කමල් හසන් දූෂිත දේශපාලනඥයන්ට එරෙහිව

vinivida

දෙමළ සිනමාවේ දැවැන්තයකු වන කමල් හසන් දශක ගණනක සිටම ශ්‍රී ලංකාවේ සිනමා ලෝලීන් අතර ද අතිශයින් ජනප්‍රිය නළුවකු බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ දිනවල ඔහු නැවතත් මාධ්‍ය තූළ පුවත් මවන්නකු බවට පත්ව සිටින අතර ඒ ඔහුගේ අලුත්ම සිනමාපටයක් ප්‍රදර්ශණය ආරම්භ කිරීම නිසා යි. එහි නම Indian 2: Zero Tolerance ය. මෙම සිනමාපටය මේ දිනවල ශ්‍රී ලංකාවේ ද තිරගත වන අතර එය 1996 වසරේ තිරගත වූ -Indian චිත්‍රපටයේ දෙවැනි කොටස යි.

Indian චිත්‍රපටවල ප්‍රධාන චරිතය වන්නේ වීරසේකරන් සේනාපති නැමැත්තෙකි. ඔහු අතීතයේ ඉන්දියානු නිදහස් සටනට ද සම්බන්ධව සිටි කෙනෙකි. රට පිලිබඳ විශාල හැඟීමක් ඇත්තකු වන ඔහු දැන් රටේ වංචා දූෂණවලට එරෙහිව සටන් කරයි. Indian 2 පිළිබඳව මාධ්‍ය තුළ පළ වී ඇති තොරතුරුවලට අනුව මෙම චිත්‍රපටයට ද පසුබිම් වන්නේ ඉන්දියාවේ දූෂිත දේශපාලනඥයන්ට, නිලධාරීන්ට එරෙහිව සේනාපති සටන් කරන ආකාරය පිලිබඳ කතා පුවතකි. මේ නිසා මෙය නිසැකවම ලංකාවේ සිනමා ප්‍රේක්‍ෂකයන්ට ද සමීප සිනමාපටයක් වනු ඇත.

මෙම චිත්‍රපටය නිර්මාණය කරද්දී එක් අවස්ථාවක කමල් ගේ ජීවිතය බේරී තිබුණේ අනූ නවයෙනි. 2020 වසරේ පෙබරවාරි මාසයේ මෙහි රූපගත කිරීම් කරමින් සිටිය දී දර්ශණ තලයේ විශාල අනතුරක් සිදු විය. රූපගත කිරීම්වල දී භාවිත කරන විශාල විදුලි පහන් සවි කළ දොඹකරයක් කඩා වැටීම නිසා මෙම අනතුර සිදු වූ අතර එම දොඹකරයට යට වීමෙන් නිශ්පාදන කණ්ඩායමේ තුන් දෙනෙක් මරණයට පත් වූහ. තවත් කිහිප දෙනෙකු බරපතල තුවාල ලබා තිබිණි. එම අවස්ථාවේ කමල් ද සිට ඇත්තේ ඒ ආසන්නයේම ය. සිද්ධිය ඇසින් දුටුවන් එකල මාධ්‍ය සමග පවසා තිබුණේ තව තත්පර කිහිපයක් එහා මෙහා වූවා නම් කමල් ගේ ජීවිතයට ද අනතුරක් වීමට ඉඩ තිබූ බව යි.

මෙම සිද්ධිය සිදුව තිබුණේ චිත්‍රපටයේ රූපගත කිරීම් අවසන් කිරීමට ආසන්නව තිබියදී ය. නමුත් මේ බිහිසුණු අනතුර නිසා රූගත කිරීම් යම් ප්‍රමාදයකට ලක් විය. ඒ සමගම කොවිඩ් වසංගතය ද පැමිණියෙන් එම කටයුතු තව දුරටත් කල් දමන්නට සිදු වූ අතර මේ හේතුවෙන් චිත්‍රපටය නිම කිරීමට වසර පහකට ආසන්න කාලයක් ගත විය. මෙහි කටයුතු මුලින්ම ආරම්භ කර තිබුණේ 2019 වසරේ යි.

කමල් හසන් සැබෑ ජීවිතයේ ද රටේ වංචා දූෂණවලට එරෙහිව හඬ නගන චරිතයකි. මෙයට කලකට පෙර ඔහු දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත් අතර ඒ හරහා ද කමල් දූෂිත දේශපාලනඥයන්ට එරෙහිව ජනතාව පෙල ගැස්සවීමට උත්සාහ කළේය. දේශපාලනඥයන්ගේ දූෂණ වංචා නිසා සමාජයට විඳින්නට සිදුව ඇති පීඩාවන් ගැන සඳහන් කරමින් සෘජුවම එම දේශපාලනඥයන්ට ලිපි යවන මෙන් ද වරක් කමල් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

කමල් ගේ දේශපාලන පක්‍ෂය හැඳින්වෙන්නේ මක්කල් නීදි මයියාම් යන නමිනි. පසුගිය දිනවල පැවැති ඉන්දියානු මහා මැතිවරණයේදී ද එය ඉතා ක්‍රියාකාරීව කටයුතු කළ අතර එම පක්‍ෂය සහය දැක් වූයේ අගමැති නරේන්‍ද්‍ර මෝදි ගේ භාරතීය ජනතා පක්‍ෂයට විරුද්ධව සටන් කළ සන්ධානයකට ය.

Indian 2 -චිත්‍රපටයෙන් පසු මෙම චිත්‍රපට මාලාවේ තුන්වැනි චිත්‍රපටයක් ද ප්‍රේක්‍ෂකයන් හමුවට එනු ඇති බව සඳහන් වේ. එය තව මාස හයකින් පමණ තිරගත කෙරෙනු ඇති බව පසුගිය දා කමල් සඳහන් කර තිබිණි.

සිනමා රසික රසිකාවියන් මහත් බලාපොරොත්තු තබා සිටින කමල් ගේ තවත් සිනමාපටයක් ද මේ වසරේ තිරගත වීමට නියමිතව තිබේ. ඒ, Thug Life නැමැති සිනමාපටය යි. එය අධ්‍යක්‍ෂණය කරන්නේ දෙමළ සිනමාවේ දැවැන්තයකු වන මනි රත්නම් ය. පසුගිය කාලයේ අතිශයින් ජනප්‍රිය වූ ඔහුගේ පොනියින් සෙල්වන් චිත්‍රපටවලින් පසු මනි රත්නම් අධ්‍යක්‍ෂණය කරන පළමු සිනමාපටය යි මේ.

මනි රත්නම් සහ කමල් හසන් චිත්‍රපටයක එකට වැඩ කරන්නේ වසර 37 කට පසුව වීමත් විශේෂත්වයකි. එය ද මෙම චිත්‍රපටය ගැන විශාල අවධානයක් යොමු වීමට හේතු වී තිබේ. ඔවුන් දෙදෙනා අවසන් වරට එකට කටයුතු කළේ නායගන් නැමැති චිත්‍රපටයේ යි. එය තිරගත වූයේ 1987 වසරේ ය. නායගන් චිත්‍රපටයේ කමල් රඟපෑවේ වේලු නැමැති පාතාල ව්‍යාපාරිකයකුගේ චරිතයකි. අතිශය නාටකීය සිදුවීම්වලින් පිරි මෙම සිනමාපටය එකල ප්‍රේක්‍ෂකයන් මහත් ආදරයෙන් වැළඳගත් සිනමාපටයක් විය.

මේ වනවිට මාධ්‍ය තුළ පළ වී ඇති තොරතුරුවලට අනුව Thug Life චිත්‍රපටය දාමරිකයකු කේන්‍ද්‍ර කරගත් කතාපුවතක් රැගත් එකකි. එහි සංගීත අධ්‍යක්‍ෂවරයා වන්නේ ජනප්‍රිය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් ය. 1992 වසරේ තිරගත වූ රෝජා චිත්‍රපටයෙන් පසු මනි රත්නම් අධ්‍යක්‍ෂණය කළ සෑම චිත්‍රපටයකම සංගීත අධ්‍යක්‍ෂවරයා වූයේ ඔහු යි.

සිනමාවේ මෙවැනි දැවැන්තයන් පිරිසක් එක්ව නිර්මාණය කරන Thug Life නිසැකවම ප්‍රේක්‍ෂකයන් වසඟයට ගන්නා සිනමාපටයක් වනු ඇත.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර