කමලාට තැන දී ජෝ බයිඩන් ජනපතිවරණ සටනින් ඉවත් වෙයි

තමන් ඉදිරි නොවැම්බර් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත්, ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස උප ජනාධිපතිනී කමලා හැරිස් නම් කරන බවත් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසයි.බයිඩන් යනු ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වුණු වයස්ගතම පුද්ගලයා ද වේ.81 හැවිරිදි ඔහු කතා කරද්දී සහ තීන්දු තීරණ ගැනීමේදී එය නිවැරදිව සහ ක්ෂණිකව කළ නොහැකි බව මේ වන විට නොයෙක් වර සනාථ වීමත් සමඟ ජනාධිපති ධුර සටනින් ඉවත් වෙන්නැයි බයිඩන්ට ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂය තුළින්ම විරෝධයක් එල්ලවී තිබේ.ඊට අවනත වෙමින් තමන් ජනාධිපති සටනින් ඉවත් වීමට තීරණය කළේ තම ඩිමොක්‍රටික් පක්ෂයේ යහපත වෙනුවෙන් සහ රටේ යහපත වෙනුවෙන් යැයි ජෝ බයිඩන් ද පවසා තිබේ.තමන් කිසිම අවස්ථාවක ජනාධිපති සටනින් ඉවත් නොවන බව මුලින් පැවසූ ඔහු පසුව තම තීරණය වෙනස් කොට ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස ඉන්දීය සම්භවයක් ඇති කමලා හැරිස් ඉදිරිපත් කොට තිබේ. නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී, ප්‍රතිවාදී අපේක්ෂක 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා කමලා හැරිස් ජයග්‍රහණය කළොත්, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව ඇය වනු ඇත.59 හැවිරිදි කමලා හැරිස්, දේශපාලනයට පිවිසීමට පෙර, කැලිෆෝනියා ජනපදයේ නීතිපති ලෙස කටයුතු කළාය. ඇය කණිෂ්ඨ සෙනෙට් සාමාජිකාවක් බවට තේරී පත් වූයේ 2017 වසරේදී ය. කැලිෆෝනියාවේ නීතිපති බවට පත් වුණු පළමු කළු සමක් ඇති පුද්ගලයා ද කමලා හැරිස්ය.2020 ජනාධිපතිවරණ සටනට, ඩිමොක්‍රටික් පක්ෂයෙන්, බයිඩන් පමණක් නොව, ඇය ද ඉදිරිපත් වූවාය. කෙසේ නමුත් ඇයට ඉදිරියට යෑමට නොහැකි විය. හැරිස් යළි මැතිවරණ වේදිකාවට ගෙන්වා ගත්තේ බයිඩන් විසිනි. ඒ, බයිඩන් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන ජනාධිපති ධුර අපේක්ෂකයා වීමෙන් පසුවය. බයිඩන් සිය දෙවැනියා මෙන්ම උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස් තෝරා ගත්තේය. 2020 ජනාධිපතිවරණයෙන් බයිඩන් ජය ගත් පසු උප ජනාධිපති ධුරය කමලා හැරිස්ට හිමිවිය.බයිඩන්‍, ජනාධිපති සටනින් ඉවත් වී, ඒ සඳහා තමන් සුදුසු යැයි යෝජනා කිරීම ගැන කමලා හැරිස් සතුට පළ කරයිමේ අතර බයිඩන් ගේ මෙම තීරණය විවිධ පාර්ශවයන් ගේ පැසසුමට ලක් වෙමින් තිබේ.හිටපු ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා පවසා ඇත්තේ බයිඩන් නිවැරදි තීරණය ගත් බවත් දැන් ඔහු ගෞරවනීය ලෙස ජනාධිපති ධුරයෙන් සමුගනු ඇති බවත්ය. ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩල හිටපු කතා නායිකාව නැන්සි පෙලෝසී ද බයිඩන්ට ප්‍රසංශා කර තිබේ.ඇමෙරිකන් ජනතාවගේ යහපත වෙනුවෙන් බයිඩන් ගත් තීරණය ගෞරවාන්විත යැයි එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර්මන්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්, ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් ඇතුළු ලෝක නායකයන් පවසා තිබීම ද විශේෂත්වයකි.

කාලීන පුවත්