ක්ෂණික ජනප්‍රියත්වය දරා ගත නොහැකිව මෙලොව හැර ගිය යොවුන් ගායකයා – One Direction සංගීත කණ්ඩායමේ ලීයම් පේන්

ලියම් පේන් අවසන් වරට ගත් ඡායාරූපයක්

ලොව පුරා අතිශය ජනප්‍රිය බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායමක් වූ One Direction හි හිටපු සාමාජිකයකු වූ 31 හැවිරිදි ලීයම් පේන්, ආර්ජන්ටිනාවේ බුවනොස් අයර්ස් හි කාසා සර් හෝටලයේ තෙවැනි මහලින් ඇද වැටී පසුගිය 16 වැනිදා අභිරහස් ලෙස මිය යාමේ සිදුවීම වින්දනාත්මක ක්ෂේත්‍රය තුළ මෙන්ම මේ සංගීත කණ්ඩායම වටා ගොඩනැගුණු රසික පිරිස අතර ද මහත් කම්පනයක් ඇති කොට තිබේ. ඔහු බුවනොස් අයර්ස් හි මේ හෝටලයට පැමිණ තිබුණේ පසුගිය සැප්තැම්බර් 30 වැනිදා සිය පෙම්වතිය වූ කේට් කැසිඩි සමගිනි. කෙසේ නමුත් ඔක්තෝබර් 12 වැනිදා TikTok සමාජ ජාලයේ I just need to go home යනුවෙන් වීඩියෝවක් ප්‍රසිද්ධ කරමින් ඇය ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාව කරා පැමිණ ඇති අතර ඔහු ආර්ජන්ටිනාවේ තවදුරටත් නැවතී තිබේ. ඔහු මේ ගමනේ දී One Direction කණ්ඩායමේ සිටි නියාල් හොරාන් සමග සිය මිතුදම අලුත් කර බව ද වාර්තා වී තිබේ. හෝටල් සේවකයන් පවසා ඇත්තේ ඔහු නිතරම පාහේ දැඩි ලෙස මත් වූ ස්වභාවයකින් සිටි බවය.

ලියම් සිය පෙම්වතිය වූ කේට් සමග

බලධාරීන් විසින් ලීයම් පේන්ගේ මරණය පිළිබඳ තවමත් සම්පූර්ණ වාර්තාවක් හෙළිදරව් කොට නොමැති අතර, මේ ලිපිය සම්පාදනය කරන මොහොත වන විට ද මරණය පසුපස යම් කිසි සැක කටයුතු කාරණයක් තිබේදැයි වාර්තා වී නොතිබුණි. මේ සිදුවීමත් සමග වින්දනාත්මක ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයේ හිනි පෙත්තෙහි වැජඹෙන කලාකරුවන්ගේ ස්වභාවය, කීර්තිය නිසා ඇති වන පීඩනය මත ඔවුන්ගේ ජීවිත වෙනස් වන ආකාරය ආදිය පිළිබඳ විවිධ කාරණා ඉස්මතු වන්නට පටන් ගෙන තිබේ.

One Direction සංගීත කණ්ඩායමේ කතාව ආරම්භ වන්නේ 2019 වසරේ දී බ්‍රිතාන්‍යයේ පවත්වන්නට යෙදුණු කුසලතා පෙන්වීමේ තරගයක් වන The X Factor සමගිනි. තරගය තුළ මේ කණ්ඩායම මුලින්ම පැවතියේ තනි ඒකකයක් ලෙස නොවේ. එය තනි ඒකකයක් බවට පත් කරන්නට මුල් වූයේ සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන සයිමන් කොවෙල් ය.

One Direction සංගීත කණ්ඩායමේ සාමාජිකයන්

One Direction සංගීත කණ්ඩායමේ කතාව ආරම්භ වන්නේ 2019 වසරේ දී බ්‍රිතාන්‍යයේ පවත්වන්නට යෙදුණු කුසලතා පෙන්වීමේ තරගයක් වන The X Factor සමගිනි. තරගය තුළ මේ කණ්ඩායම මුලින්ම පැවතියේ තනි ඒකකයක් ලෙස නොවේ. එය තනි ඒකකයක් බවට පත් කරන්නට මුල් වූයේ සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන සයිමන් කොවෙල් ය. මේ සංගීත කණ්ඩායමේ සාමාජිකයන් වූ ලීයම් පේන්, හැරී ස්ටයිල්ස්, සේන් මලික්, ලුවිස් ටොම්ලින්සන් සහ නියාල් හොරාන් සිටියේ වෙන් වෙන් වශයෙන් වූ තරගකරුවන් ලෙසිනි. නමුත් මේ සියලු දෙනා එක් ඒකකයක් බවට පත් කොට සංගීත කණ්ඩායමක් ලෙස ඉදිරිපත් කිරීමෙහි ඇති වටිනාකම මේ තරගයේ සිටි විනිසුරුවෝ අවබෝධ කොට ගත්හ. ඔවුන් කණ්ඩායමක් ලෙස මේ තරගයේ ජයග්‍රාහකයන් වූයේ නැත. ඔවුනට හිමි වූයේ තෙවැනි ස්ථානය ය. නමුත් එය ආරම්භයක් පමණක් විය.

One Direction සංගීත කණ්ඩායමේ සාමාජිකයන්

මේ සංගීත කණ්ඩායම මුල් කාලයේ නිර්මාණය කළ What Makes You Beautiful සහ Live While We’re Young යන ගීත ඔවුන්ට ජාත්‍යන්තර තලයේ පිළිගැනීමක් ලබා දෙන්නට හේතු විය. යොවුන් සංගීත රසකාමීන්ගේ ආදරය ඔවුනට නොඅඩුව හිමි විය. ඔවුන්ගේ කුළුඳුල් ඇල්බමය වූ Up All Night (2011) සංගීත දර්ශකවල ප්‍රමුඛස්ථානයේ වැජඹුණා පමණක් නොව ජාත්‍යන්තරයට පිවිසීමට දොරගුළු ද විවර කර දුන්නේය. සංගීත කණ්ඩායම තුළ වූ තරුණ ජවය මගින් ඇති කළ ආකර්ෂණය නිසා One Direction ලොව පුරා උන්මාදයක් බවට පත් විය. ඔවුන්ගේ සංගීත ඇල්බම වාර්තා බිඳ දමමින් අළෙවි වන්නට පටන් ගැනුණි.

One Direction සංගීත කණ්ඩායමේ සාමාජිකයන්

ලීයම් පේන් මේ සංගීත කණ්ඩායමේ කැපී පෙනෙන චරිතය බවට ඉස්මතු විය. ඔහුව කණ්ඩායම තුළ හඳුන්වනු ලැබුවේ Dad යන නමිනි. ඔහු විසින් ගයනු ලැබූ Story of My Life සහ Night Changes වැනි ගීත යොවුන් සංගීත රසකාමීහු මහත් ආදරයෙන් වැළඳ ගත්හ. එය හුදෙක්ම තරුණයන් පිරිසකගෙන් සමන්විත සංගීත කණ්ඩායමක් පමණක් නොව සංස්කෘතික බලවේගයක් බවට ද පත් විය.

ලියම් රසිකයින් සමග

One Direction ජනප්‍රියත්වයට පත් වෙද්දී එය සමාජ මාධ්‍ය ඔස්සේ සංගීත රසකාමීන් අතර නිරන්තර ඇගයීමට ලක් වෙමින් නව යුගයේ සංකේතයක් බවට පත් විය. කෙසේ නමුත් 2015 වසරේ දී සේන් මලික් සංගීත කණ්ඩායමෙන් ඉවත් වූ අතර එය One Direction නොපවතින සංගීත කණ්ඩායමක් බව අඟවන පළමු සලකුණ විය. මලික්ගේ සමු ගැනීමෙන් පසු ඉතිරි සිව්දෙනා සංගීත කණ්ඩායමේ පස්වැනි ඇල්බමය වූ Made in the A.M. 2016 වසරේ දී නිකුත් කළහ. කණ්ඩායම තවදුරටත් බිඳී නොයන බවට ඔවුන් රසිකයන්ට පොරොන්දු වුව ද, සියලු දෙනා තනි තනි වශයෙන් ගී නිර්මාණයන් ඉදිරිපත් කරමින් සංගීත කණ්ඩායමේ කාලය අවසන් වෙමින් පවතින බවට ඉඟි පළ කළහ.

නාන බේසමේ මත්ද්‍රව්‍ය සඳහා භාවිත වන ෆොයිල් කොල තිබිණි.

ලීයම් පේන් ද සංගීත ලෝකයේ නව මං පෙත් සොයා යමින් කණ්ඩායම නොමැතිව හුදකලා නිර්මාණ කරන්නට පටන් ගත් අතර ඔහුගේ Strip That Down සහ Bedroom Floor වැනි ගීත ඔහුටම වෙන් වූ අනන්‍යතාවක් ගොඩනගන්නට හේතු විය. ඔහු සංගීත ලෝකයේ නව මං පෙත් විවර කර ගත්ත ද, ඔහුගේ පෞද්ගලික ජීවිතය කැලඹිලි සහිත, විවිධ සබඳතාවලින් ගහන වූ, මානසික පීඩාවන්ගේ වේදනාවලින් පිරී ගිය එකක් විය.

ලියම්ගේ මේසය මත සුදු පැහැ කුඩක් විසිර තිබිණි.

පේන්, ඛේදජනක මරණයකට පත් වන්නේ මෙවැනි තත්ත්වයක් මැදය. ඔහු ඇබ්බැහිවීම් සහ කාංසා තත්ත්වයන් සමග අරගලයක යෙදී සිටි බව ප්‍රසිද්ධ කරුණක් වුව ද, මෙවැනි ඛේදජනක තත්ත්වයක් මේ තරම් ඉක්මනින් උදා වේ යැයි කිසිවකු සිතුවේ නැත. දැනට ලැබී ඇති වාර්තාවලට අනුව ඔහුගේ මරණයට හේතු වූ කාරණා පිළිබඳ තවමත් විමර්ශනයන් සිදු වෙමින් පවතින බව දැන ගන්නට ලැබී තිබේ. ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ශරීරයේ යම් විෂක් තිබේදැයි කරන ලද පරීක්ෂණයේ වාර්තාව මේ ලිපිය සම්පාදනය කරන මොහොත වන තුරු හෝ නිකුත් වී තිබුණේ නැත.

ලියම් පේන්

කෙසේ නමුත් තහවුරු නොවූ විවිධ දූෂමාන ආරංචි ද පැතිර යමින් පවතී. One Direction සංගීත කණ්ඩායම තුළ ඔහු ගත කළ කාලය සහ ඉන් පසු කාලය තුළ ඇති වූ ඇද වැටීම් සහ නැගී සිටීම් ඔහු තුළ මහත් පීඩනයක් ඇති කළ බව ඇතැම්හු පෙන්වා දෙති. තවත් පිරිසක් පවසන්නේ සිය මානසික පීඩාවන් දරා ගත නොහැකි වූ තැන ඔහු මේ ගොඩනැගිල්ලෙන් පැන සිය දිවි නසා ගත් බවය. තමා මහත් මානසික පීඩාවන්ගේ පීඩා විඳිමින් සිටින බව ඔහු සමග කළ සම්මුඛ සාකච්ඡා කිහිපයකදීම ඔහු ප්‍රසිද්ධියේ පවසා තිබිණි. මත්පැන්, කාංසාව සහ ඔහුගේ ජනප්‍රියත්වයේ අඳුරු පැත්ත සමග මහජනතාවට මුහුණ දීමේ යම් ගැටලුවකින් පෙලී සිටින බව ද ඔහු ඇතැම් අවස්ථාවල දී පවසා තිබිණි.

ලීයම් පේන්

The X Factor සඳහා ඉදිරිපත් වූ තරගකරුවන් උල්කාපාතයක් පතිත වන්නා සේ කිසිදු පෞද්ගලික වෙහෙස මහන්සියකින් තොරව ක්ෂණිකව ජනප්‍රිය වීම මෙසේ දරා ගත නොහැකිව මානසික පීඩාවක් දක්වා ගමන් කළා විය හැකිය. ලෝකයේ බොහෝ රියැලිටි තරගවල ජයග්‍රාහකයන් ක්ෂණිකව, ක්‍රමික වෙහෙසකින් තොරව ජනප්‍රිය වීම මත මෙවැනි මානසික බිඳ වැටීම් සිදුව ඇති බවට බොහෝ නිදසුන් පවතී.

ලියම් පෙනී නැවතී සිටි හෝටලය

The X Factor සඳහා ඉදිරිපත් වූ තරගකරුවන් උල්කාපාතයක් පතිත වන්නා සේ කිසිදු පෞද්ගලික වෙහෙස මහන්සියකින් තොරව ක්ෂණිකව ජනප්‍රිය වීම මෙසේ දරා ගත නොහැකිව මානසික පීඩාවක් දක්වා ගමන් කළා විය හැකිය. ලෝකයේ බොහෝ රියැලිටි තරගවල ජයග්‍රාහකයන් ක්ෂණිකව, ක්‍රමික වෙහෙසකින් තොරව ජනප්‍රිය වීම මත මෙවැනි මානසික බිඳ වැටීම් සිදුව ඇති බවට බොහෝ නිදසුන් පවතී. මරණයට හේතු වූ නිශ්චිත කාරණය දැන ගැනීම සඳහා යම් කාලයක් ගත විය හැකි නමුත්, ඉතාමත් යොවුන් වියේ දී අතිශය ජනප්‍රියත්වයට පත්වීම දරා ගත නොහැකි වීමෙන් ඇති වන මානසික පීඩනයට මෙවැනි ඛේදනීය තත්ත්වයක් ඇති කළ හැකිය යන මනෝ විද්‍යාත්මක කාරණය සාධනය කිරීම සඳහා මෙය කදිම නිදසුනක් වනු නිසැක ය.

ලියම් පේන්ගේ මරණය වෙනුවෙන් ශෝකය පළ කරන රසිකයින්
ලියම් පේන්ගේ මරණය වෙනුවෙන් ශෝකය පළ කරන රසිකයින්
ලියම්ගේ කාමරයේ රූපවාහිනියේ තිරය බිඳී තිබුණු අතර එයට පසෙකින් ෂැම්පේන් වීදුරුවක් දක්නට හැකි විය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර