“කපුටාස් ගෝ හෑව් හිට් ද ප්ලේන්” කතාවේ හෙළි නොවූ කොටසක්

පසුගිය දිනක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් කපුටන්, කසල සහ ගුවන් යානා එන්ජින් පිළිබඳ විද්වත් ප්‍රකාශයක් සිදු කරන ලද එක්තරා වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා ශීඝ්‍රයෙන් සංසරණය වෙමින් පවතී.ඒ ඔහු එහි දී කළ “කපුටාස් ගෝ හෑව් හිට් ද ප්ලේන්” යන ප්‍රකාශය උපහාසයට ලක් කරමිනි. මෙම ලිපියේ අරමුණ එකී වීඩියෝවේ ඔහුගේ ඉංග්‍රීසි බස හැසිරවීම පිළිබද අදහස් ප්‍රකාශ කිරීම නොවේ. එහි ඔහු විසින් පවසන ලද අදහස් ගැන විමසීමක් කිරීම පමණි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල අවට කපුටන් පමණක් නොව විවිධාකාර දේශීය, ඒ්ක දේශික සහ සංක්‍රමණ පක්ෂීහු විශාල වශයෙන් සැරසරති. එයට හේතුව කටුනායක ගුවන් තොටුපලට යාබද ව ආසියාවේ වැඩිම ජෛව විවිධත්වයකින් යුතු පාරිසරික කලාපයක් වන මුතුරාජවෙල තෙත් කලාපීය කුරුළු අභයභූමිය හා ඒ ආශ්‍රිතව පක්ෂි පර්යටන කොරිඩෝව පිහිටා තිබීමය. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ගුවන් රීතියට අනුව කුරුළු අභය භූමියක් ආශ්‍රිත පරිසරයක ජාත්‍යන්තර මට්ටමේ පමණක් නොව ජාතික මට්ටමේ තබා ප්‍රාදේශීය ගුවන් තොටුපලක් වුවද ඉදි කරන්නේ නැත.

එය එසේ වුව ද අපේ රටේ ඉදි කර ඇති ගුවන් තොටුපල තුනම පිහිටා තිබෙන්නේ පක්ෂීන් බහුල අභයභූමි ආසන්නයේ වීම විස්මයටත් කණගාටුවටත් කාරණයකි. කටුනායක ගුවන් තොටුපල හැරුණු විට අත්තිඩිය සහ බැද්දගාන අභය භූමිවලට යාබදව වන්නට ඉදිකර ඇති රත්මලාන ගුවන් තොටුපලත්, කුමන අභයභූමිය ආසන්නයේ ඉදිකර ඇති මත්තල ගුවන් තොටුපලත් ඉහත කී ජාත්‍යන්තර ගුවන් රීති උල්ලංඝණය කර තිබෙන්නේ ශ්‍රී ලාංකේය අනන්‍යතාව මනාව සාක්ෂාත් කරමිනි.

පෙර කී වීඩියෝවේ උපුටා දැක්විය යුතු තවත් එක් කතාවක් තිබේ. එනම් ඔහු ගුවන් යානා සඳහා සවි කරන රෝල්ස් රොයිස් ඒන්ජින් පිළිබඳව යම් සදහනක් කර තිබීමයි. ඔහු මෙහි කපුටන් ගොස් හැප්පෙන බව කියන රෝල්ස් රොයිස් එන්ජින් යනුවෙන් හදුන්වා දෙන්නේ පොදුවේ ගුවන් යානා එන්ජින් ය.

රෝල්ස් රොයිස් PLC යනු ප්‍රධාන බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ගුවන් යානා එන්ජින්, සමුද්‍ර ප්‍රචාලන පද්ධති සහ බලශක්ති උත්පාදන පද්ධති නිෂ්පාදකයා වේ. සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදකයෙකු ලෙස විසි වන වන ශතවර්ෂයේ වැඩි කාලයක් ප්‍රසිද්ධියට පත් වූ එම සමාගම, එහි මෝටර් රථ නිෂ්පාදන මෙහෙයුම් වලින් වෙන් කර 1971 දී පසු පාඩු ලැබීම මත ජනසතු කරන ලදී. එය 1987 දී නැවත පුද්ගලික අංශයට පැමිනුණි. මූලස්ථානය ලන්ඩනයේ පිහිටා ඇත.

රෝල්ස් රොයිස් PLC හි අභ්‍යවකාශ අංශය යුරෝපයේ, එක්සත් ජනපදයේ සහ ජපානයේ සමාගම් සමඟ තනිව සහ හවුල් ව්‍යාපාරවලින් සමන්විත වෙයි. සිවිල් සහ හමුදා ගුවන් යානා එන්ජින් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. රෝල්ස් රොයිස් යනු මුහුදු ප්‍රචාලන උපකරණ ලොව ප්‍රමුඛතම සැපයුම්කරුවෙකු ද වෙයි. එහි නිෂ්පාදන සහ සේවාවන් සම්පූර්ණ නැව් නිර්මාණයේ සිට ඒකාබද්ධ ප්‍රචාලනය, උපාමාරු දැමීම සහ ස්ථානගත කිරීමේ පද්ධති සහ තට්ටු යන්ත්‍රෝපකරණ දක්වා විහිදෙයි.

අනෙකුත් අභ්‍යවකාශ නොවන නිෂ්පාදන අතර තෙල් හා ගෑස් කර්මාන්ත සඳහා ගෑස් ටර්බයින සහ රාජකීය නාවික හමුදාව සඳහා බලශක්ති උත්පාදන බලාගාර සහ න්‍යෂ්ටික බල පද්ධති ඇතුළත් වේ. රෝල්ස් රොයිස් සමාගම විසින් නිෂ්පාදනය කරනුයේ ගුවන් යානා එන්ජින් පමණක් නොවන බවත්.

එමෙන්ම ගුවන් යානා සදහා යොදා ගනු ලබන එකම එන්ජින් වර්ගය ද රොල්ස් රොයිස් පමණක් නොවන බවත් ශ්‍රී ලංකා මුදල් ඇමති වරයා නොදන්නා ආකාරයක් එය අසන අපට හැඟේ. මීට දශක දෙකකට පමණ ඉහත දී ශ්‍රී ලංකාවට ජංගම දුරකතන හදුන්වා දුන් මුල් කාලයේ පොදුවේ ජංගම දුරකතන හැඳින් වූ නාමය වූයේ “සෙල්ටෙල් එක”; යන්නයි.

සෙල්ටෙල් යනු ජංගම දුරකතන නිෂ්පාදනය කරන සමාගමක් මිස ජංගම දුරකතන හැදින්විය හැකි නමක් නොවන බව අප දැන ගන්තේ බොහෝ කාලයක් ගත වූ පසුව ය. මෙන්ම අදටත් සමහරුන් රබර් සෙරෙප්පු සඳහා “බාටා දෙක”; යනුවෙන් පවසනු මම කොතෙකුත් අසා ඇත්තෙමි.

බාටා යනු රබර් සෙරෙප්පු සඳහා යෙදෙන පොදු ව්‍යහාරයක් නොවන බවත් එය පාවහන් නිෂ්පාදනය කරනු ලබන සමාගමක් පමණක් බවත් ඔවුන් නොදන්නවා විය හැක.ජුකී මැෂිම,ලෑන්ඩ් මාස්ටරය,බික් රේසරය මේ සඳහා ඉදිරි පත් කළ හැකි තවත් නිදසුන් ය.මින් පෙනෙනුයේ යම් යම් නිෂ්පාදන වෙළඳ පලට හඳුන්වා දීමේ පුරෝගාමිත්වය පදනම් කරගෙන එම වෙළඳ නම් වලින් පසුව පොදුවේ එම වර්ග වල සියළුම භාණ්ඩ හැඳින්වෙන බව පෙනෙයි.

මේ ආකාරයට ඉහත සදහන් කරන ලද වීඩියෝවේ මුදල් ඇමති වරයා විසින් රෝල්ස් රොයිස් එන්ජින් යනුවෙන් හදුන්වන්නේ, ගුවන් යානා එන්ජින්වලට පොදුවේ යෙදිය හැකි පදයක් සේ ඔහු සිතූ නිසා ද විය හැක.එහෙත්, ගුවන් යානා එන්ජින් කර්මාන්තයේ පුරෝගාමිත්වය රෝල්ස් රොයිස් PLC සමාගමට හිමි නොවන බව ද කිව යුතුය.

ගුවන් යානා සහ ජෙට් යානා වල කුරුල්ලන් ගැටීම නිසා බිහිසුණු අනතුරු සිදු වී තිබේ.ඒවා පොදුවේ හැඳින්වෙනුයේ කුරුළු ප්‍රහාර(Bird strike)  ලෙසිනි.අධික වේගයකින් ගමන් ගන්නා ගුවන් යානා සහ ජෙට් යානා වලට ගුවනේ දී හමුවන කුරුළු රංචු එම ගුවන් යානා වල ටර්බයින වල සිරවීම මත ඇතිවන ගිනි ගැනීම් ආදී හේතූන් මත මෙවන් අනතුරු සිදු වෙයි.එහෙත්,ඒ කුරුල්ලන් අතරට උඩු ගුවනට නොපිවි‌සෙන කපුටන් ද ගැනෙන බව අප මුල් වරට අසා දැනගත්තේ බැසිල් රාජපක්ෂ ඇමති වරයාගේ එම “විද්වත්” ප්‍රකාශයෙනි.

ඒ අනුව මෙවන් කතා අසා අසීරුවෙන් හෝ තේරුම් ගන්නා විදේශිකයකු වේ නම් අපේ රටේ පවත්නා දේශපාලනයේ සැබෑ තත්වය පිළිබඳ යම් ඉඟියක් ගැනීමට ද ඔහුට ඉන් මනා අවකාශයක් ලැබෙනු නියත ය.

දුලාංජලී මුතුවාඩිගේ

එතෙර - මෙතෙර