වත්මන් සමාජයේ කාන්තාවකට වුව ද පිරිමියකුට මෙන් දවසේ ඕනෑම වේලාවක මහ මඟට බැසීමේ අපහසුවක් පවතී.ඒ සඳහා බහු විධ සාධක තිබිය හැක.එහෙත්, එම කතුන් ගේ ස්ත්රීත්වයේ නාමයෙන් පුරුෂ පක්ෂයෙන් අත්විඳීමට සිදුවන අතවර වලට ඒ අතුරින් මුල් තැනක් හිමි වනු ඇත.එහෙත්, අතීත ගම්බඳ කාන්තාවන් එසේ එළි පහළියට නොයා යුතු ජාමය සහ ජාම වේලාවල් පිළිබඳ ජන සම්මතයක් ද තිබිණ.ඒ ජාම වේලාවන් තුළ අමනුෂ්‍යයන් සැරිසරන බවට පැවැති ජන විශ්වාසය නිසා ය. එදිනෙදා ව්‍යවහාරයේ දී මෙම ජාම යන වදන කොතෙකුත් යෙදුණ ද මෙම වදනෙහි මූල රූපය ගුප්ත ශාස්ත්‍රය හා බැඳී පවතින බව ජනවහරට අනුව පෙනෙයි. එබැවින් මෙම ජාමය හෙවත් ජාම වේලාව යනු කුමක් දැයි විමසීමට ලක් කිරීම යෝග්‍ය වේ.
මෙම ජාමය යන ගැමි වහර සැකසී ඇත්තේ යම් කාල සීමාවක් පිළිබඳ අදහසක් සහිත ‘යාමය’ යන්නෙන් බව පැහැදිලි ය. පසළොස්වැනි සියවසේ ලියැවුණු පඤ්චිකා ප්‍රදීපය ග්‍රන්ථයේ යාමය හඳුන්වා ඇත්තේ හත් පෑ විනාඩි හතළිස් පහක් ලෙසිනි. එහෙත් මෙම කාල සීමාව සිංහල පැය ක්‍රමය අනුව සැකසුණු බව පෙනෙයි. ඉංග්‍රීසි ක්‍රමයට අනුව දවසකට පැය විසි හතරක් වුව ද සිංහල ක්‍රමයට දවසකට පැය හැටක් තිබේ.
වර්තමානයේ අමනුෂ්‍ය කාරකාදීන් පිළිබඳ කතා කිරීමේ දී යොදා ගන්නා මෙම ජාමය යන්න කන්ද උඩරට රාජධානි සමයේ රාජකීය කටයුතු සඳහා ද යොදා ගත් බවට පිළිගත හැකි සාක්ෂි තිබේ. ඒ අනුව කන්ද උඩරට රාජධානි සමයේ දිවා කාලයට ජාම හතරක් සහ රාත්‍රී කාලයට ජාම හතරක් ලෙස දිනයක් ජාම අටකට බෙදා වෙන් කළ බව පැරණි මූලාශ්‍ර පිරික්සීමේ දී පෙනී යයි. එමෙන්ම රජවාසල කාර්ය මණ්ඩලයේ සේවා මුර ද එම ජාම අනුව සැකසුණු බවට තොරතුරු තිබේ.
එම පැරණි ජාම ක්‍රමය අනුව මුළු දවස ජාම අටකින් යුතු වී නම් ඉන් එක් ජාමයක් ඉංග්‍රීසි පැය තුනකින් සමන්විත විය යුතු ය. එමෙන්ම රජතුමාගේ රාජ්‍ය විචාරීමේ සහ දේශපාලනික කටයුතු දවසේ මුල් ජාම දෙකේ දී හෙවත් පෙරවරුවේ යොදා ගත් අතර ආගමික හෙවත් අධ්‍යාත්මික කටයුතු දවසේ තුන්වැනි සහ හතරවැනි ජාමවල දී එනම් පස්වරුවේ යොදා ගත් බව සහතික කෙරෙන ලේඛන තිබේ. මහාචාර්ය මැන්දිස් රෝහණදීරයන් කළ විවරණයකට අනුව රජතුමා මහ නාහිමිවරුන් බැහැ දැකීම සඳහා බොහෝ විට දවසේ තුන්වැනි යාමය එනම් පස්වරු තුනත් හයත් අතර කාලය යොදා ගත් බව පැවසෙන පැරණි ලේඛනයක් අස්ගිරි මහා විහාරය සතුව තිබේ.
තත්ත්වය එසේ තිබිය දී අප රටේ ගැමි විඥානයට අනුව දවසකට ඇත්තේ ජාම හතරකි. එනම් හිමිදිරිය, මධ්‍යහ්නය, සන්ධ්‍යාව සහ මධ්‍යම රාත්‍රියයි. එහෙත් මේ එක් එක් ජාමයක් නිශ්චිතව හඳුනා ගත හැකි කාල රටාවක් මෙතෙක් අපට හමු වී නැත. ඒ අනුව අනුමාන වශයෙන් කිව යුත්තේ මෙම ජාම වේලාවන් පෙරවරු සහ පස්වරු හය සහ දොළහ අතර වේලාවන් කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපිතව ඇති බවකි.
පඤ්චිකා ප්‍රදීපය ග්‍රන්ථයේ දැක්වෙන අන්දමට යාමයක් යනු හත් පෑ විනාඩි හතළිස් පහක් නම් ඉංග්‍රීසි පැය ක්‍රමය අනුව එය පැය දෙකකට මඳක් වැඩි වේලාවක් විය යුතු ය.
ඒ කෙසේ හෝ මෙම හිමිදිරි, මධ්‍යහ්න, ගොම්මන් සහ මැදියම් යන ජාම හතරෙන් හිමිදිරි යාමය දෙවියන් ආදී විශ්වයේ පවතින යහපත් බලවේග ක්‍රියාත්මක වන කාල සීමාවක් සේ හඳුන්වනු ලැබේ. වෛදික සාහිත්‍යයේ දවසේ ප්‍රබලම වේලාව හිරු නැගීමට පෙර එළැඹෙන ‘බ්‍රහ්ම මූර්තිය’ නම් කාල සීමාව යොදා තිබීම ඊට නිදසුනකි. මෙම බ්‍රහ්ම මූර්ති සංකල්පය අප ජන සමාජයට එතරම් ප්‍රබල ලෙස අවශෝෂණය වී නැත. එහෙත් අපගේ ජනවහරේ ‘මහ පාන්දර’ යනුවෙන් හඳුන්වන වේලාවක් තිබේ. එනම් කුකුළා හැඬලීමෙන් පසු කපුටා හැඬීමට පෙර එළැඹෙන පැය දෙකක පමණ කාල සීමාවය. විශ්වයේ ඇති සියලු යහපත් බලවේගවල ශක්තිය ධෛර්යය මිනිසාට ලබාගත හැකි හොඳම යාමය වන මෙම ‘මහ පාන්දර’ බෞද්ධයකු හට සිදු කළ හැකි උතුම්ම පූජාව වශයෙන් සැලකෙන ‘කඨින පූජාව’ සිදු කිරීම සඳහා යොදා ගැනීමෙන්ම එහි ඇති ශුද්ධ භාවය සහ පවිත්රත්වය වටහා ගත හැක. ඉන් පසු එම හිමිදිරි ජාමයේ ඇති පවිත්රත්වය කපුටා හැඬීමෙන් පසු කෙළෙසී යන බවට අතීතයේ ජන විශ්වාසයක් පැවැති බව ගුප්ත ශාස්ත්‍ර පිළිබඳ පාරම්පරික දැනුමක් සහ අත්දැකීම් සම්භාරයක් හිමිකර ගෙන සිටි ගණේමුල්ලේ, තිබ්බටුගොඩ පියදාස විද්‍යාරත්න (විපුලසේන අයියා) මහතා මීට කලකට පෙර මා හා කියා තිබේ.
ඊළඟට එළැඹෙන මධ්‍යහ්නය හෙවත් ඉර මුදුන් ජාමය ඇතැම් ප්‍රදේශවල කූටක ජාමය ලෙස හැඳින්වෙන අතර රුහුණුකරයේ ඇතැම්හු එය හිටිපියර ජාමය ලෙස ද හඳුන්වති. මෙහි හිටිපියර යනු තමන්ගේ සෙවණැල්ල තමන්ටම පෑගෙන යන අරුත ගෙනෙන වදනක් බව බෙලිඅත්ත, කුඩාහීල්ලේ ඩේවිඩ් ජයවර්ධන (සේරුගහහේනේ ලොකු මහත්තයා) මහතා මා හා කියා තිබේ.
මෙම ඉරමුදුන් යාමය ද අමනුෂ්‍යයන් කලඑළි බසින යාමයක් බවට ජන විශ්වාසයක් තිබේ. ඒ අතුරින් රීරි යකා, තොට යකා, අබිමාන යකා ප්‍රධාන බව ද පැවසෙයි. ඒ අනුව අතීත ගැමි කාන්තාවෝ දිය නෑමකට නාන තොටකට යාමේ දී වුව පෙරවරු එකොළහත් පස්වරු එකත් අතර වන මෙම ඉර මුදුන් යාමය යොදා නොගත් බව ද කියනු ලැබේ. සැන්දෑ යාමය හෙවත් ගොම්මන් යාමය ද ගැමියන් විසින් වෙසෙසින් හුවා දක්වන ලද ජාම වේලාවකි. මෙහි ගොම්මන් යන්නෙහි අරුත වෙල් එළි ආදියේ දිගේලි කොට සිටි ගවයන් රාත්‍රී අඳුරත් සමග තම නවාතැන්පොළවල් වන ගවගාල් වෙත ළංවන (ගොනුන් මං බසින) වේලාව යන්න ය. එතරම් ප්‍රබල නොවූ විශේෂයෙන් රතිකාම ගණයේ යක්ෂයන් කලඑළි බසින ජාමයක් ලෙස හැඳින්වෙන ගොම්මන් ජාමයේ මහ මග තනිවන කතුන් සුලබ ලෙසම තනිකම් දෝෂවලට ලක්වන බවට ප්‍රබල ජන විශ්වාසයක් අතීතයේ පැවතිණ. එමෙන්ම රතිකාම ගණයේ යකුන් සඳහා කරනු ලබන පුද පිළිවෙත් සහ යාදිනි සඳහා ද මෙම ගොම්මන් යාමය යොදා ගැනෙයි.
මේ සියලු ජාම අතරින් වඩාත් බියජනකම ජාමය ලෙස හැඳින්වෙන්නේ රෑ මැදියම හෙවත් දෙගොඩහරි යාමයයි. එය බොහෝ විට රාත්‍රී එකොළහත් එකත් අතර කාලය විය යුතුම ය. ශ්‍රී ලාංකිකයන් විසින් අදහනු ලබන යක්ෂ සේනාවේ ප්‍රධානියා වන මහසෝනා නම් ප්‍රබල යක්ෂයා මෙම ජාමය තුළ සැරිසරා රාත්‍රී එකෙන් පමණ පසු සැඟවී යන බවක් කියති. ඒ අනුව තොවිල් ආදියේ මහසෝන් සමයම නැටීම පිණිසත් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවල අමනුෂ්‍ය බන්ධනය සඳහා වන ආටානාටිය සූත්‍ර දේශනය සඳහාත් මේ මැදියම් ජාමයම යොදා ගන්නා බව පෙනේ. ඉන් පසුව එළැඹෙන මහ පාන්දරට පෙර කාල සීමාව ගැමියන් හඳුන්වනුයේ “යකුන් ගස් නගින වේලාව” යනුවෙනි. එම සරල වදනින් පැවසෙනුයේ එම වේලාවට තමන්ගේ දෛනික චර්යාවන් නිමා කළ යක්ෂයින් ඒ වේලාව තුළ තම සුපුරුදු වාස භවනයන්ට පිවිසෙන බවකි.
තිලක් සේනාසිංහ