මාලිගාවේ ගබඩා කර තැබිය යුතු අතර එයට ඇතුළු වීමට අවසර ඇත්තේ කපු රාලලා පහලොස් දෙනාට සහ බස්නායක නිලමේ වරයාට පමණි.අංගොඩ ලොක්කාගේ බිරිඳ පැමිණ රන් තැටිය පූජා කරන මාසයේ තේවාව භාරව සිට ඇත්තේ ප්‍රධාන කපු රාල බවත්, ගබඩාව භාර කපු රාල වන සමන් ප්‍රියන්ත මහතා විසින් එය පූජා කර සති දෙකකට පසු සොමිපාල රත්නායක ප්‍රධාන කපු මහතාගේ කාමරයට එම රන් තැටිය ගෙන ගොස් තැබූ බවත් ප්‍රකාශ ලබාදීමේදී හෙළිකර ඇත.මෙය අතුරුදන් බව බස්නායක නිලමේවරයාට ලද නිර්ණාමික ඇමතුමකින් පසු කරන ලද පැමිණිල්ලෙන් පසුව කපු රාලලා ගෙන්වා තොරතුරු විමසා ඇත.මෙම රත්‍රං තැටිය පූජා කර දවස් තුනක් එය දේවාලයේ තැබූ පසු අංගොඩ ලොක්කාගේ බිරිඳ එය නැවත රැගෙන ගිය බවට බස්නායක නිලමේට බොරුවක් කියන ලෙසට ප්‍රධාන කපු රාල තමාට දැන් වූ බව මෙය පූජා කිරීමට මැදිහත් වූ අරක්කැමියා විමර්ශනවලදී පවසා ඇත.මෙම සිද්ධියෙන් කතරගම දේවාලයේ කපු රාලලාට අපකීර්තියක් වන නිසා රත්‍රං බන්දේසියක් නැවත සාදා දේවාලයේ තැන්පත් කිරීමට කටයුතු කළ බව ප්‍රධාන කපුරාල හා ගබඩාව භාර කපුරාලගේ ප්‍රකාශවලින් හෙළිවී තිබේ. ඒ අනුව පූජා කරන ලද රන්තැටිය බවක් හඟවා 2021 ඔක්තෝබර් 26 දින නැවත දේවාලයට රන් තැටියක් භාරදී ඇති බවත් හෙළිවී ඇත.සොමිපාල කපු රාල හෙවත් සිය මුත්තා බේරාගැනීමට කලින් රන්තැටිය නිර්මාණය කළ කතරගම මාලන් නමැති අයට රුපියල් ලක්ෂ 41ක් දී නැවත රත්‍රං තැටියක් සාදාගත් බවත් එය මුලින් සාදා රැගෙන ගොස් මුත්තාගේ උපදෙස් මත දේවාලයට නැවත තැටිය ගෙනවිත් දුන් බවත් සමන් ප්‍රියන්ත හෙවත් චූටි කපු රාල විමර්ශනවලදී හෙළිකර තිබේ. අතුරුදන් කළ තැටියේ අනුරුව නිර්මාණය කර නැවත දේවාලයේ තැන්පත් කර ඇත්තේ පොලිස් විමර්ශන යන අතරතුරේදීය.මේ සම්බන්ධ කොළඹ අපරාධ කොට්ඨාසය තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය බී 73047/2021 යටතේ නඩු පවරා නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇත.ඒ අනුව නීතිපති උපදෙස් ඊයේ (07) වන විට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලැබී තිබිණි.

 

 

 

 

 

 

 

 

 

 

 

කාලීන පුවත්