ලෝකයේ ජනප්‍රියම නායිකාවක වූ නවසීලන්තයේ අගමැතිනි ජසින්දා ආඩර්න් හදිසියේම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීම මේ දිනවල ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්රයේ විශාල අවධානයක් දිනාගත් සිදුවීමක්ව තිබේ. ඇය මෙවැනි තීරණයක් ගත්තේ මන්ද යන්න ගැන විවිධ අදහස් ඉදිරිපත් වෙමින් ඇති ආකාරය ද දැකිය හැකි වේ. පසුගිය 19 වැනි දින ඇය මාධ්‍ය හමුවක් කැඳවමින් තම තීරණය ගැන දැනුම් දුන්නේ හැඬුම්බර ස්වරයෙනි. පෙබරවාරි 7 වැනි දිනට පෙර තමා ධුරයෙන් සමුගන්නා බවත්, මීළඟ මැතිවරණයට තරග නොකරන බවත් පවසද්දී ඇයගේ දෑස් කඳුළින් පිරී තිබූ අයුරු දැකිය හැකි විය.
ආඩර්න පසුගිය කාලයේ මුළු ලෝකයේම ආදරයට ගෞරවයට පාත්රව සිටි නායිකාවකි. විශේෂයෙන් ඇය නවසීලන්තය තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගත් ක්ෂණික පියවර එකල මහත් පැසසුමට ලක් වූ අතර ඇය මේ තුළින් ලෝකයටම විශාල ආදර්ශයක් ලබා දුන් බව බොහෝ දෙනාගේ අදහස විය.
කෙසේ නමුත් ආඩර්න හදිසියේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ අගමැති ධුරයේ කටයුතු කරද්දී අත්විඳින්නට සිදු වූ දැඩි පීඩනය, ආතතිය නිසා විය හැකි බවට ද අදහස් පළ වේ. ඇය ඉතා ලාබාල අගමැතිනියක වන අතර ඇයට කටයුතු කිරීමට සිදු වූයේ නවසීලන්ත ඉතිහාසයේ ඉතාම අර්බුදකාරී සමයක ය. කොවිඩ් වසංගතය, ඒ නිසා ඇති වූ ආර්ථික අර්බුද මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු විය. 2019 වසරේ එරට මුස්ලිම් පල්ලි දෙකකට එල්ල වූ ප්‍රහාරය නිසා ඇති වූ තත්ත්වය ද ආඩර්න්ට මුහුණ දෙන්නට සිදු වූ තවත් අභියෝගයක් වූයේය. එය සැලකෙන්නේ මෑත ඉතිහාසයේ නවසීලන්තය තුළ එල්ල වූ දරුම ත්‍රස්ත ප්‍රහාරය ලෙසිනි. මෙම සිද්ධියෙන් ආඩර්න් දැඩි ලෙස කම්පනයට පත් වූ ආකාරය ද දැකිය හැකි විය.
ඇය 2017 වසරේ එරට අගමැති ධුරයට පත් වෙද්දී ඇයගේ වයස අවුරුදු 37 ක් පමණක් විය. ලොව ලාබාලම අගමැතිනිය වශයෙන් ද ඇය එම අවස්ථාවේ මහත් අවධානයක් දිනාගත්තාය. ඒ අතින් බලද්දී ඇය සාපේක්ෂ වශයෙන් අත්දැකීම් අඩු නායිකාවක ලෙස සැලකිය හැකි විය. නමුත් ඇයට ඇයගේ ධුර කාලය තුළ ඉතාම අභියෝගාත්මක තත්ත්වයන් රැසක් කළමනාකරණය කරන්නට සිදු වූයේය. මෙය ඉතා වෙහෙසකර කටයුත්තක් වන්නට ඇතුවාට සැකයක් නැත.
ආඩර්නට මේ සියල්ල කිරීමට සිදු වූයේ ඉතා කුඩා දරුවකුගේ කටයුතු ද ඉටු කරන අතරය. 2018 වසරේ ඇය දියණියක බිහි කළ අතර ධුරයේ සිටිය දී දරුවකු බිහි කළ දෙවැනි නායිකාව ලෙස ද ආඩර්න් වාර්තාවක් පිහිටුවූවාය. පළමුවැන්නිය වූයේ පාකිස්තානයේ හිටපු අගමැතිනි බෙනසීර් භූතෝ යි. ආඩර්න වරක් එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට මෙම දියණිය ද රැගෙන ගිය අතර එය එකල මාධ්‍ය තුළ මහත් අවධානයක් දිනාගත් සිදුවීමක් විය. මේ වනවිට දියණියගේ වයස අවුරුදු 4 කි.
කලකට පෙර ආඩර්න ඉතා ජනප්‍රිය නායිකාවක වුවත් මේ වනවිට විට එම ජනප්‍රියත්වය තරමක් පහත වැටී තිබේ. කොවිඩ් වසංගතය නිසා ආර්ථිකය තුළ ඇතිව තිබෙන ගැටලුත්, ජනතාවගේ ජීවන වියදම ඉහළ යාම වැනි තත්ත්වයනුත් ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. මේ නිසා ඇයගේ මෙන්ම ඇය නායකත්වය දෙන කම්කරු පක්ෂයේ ද ජනප්‍රියත්වය හීන වෙමින් ඇති බව ජනමත සමීක්ෂණවලින් හෙලි වී තිබිණි. නවසීලන්තයේ මීළඟ මහා මැතිවරණය ලබන ඔක්තෝබරයේ පැවැත්වීමට නියමිතව ඇති අතර ඇයගේ පක්ෂයට එහි දී යම් අභියෝගයක් එල්ල වීමට ඉඩ තිබේ. ආඩර්න අගමැති ධුරයෙන් මෙන්ම පක්ෂ නායකත්වයෙන් ද ඉල්ලා අස්වන්නේ නව නායකත්වයක් යටතේ මීළඟ මැතිවරණය සඳහා සූදානම් වීමට පක්ෂයට ඉඩ ලබා දීමට බවක් ද පෙනේ.
‘මා ධුරයෙන් ඉවත් වීමට හේතුව මෙම ධුරය දැරීම වෙහෙසකර කටයුත්තක් වීම නොවෙයි. එසේ වූවානම් මා මෙයින් ඉවත් වන්නේ අගමැතිකමට පත් වී මාස දෙකක් ගත වීමටත් කලිනුයි’ ආඩර්න මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුණාය. ‘මා මෙයින් ඉවත් වන්නේ මෙවැනි තනතුරක් සමග විශාල වගකීමක් ද පැවරෙන නිසායි. ඔබ රටේ නායකත්වය දැරීමට සුදුසුම පුද්ගලයා වන්නේ කොයි අවස්ථාවේ ද, එසේ නොවන්නේ කොයි අවස්ථාවේ ද යන්න තීරණය කිරීමේ වගකීමත් ඊට අයත්.
‘මෙවැනි තනතුරක් විසින් බොහෝ දේ ඉල්ලා සිටිනු ලබනවා. ඒ ගැන මා දන්නවා. නමුත් එම තනතුරට සාධාරණය ඉටු කිරීම සඳහා අවශ්‍ය හැකියාව සහ ශක්තිය තවදුරටත් මා තුළ නැති බවත් මට වැටහෙනවා.’ ඇය තවදුරටත් පවසා තිබිණි.
පසුගිය කාලයේ ඇතැම් පාර්ශ්ව ඇයට ජීවිත තර්ජන එල්ල කර තිබූ බව ද සඳහන් වේ. කොවිඩ් එන්නත්වලට විරෝධතාව දැක් වූ එන්නත් විරෝධීන් වැනි කණ්ඩායම් ද, අන්තවාදී ජාතිවාදීන් වැනි කණ්ඩායම් ද මෙවැනි තර්ජන එල්ල කළ පිරිස් අතර සිටින බව විශ්වාස කෙරේ. ඇතැම් නිරීක්ෂකයන් පවසන්නේ මෙවැනි කාරණා ද ඇය මත විශාල පීඩනයක් එල්ල කරන්නට ඇති බවයි. මේ අතර ආඩර්නගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියකු වන නියේල් ජෝන්ස් පවසා තිබුණේ මෙවැන්නකි:
‘දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නවසීලන්තය පාලනය කළ කිසිදු අගමැතිවරයකුට ඇයට තරම් අභියෝගාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට සිදු වුණේ නැහැ. මේ නිසා ඇය දැඩි වෙහෙසට පත්ව සිටින බව පැහැදිලියි’.
ආඩර්න ඉවත් වීමෙන් පසු කම්කරු පක්ෂයට නව නායකයකු සහ නවසීලන්තයට නව අගමැතිවරයකු පත් කර ගැනීම සඳහා එම පක්ෂය කටයුතු කරනු ඇත. ඇතැම් දේශපාලන විචාරකයන් පවසා තිබුණේ මේ වනවිට ආඩර්නගේ ජනප්‍රියත්වය පහත වැටී ඇතත් ඇයට වඩා සුදුසු නායකයකු මේ අවස්ථාවේ සිටින්නේද යන්න අපැහැදිලි බවයි.
නිහාල් පීරිස්