කලින් හඳුනාගත් තරමට වකුගඩු රෝග සුවපත් කිරීම පහසුයි – වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය චූලා හේරත්

වකුගඩු අපේ ශරීරයේ තිබෙන ඉතා වැදගත් වූ ඉන්ද්‍රියයන් අතරින් ප්‍රධාන එකක්. මේ අවයවයෙහි තරම පිළිබඳව සැලකුවහොත් එය මිට මෙලවූ අත් දෙකකට වඩා ලොකු නෑ. නමුත් මෙයින් කෙරෙන කාර්යය කෙසේවත් සුළුපටු නොවෙයි.
අපගේ උදර කුහරය තුළ පිහිටා තිබෙන මෙම ඉන්ද්‍රිය මගින් කරනු ලබන ප්‍රධානතම කාර්යය විෂ ද්‍රව්‍ය සහ අමතර ජලය ඉවත් කිරීමයි. වකුගඩු මගින් දිනකට රුධිරය ලීටර් 200ක පමණ ප්‍රමාණයක් පිරිසිදු කරනු ලබනවා. හරියටම කිවහොත් එහි පරිමාව සාමාන්‍ය ප්‍රමාණයේ බාල්දි විස්සක් පිරවීමට ප්‍රමාණවත්. මීට අමතරව රුධිර පීඩනය පාලනය කිරීමටත්, රතු රුධිර සෛල නිපදවීමටත්, අස්ථි නිරෝගීව පවත්වා ගැනීමටත් වකුගඩු උපකාරී වෙනවා.

වකුගඩුවල ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් අඩපණ වීම කාලීන වකුගඩු අකර්මණ්‍යතාවය ලෙස හඳුන්වනවා. මෙය බොහෝ විට නිහඬ තත්ත්වයක්. එනම් කිසිදු රෝග ලක්ෂණයක් රෝගියාට පහළ නොවීමටද පුළුවන්. නමුත් අප සිතනවාට වඩා මේ තත්ත්වය බහුල ව පවතිනවා.
අපේ රටේ වර්තමානය වන විට හෘද රෝග, අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ කාලීන වකුගඩු අකර්මණ්‍යතාවය වැනි බෝ නොවන රෝග ඉතා සුලභ යි. අපේ රටේ ප්‍රජා සෞඛ්‍යයටත්, සෞඛ්‍ය වැය ශීර්ෂවලටත් වඩාත් තර්ජන එල්ල වී ඇත්තේ මෙම රෝගවලින්. මෙම බෝ නොවන රෝගවල බලපෑම වැඩි වැඩියෙන් පවතින්නේ දියුණු වන රටවලට වීමට පැහැදිලි වූත්, භයානක වූත් ප්‍රවණතාවයක් තිබෙනවා.
වකුගඩු රෝග නිසා සිදුවන්නේ වකුගඩු අක්‍රිය වීම පමණක් නොවෙයි. ඊට අමතරව වෙනත් රෝගාබාධ වඩාත් උත්සන්න වීමද මේ නිසා සිදුවෙනවා. දියවැඩියා සහ අධි රුධිර පීඩන රෝගීන්ගේ මරණ සිදුවීමට වකුගඩු ආබාධ බලපානවා.

වකුගඩු ක්‍රියාකාරීත්වයේ අසාමාන්‍යතා හඳුනා ගැනීම යනු සම්පූර්ණ රුධිරවාහිනී පද්ධතියේ තත්ත්වය දැනගත හැකි කවුළුවක් වැනියි. මේ තුළින් හෘදයාබාධ, වකුගඩු අකර්මණ්‍යතාව, අංශභාගය සහ පර්යන්තවාහිනී රෝග ආදී වඩාත් භයානක තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට අවස්ථාව ලැබෙනවා. මුත්‍රාවල ඇල්බියුමින් පිටවීමේ වැඩිවීමක් හෝ වකුගඩු ක්‍රියාකාරීත්වයේ අඩුවක් පවතී නම් එය කාලීන වකුගඩු අකර්මණ්‍යතාවය හඳුනාගත හැකි ලක්ෂණයන්. මේ තත්ත්වය නිසා අධි රුධිර පීඩනය, නිරක්තිය හෙවත් රුධිරයේ හිමොග්ලොබින් අඩුවීම හෘද රෝග හා රුධිරවාහිනී රෝග හට ගැනීමට පුළුවන්. කාලීන වකුගඩු අකර්මණ්‍යතාවයක් ඇතිවීමට බලපාන බහුලතම හේතූන් වන්නේ අතීතයේදී නෙෆ්රොටික් හෝ මුත්‍රා ප්‍රදාහ තත්ත්වයන් ඇතිවීම, ක්ෂුද්‍ර ජීවී ආසාදන, මුත්‍රා මාර්ගයේ අවහිරතා, පරම්පරාගත රෝග ආදියයි. මේ වන විට මේ සඳහා බලපාන බහුලම හේතූන් වී ඇත්තේ දියවැඩියාව සහ අධි රුධිර පීඩනයයි.

කාලීන වකුගඩු අකර්මණ්‍යතා පරීක්ෂණ මගින් හඳුනා ගත හැකියි. කුඩා රුධිර සාම්පල හා මුත්‍රා සාම්පලවල ඇති අසාමාන්‍යතා රසායනාගාර පරීක්ෂණ තුළින් හඳුනා ගැනීමට පුළුවන්. මුත්‍රාවලින් පිටවන ඇල්බියුමින් ප්‍රමාණයත්, රුධිරයේ ක්‍රියැටිනින් ප්‍රමාණය හා ඒ මඟින් ගණනය කර ගත හැකි මුත්‍රා පෙරීමේ වේගයත් හඳුනා ගැනීම මූලික පරීක්ෂණ යි.

කාලීන වකුගඩු අකර්මණ්‍යතා පරීක්ෂණ මගින් හඳුනා ගත හැකියි. කුඩා රුධිර සාම්පල හා මුත්‍රා සාම්පලවල ඇති අසාමාන්‍යතා රසායනාගාර පරීක්ෂණ තුළින් හඳුනා ගැනීමට පුළුවන්. මුත්‍රාවලින් පිටවන ඇල්බියුමින් ප්‍රමාණයත්, රුධිරයේ ක්‍රියැටිනින් ප්‍රමාණය හා ඒ මඟින් ගණනය කර ගත හැකි මුත්‍රා පෙරීමේ වේගයත් හඳුනා ගැනීම මූලික පරීක්ෂණ යි.
මෙම රෝග තත්ත්වය හඳුනා නොගතහොත් ඇතිවන පළමු ප්‍රතිඵලය නම් ක්‍රම ක්‍රමයෙන් වකුගඩුවල ක්‍රියාකාරිත්වය අඩු වී අක්‍රිය තත්ත්වයට පත්වීමයි. මෙවැනි තත්ත්වයකට පත්වූ රෝගියෙකුට අලුතින් වකුගඩුවක් බද්ධ කිරීමට හෝ රුධිරය යාන්ත්‍රිකව පිරිසිදු කිරීමට සිදුවිය හැකියි. කාලීන වකුගඩු අකර්මණ්‍යතාවය හඳුනා නොගැනීමෙන් අත්වන දෙවන ප්‍රතිඵලය හෘද රෝග හට ගැනීමෙන් අකාලයේ මියයාමේ හැකියාව බොහෝ සෙයින් වැඩිවීමයි.

මතුපිටින් මුළුමනින්ම නිරෝගී බවක් පෙන්වූවද කෙනෙකුට කාලීන වකුගඩු අකර්මණ්‍යතාවයේ මුල් අවස්ථාව පැවතිය හැකියි. මෙවැනි අය හෘද රෝගයකින් හෝ ඒ ආශ්‍රිත රෝගයකින් මියයාමේ හැකියාව දස ගුණයකින් පමණ වැඩියි. වසරකට ලොව පුරා හෘදයාබාධ හා ආශ්‍රිත රෝග මිලියන 12ක් පමණ ඇතිවීමට වකුගඩු රෝග දායක වෙනවා. ලොව ව්‍යාප්තව පවතින දියවැඩියා වසංගත තත්ත්වය නිසා මෙම සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.
කාලීන වකුගඩු අකර්මණ්‍යතාවය මුල් අවස්ථාවේදී බොහෝ විට හඳුනා ගැනෙන්නේ නෑ. නමුත් ගැටලු ඇතිවූ පසු හඳුනා ගන්නවාට වඩා මුල් අවස්ථාවේ හඳුනා ගැනීම තුළින් ඒ තත්ත්වය වළක්වා ගැනීමට කළ හැකි ප්‍රතිකාර ආරම්භ කරන්නට පුළුවන්. රුධිර ක්‍රියැටිනින්, මුත්‍රා ඇල්බියුමින් ආදී සරල පරීක්ෂණ මගින් මුල් අවස්ථාවේදි මෙය හඳුනා ගත හැකියි.

රෝග ලක්ෂණ නොපෙන්වන මට්ටමේ වකුගඩු රෝග හඳුනා ගැනීම සඳහා වැඩි අවදානමකින් යුතු පුද්ගලයන් පරීක්ෂා කළ යුතුයි. එම පුද්ගලයන් වන්නේ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය සහිත රෝගීන්, ස්ථූලභාවයෙන් පෙළෙන පුද්ගලයින්, දුම් පානය කරන්නන්, වයස අවුරුදු පනහට වැඩි පුද්ගලයන්, සමීප ඥාතියෙකුට දියවැඩියාව අධි රුධිර පීඩනය හෝ වකුගඩු රෝග ඇති පුද්ගලයන් යන අයයි.

රෝග ලක්ෂණ නොපෙන්වන මට්ටමේ වකුගඩු රෝග හඳුනා ගැනීම සඳහා වැඩි අවදානමකින් යුතු පුද්ගලයන් පරීක්ෂා කළ යුතුයි. එම පුද්ගලයන් වන්නේ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය සහිත රෝගීන්, ස්ථූලභාවයෙන් පෙළෙන පුද්ගලයින්, දුම් පානය කරන්නන්, වයස අවුරුදු පනහට වැඩි පුද්ගලයන්, සමීප ඥාතියෙකුට දියවැඩියාව අධි රුධිර පීඩනය හෝ වකුගඩු රෝග ඇති පුද්ගලයන් යන අයයි.
වකුගඩු ආරක්ෂා කිරීමේ හැකියාව සහිත ප්‍රතිකාර ක්‍රම මූලික අවස්ථාවන්හි පවතින වකුගඩු රෝග වලදී ද යොදාගත යුතුයි.
පහත දැක්වෙන ප්‍රතිකාර ක්‍රම සාර්ථකව වකුගඩු රෝගවලට මෙන් මෙන්ම හෘද රෝගවලට ද ආරක්ෂාවක් ලබා දෙනවා.

* ඒ.සී.ඊ.අයි. සහ ඒ.ආර්.බී. කාණ්ඩවල ඖෂධ
* රුධිර පීඩනය අඩු කිරීම ( රුධිර පීඩනය අඩුවෙන තරමට වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවීමේ ශීඝ්‍රතාවය අඩුවෙනවා.)
* රුධිරයේ සීනි, රුධිරයේ පවතින ලිපිඩ් ප්‍රමාණය නිරක්තිය පාළනය කිරීම
* දුම්බීමෙන් වැළකීම
* කායික ක්‍රියාකාරීත්වය වැඩි කිරීම එනම් වැඩිපුර ව්‍යායාම කිරීම
* සිරුරේ බර පාලනය කර ගැනීම
ඒ.සී.අයි. හා ඒ.ආර්.බී. කාණ්ඩවල ඖෂධ මගින් රෙනින්- ඇන්ජියෝටෙත්සින් පද්ධතියට අවහිර කිරීම තුළින් වටිනා ප්‍රතිඵල ලබාගත හැකියි. හෘද රෝග හා ඒ ආශ්‍රිත රෝග, දියවැඩියාව, අධිරුධිර පීඩනය කාලීන වකුගඩු අකර්මණ්‍යතා ආදියේ බලපෑම අවම කළ හැකි සාපේක්ෂව අඩු වියදම් සහිත ප්‍රතිකාර ලෙස මේවා හඳුන්වන්න පුළුවන්.

වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය චූලා හේරත්

ඉන්දු පෙරේරා

විනිවිද සායනය