කල්පිත ටාසන් තුළ සැබැවින්ම ජීවත් වූ වීරයා මිය යයි

1980 දශකයේ ජාතික රූපවාහිනිය ඔස්සේ විිකාශනය වූ ‘ටාසන්’ කතා මාලාව නරඹා තිබෙනවා වන්නට පුළුවන. එසේ මතකයේ රැඳී තිබෙනවා නම් ඔබ අඩුම තරමින් ජීවිතයේ හතරවැනි දශකය පසුකර යන්නෙක් විය යුතුය. මුලින්ම ඉංග්‍රීසි බසින් විකාශනය වූ මේ කතා මාලාව පසුව ටයිටස් තොටවත්තයන් විසින් සිංහල බසින් ද හඬ කවා නැවත විකාශනය කරනු ලැබිණි. මේ කතා මාලාවේ ටාසන් චරිතයට පණ දුන් ලෝක ප්‍රකට රංගන ශිල්පී, ඇමරිකානු ජාතික ‘රොන් එලි’ (රොනාල්ඩ් පියර්ස් එලි) දශක අටක ජීවිත කාලයකින් පසුව, පසුගිය සැප්තැම්බර් 29 වැනිදා මෙලොවින් සමුගත්තේය. රොන් එලිගේ මරණය එක් යුගයක අවසානයක් ලෙස සටහන් කළ හැකිය. පසුකාලීනව ඔහු රංගන ජීවිතයෙන් බොහෝ ඈත්ව ජීවත් වුව ද, වීර වික්‍රමයන්ගේ පිරිපුන් චරිතවලට ඇලුම් කරන සියලු පරම්පරාවන් අතර රොන් එලිගේ ටාසන් චරිතය නොමැකෙන සටහනක් තබා තිබේ. ඔහුගේ ජීවිතය ජයග්‍රහණයන්ගෙන් මෙන්ම ඛේදවාචකයන්ගෙන් ද යුක්ත වූවක් විය. 2019 වසරේ දී ඔහුගේම පුතු විසින් පහර දීම හේතුවෙන් ඔහුගේ බිරිඳ වූ වැලේරි ලුන්ඩීන්ගේ ඛේදනීය වියෝව, එලිගේ සෞඛ්‍ය තත්ත්වය බොහෝ දුර්වල කරන්නට තරම් හේතුවක් විය. එම සිදුවීමත් සමග ඔහුගේ ජීවිතය බොහෝ පසුබෑම්වලට ලක් වුව ද ටාසන් ලෙස ඔහුට වූ පිළිගැනීම එලෙසින්ම රඳවා ගන්නට තරම් ඔහු වාසනාවන්තයකු විය.

ටාසන් සිය චිම්පන්සි මිතුරා සමග

රොන් එලි විසින් ටාසන් චරිතයට පණ දෙනු ලැබුවේ 1960 දශකයේය. මේ යුගය වීර වික්‍රම ක්‍රියාවන් සහිත කතා මාලාවන් රූපවාහිනියට හඳුන්වා දුන් ස්වර්ණමය යුගය ලෙස සඳහන් වේ. එය පාංශු දේහධාරී, වීරයකු, මිනිස් හැකියාවන්ගෙන් ඔබ්බට ගිය සුපිරි මිනිසකු රූපවාහිනිය තුළින් ලෝකයක් වසඟ කර ගත් අවස්ථාවක් ලෙස රූපවාහිනී ඉතිහාසය තුළ ලියවී තිබේ. බොහෝ රංගන ශිල්පීන් විසින් ටාසන් චරිතයට පණ පොවා තිබුණ ද, බහුතරයකගේ සිතේ නොමැකෙන සේ සටහන් වී ඇති රොන් එලි පණ දුන් ටාසන් චරිතයය.

රොන් එලි විසින් ටාසන් චරිතයට පණ දෙනු ලැබුවේ 1960 දශකයේය. මේ යුගය වීර වික්‍රම ක්‍රියාවන් සහිත කතා මාලාවන් රූපවාහිනියට හඳුන්වා දුන් ස්වර්ණමය යුගය ලෙස සඳහන් වේ. එය පාංශු දේහධාරී, වීරයකු, මිනිස් හැකියාවන්ගෙන් ඔබ්බට ගිය සුපිරි මිනිසකු රූපවාහිනිය තුළින් ලෝකයක් වසඟ කර ගත් අවස්ථාවක් ලෙස රූපවාහිනී ඉතිහාසය තුළ ලියවී තිබේ. බොහෝ රංගන ශිල්පීන් විසින් ටාසන් චරිතයට පණ පොවා තිබුණ ද, බහුතරයකගේ සිතේ නොමැකෙන සේ සටහන් වී ඇති රොන් එලි පණ දුන් ටාසන් චරිතයය.

රොන් එලි

ටාසන් චරිකය ලොවට බිහි වන්නේ එඩ්ගාර් රයිස් බරොස් නම් ඇමරිකානු ජාතික ලේඛකයා විසින් ලියා, 1912 දී ප්‍රකාශයට පත් කරනු ලැබූ Tarzan of the Apes කෘතියෙනි. ඔහු මේ නවකතාවෙන් පවසන්නේ අප්‍රිකානු කැලෑවක වඳුරන් විසින් හදා වඩා ගත් අනාථ දරුවකු පිළිබඳ කතාවකි. ටාසන් වයසින් වැඩෙන්නේ සොබා දහම සමග දැඩි සබැඳියාවක් ඇති, මානව අනන්‍යතාව පිළිබඳ නිසග සංවේදනයක් සහිත ප්‍රබල පුද්ගලයකු ලෙසිනි. ඔහුගේ ශක්තිය, ධෛර්යය සහ පාක්ෂික බව එතෙක් නවකතා තුළින් දැක තිබූ වීරයන් අතරින් වෙන් කර ඉස්මතු වන්නට හේතුවක් විය. අනෙක මේ චරිතය තුළ වූ වනාන්තරය පිළිබඳ ගැඹුරු සහකම්පනයෙන් යුක්ත අවබෝධය ඔහු අනෙක් වීරයන්ට වඩා වෙනස් චරිතයක් ලෙස හඳුනා ගන්නට පාඨකයෝ පෙළඹුනහ. මේ චරිතයේ වූ සාර්ථකත්වය නිසා ටාසන් චරිතය ඇසුරින් පොත් මාලාවක්ම නිර්මාණය කරන්නට බරොස් උත්සුක විය. මේ සියල්ල තුළින් ටාසන් චරිතය සාහිත්‍ය ලෝකය තුළ බිහි වූ මුල්කාලීන වීරයින් අතරින් ප්‍රමුඛස්ථානයකට පත් විය.

රොන් එලි
ටාසන් සිය චිම්පන්සි මිතුරා සමග

තිරිසන් සතකු තුළ වූ ශූරභාවය සහ සහජ බුද්ධියත්, මිනිසකු තුළ වූ බුද්ධිමත්බවත් එක් වූ සංකීර්ණ පුද්ගලයකු ලෙස ටාසන් චරිතය ගොඩනගන්නට බරොස් උත්සුක වී තිබිණි. සිනමා සහ රූපවාහිනි නිර්මාණ සඳහා වීර චරිත සොයා ගෙන යද්දී, එකී නිර්මාණකරුවන්ගේ නිසැක අවධානය ටාසන් චරිතය වෙතට යොමු වන්නට මේ ගුණාංගයන් හේතු විය. නිහඬ චිත්‍රපට පැවති යුගයේ සිටම ටාසන් චරිතය ජීවමාන වී ප්‍රේක්ෂකයන් අතරට පැමිණියේය. එල්මෝ ලින්කන්, ජොනී වෙයිස්මුලර් සහ ලෙක්ස් බාකර් වැනි රංගන ශිල්පීන් ටාසන් චරිතයට පණ දුන්න ද, 1966 වසරේ රොන් එලි විසින් ටාසන් චරිතය ජීවමාන කරද්දී එය බරොස් සිය නවකතාවෙන් අපේක්ෂා කළ චරිතය ඉතාමත් සමීප ලෙසින් නිරූපණය කරන්නට තරම් දක්ෂ විය.

රොන් එලි හුදෙක් මාංශ පේශීන් සහිත නිර්භය පෙනුමක් සහිත සාම්ප්‍රදායික හොලිවුඩ් රංගන ශිල්පියකු පමණක් නොවීය. ඔහු ටාසන් චරිතයට බුද්ධිමත් අර්ථකතනයක් එක් කරන්නට සමත් විය. ඒ තුළින් ඔහු රණ ශූරයකු මෙන්ම වනාන්තරයේ එකම නියෝජිතයා ලෙස ද ඉස්මතු විය. නිර්භයව පමණක් නොව බුද්ධිමත් බවින් සහ සහකම්පනයෙන් යුක්තව සටන් කරන චරිතයක්, රොන් විසින් නිරූපණය කළ ටාසන් චරිතය තුළින් රූපවාහිනී ප්‍රේක්ෂකයා හඳුනා ගත්තේය. ඒ වන විට රුපවාහිනී වීර චරිත තුළින් දැක නොතිබුණු ගැඹුරක් මේ චරිතය තුළින් කැපී පෙනෙන්නට විය. ඔහු කැලෑව ආරක්ෂා කළේ එය රාජකාරියක් ලෙස පමණක් නොව මහත් ආදරයෙන් සහ අවබෝධයෙනි. බරොස්ගේ ටාසන් චරිතය එලෙසින්ම වාගේ ප්‍රේක්ෂකයා ඉදිරියට රැගෙන එන්නට රොන් එලි දක්ෂයෙක් විය.

රොන් එලි සිය බිරිඳ සමග

රොන් එලි, ටාසන් චරිතය තුළ ජීවත් වෙමින් එය නිරූපණය කළ රංගන ශිල්පියකු ලෙස සඳහන්ය. ඔහු මෙහි අනතුරුදායක දර්ශන සඳහා වෙනත් රංගන ශිල්පියකු යොදා ගන්නට කැමති වූයේ නැත. එබැවින් ඔහු මුහුණ දුන් අවදානම් සහ අසාමාන්‍ය අවස්ථා කොතෙකුත් තිබිණි. ඔහු කීප වතාවක් සිය ජීවිතය අවදානමේ හෙලා ගත්තේය. සිංහයකු විසින් ඔහුව සපෑ කෑම ඒ අතරින් එක් සිද්ධියකි. බරොස් විසින් නිර්මාණය කළ ටාසන් චරිතය අව්‍යාජව ජීවමාන කරන්නට රොන් එලි උත්සාහ කළ බව මේවායෙන් මොනවට පැහැදිලිය. ඔහුගේ කැපවීමෙහි ප්‍රතිඵල ඔහු වෙතම ලැබිණි. ප්‍රේක්ෂකයින් ටාසන් සහ රොන් එලි යනු දෙදෙනෙකු ලෙස නොව එක් අයකු ලෙස ආදරයෙන් වැළැඳගන්නට තරම් ඔහුගේ කැපවීම ප්‍රබල විය.

රොන් එලි සිය බිරිඳ සමග

1966 වසරේ රූපවාහිනිය තුළින් දුටු ටාසන් චරිතය ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් විය. මුල් කාලීන ටාසන් චරිතය තුළින් ප්‍රේක්ෂකයන් දුටුවේ ‘උතුම් තිරිසනෙකි’. එනම් තිරිසන් සතකු ලෙස කැලෑව තුළින් හැදී වැඩී යම් යම් අවස්ථාවල දී මිනිස් ගුණාංග මතුවන චරිතයක් ලෙසිනි. නමුත් රොන් එලිගේ ටාසන් චරිතය වූ කලී හොඳින් ඉංග්‍රීසි බස හසුරුවන, බුද්ධිමත් සහ දයානුකම්පාවෙන් යුක්ත වූවක් විය. ඒ චරිතය වූ කලී හුදෙක් කැලෑ මෘගයකු නොව වනාන්තරයේ සහ සතුන්ගේ ආරක්ෂකයකු ලෙස ඉස්මතු විය.

රොන් එලි තුලින් ජීවමාන වූ ටාසන්

1966 වසරේ රූපවාහිනිය තුළින් දුටු ටාසන් චරිතය ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් විය. මුල් කාලීන ටාසන් චරිතය තුළින් ප්‍රේක්ෂකයන් දුටුවේ ‘උතුම් තිරිසනෙකි’. එනම් තිරිසන් සතකු ලෙස කැලෑව තුළින් හැදී වැඩී යම් යම් අවස්ථාවල දී මිනිස් ගුණාංග මතුවන චරිතයක් ලෙසිනි. නමුත් රොන් එලිගේ ටාසන් චරිතය වූ කලී හොඳින් ඉංග්‍රීසි බස හසුරුවන, බුද්ධිමත් සහ දයානුකම්පාවෙන් යුක්ත වූවක් විය. ඒ චරිතය වූ කලී හුදෙක් කැලෑ මෘගයකු නොව වනාන්තරයේ සහ සතුන්ගේ ආරක්ෂකයකු ලෙස ඉස්මතු විය. රොන්, මේ චරිතය සමග කෙතරම් තදින් බැඳී සිටියේ ද කිවහොත්, ටාසන් යනු කැලෑවේ ආරක්ෂකයා පමණක් නොව එහි මිතුරා ද යන පණිවිඩය ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්නට ඔහුට හැකි විය. පරිසරය ආරක්ෂා කළ යුතුය බවට අදහස් සහ මානව – සත්ත්ව සබඳතා මිනිස් සමාජය තුළ කතිකාවන්ට බඳුන් වීම ආරම්භ වූ කාලයේ මේ චරිතය එකී අදහස් තවත් දිරිමත් කරන්නට හේතුවක් විය.

මේ රූපවාහිනි කතා මාලාව තුළ ටාසන්ගේ ලෝකය කොටසේ කිහිපයකින් යුක්තව හඳුනා ගත හැකිය. කතා මාලාවේ රචකයින් බරොස් ඉස්මතු කරන්නට උත්සාහ කළ සංරක්ෂණය, යුක්තිය සහ සොබා දහම සමග බැඳුණු මනුෂ්‍යත්වය ඒ අයුරින්ම පිළිබිඹු වන අයුරින් ටාසන් චරිතය ගොඩ නගන්නට උත්සාහ කොට තිබිණි. ශිෂ්ටත්වය තුළ මුල් බැස ගත් නමුත් වනාන්තරය සමග ඒකාත්මික වූ එකී චරිතය නිරූපණය කරන්නට රූපවාහිනී කතා නිර්මාණකරුවන් සොයා ගත් හොඳම රංගධරයා රොන් එලී වූයේය.

 

බොහෝ රූපවාහිනී ප්‍රේක්ෂකයන් පවසන ආකාරයට ඔවුන් ටාසන් චරිතය වඩාත් හොඳින් දැක තිබුණේ රොන් එලි තුළිනි. ඒ නිසාම එසමයෙහි ඔහු ලොව පුරා තරුණ රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතර පූර්වාදර්ශකයක් මෙන්ම රුපවාහිනී තරුවක් බවට පත් විය. වීරයා යනු හුදෙක් ශරීර ශක්තිය පමණක් නොව, දයානුකම්පාව, බුද්ධිමත් බව වගකීම් සහගත බව මුසුවූ චරිතයක් විය යුතු බවට තරුණ පරපුර අතර හැඟීමක් ඇති කරන්නට රොන් එලි නිරූපණය කළ ටාසන් චරිතයට හැකියාව ලැබිණි. ටාසන් නම් වීර චරිතය ජීවමාන කිරීමේ සැබෑ හිමිකාරිත්වය ලැබෙන්නේ රොන් එලිටය.

රොන් එලි තුලින් ජීවමාන වූ ටාසන්
එඩ්ගා රයිස් බරොස්
ටාසන් රූපවාහිනිය මත දිග හැරෙන්නේ දිය ඇල්ලක් මත සිට සතුන්ට අමතන මේ සුපුරුදු දර්ශනයෙනි
රොන් එලි තුලින් ජීවමාන වූ ටාසන්

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර