කාන්තා චර්මජේදනය අල්ලාහ් ගේ නියමයක් ද?

ඉස්ලාමීය ආගමික සංස්කෘතික කරුණු සම්බන්ධයෙන් ලොව අනෙකුත් ජාතීන් ගේ සහ ආගමිකයන් ගේ විශේෂ අවධානය වරින් වර යොමු වෙයි.

ඒ අතරිනුදු ඉස්ලාමීය කාන්තාවන් සම්බන්ධ යම් යම් දේ කෙරෙහි අන්‍ය ජාතීන් ගේත්, ආගමිකයන් ගේත් නොමඳ අවධානය යොමුව තිබෙනු දක්නට පුළුවන. ඒ අතුරින් ප්‍රධාන තැනක් ගන්නේ ඉස්ලාම් ආගමික පුරුෂ පක්ෂය මෙන්ම ස්ත්‍රී පක්ෂය ද සුන්නත් කර තිබේද? යන්න දැන ගැනීම පිණිස වන ස්වභාවික කුතුහලයයි.

උපතින් මුස්ලිම් දෙමාපියනට දාව හැදී වැඩුණ ද මූලික සහ ද්විතීයික අධ්‍යාපනය සිංහල මාධ්‍යයෙන් හැදෑරූ මම පසුව සිංහල මාධ්‍යයෙන් ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධියක් ලබා දැනට දහතුන් වසරක් තිස්සේ රජයේ ගුරුවරියක ලෙස කටයුතු කරමි.ඒ ද සිංහල මාධ්‍යයෙනි. නමුදු මගේ අධ්‍යාපන අවදියේ දී හෝ සරසවි ජීවිතයේ දී ම`වෙතින් කිසිවකු නොඇසූ එක් ප්‍රශ්නයක් මගේ ගුරු ජීවිතයේ දී මගේ මිතුරියන් පවා අසන්නට පටන් ගෙන තිබේ. එනම් ඔබ සුන්නත් කර තිබේද? යන්න ය. එමෙන්ම ඒ සඳහා මා දුන් පිළිතුර මේ වන විට අපගේ ආචාර්ය මණ්ඩලයේ පුරුෂ පක්ෂය අතරට පවා සන්නිවේදනය වී ඇති බව මම ඉතා හොඳින් දනිමි.

ඉස්ලාම් සංස්කෘතියේ එන මෙවන් කරුණු සම්බන්ධයෙන් අන්‍යයන් දක්වන උනන්දුව හා කුතුහලය මෑතක සිට වේගවත්ව ඉහළ නැංවී ඇති බව පැහැදිලිවම පෙනෙයි.නමුදු මා වෙත යොමු වූ ඒ පැනයට ‘නැත’ යනුවෙන් දුන් කෙටි වාචික පිළිතුර ප්‍රමාණවත් නොවන නිසා ඒ සම්බන්ධයෙන් තරමක් විස්තරාත්මක යමක් මෙහි සටහන් කළ යුතු යැයි  සිතේ.                                                                                                                                                                                                                                                               සිංහල ගැමි වහරෙහි කිරිත්නන් කිරීම යනුවෙන් හැඳින්වෙන මෙය සුන්නත් කිරීම සහ චර්මජේදනය ලෙස හා ඉංග්‍රීසි බසින් (Circumcision) යනුවෙන් හැඳින්වෙයි. මෙහි දී සිදුවන්නේ සියුම් කුඩා කැපුමක් මගින් පුරුෂයන් ගේ ලිංගේන්ද්‍රියේ පෙර සම නම් කොටස ඉවත් කිරීම ය. ඉස්ලාමයේ මෙය හැඳින්වෙනුයේ ‘කත්නා’ යනුවෙනි.පුරුෂයකු මුත්‍රා සහ ශුක්‍ර පහ කළ පසු ලිංගේන්ද්‍රයන් පිරිසිදු කර ගැනීම අනිවාර්ය වේ.ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම පොදු මෙම ක්‍රියාව ඉස්ලාමයේ මෙය හැඳින්වෙනුයේ “වූලු”යනුවෙනි.පුරුෂයන් “කත්නා” නොකිරීම මත මුත්‍රා සහ ශුක්‍ර ඉතා සුළු ප්‍රමාණයක් වුව එම කෝෂය තුළ රඳා පැවතීම මත ඔහුගේ පිරිසිදු කමට යම් හානියක් සිදුවිය හැකි බැවින් පිරිමි දරුවන් කුඩා කාලයේ දීම එම සුන්නත් කිරීමට බඳුන් කරනු ලැබේ.

නූතන වෛද්‍ය විද්‍යාව අනුව වුව යමකුගේ සෞඛ්‍යයට කිසිදු තර්ජනයක් නොවන මෙම කාරිය ඇතැම් තත්වයන් යටතේ සැත්කමක් ලෙස ද පිරිමින්ට සිදු කරනු ලැබේ. එම ‘කත්නා’ හි ආගමික අරුත ඉස්ලාම් භක්තිකයා නිතිපතා දෙවියන් නමැදීම හෙවත් “සලාතය”සඳහා සුදුසු කායික, මානසික පවිත්‍රතාවයෙන් පසුවිය යුතු වීම ලෙස දැක්විය හැක. ඊට අමතරව එසේ ‘කත්නා’ වට බඳුන් වූ පුරුෂයා ගේ ලිංගික ජීවිතය ද වඩාත් සාර්ථක වන අතර එය වෛද්‍ය විද්‍යාත්මකව ද තහවුරු වී තිබේ. ඊට අමතරව ලිංගේන්ද්‍රිය ආශ්‍රිත රෝගාබාධ කිහිපයකින් අත් මිදීමට ද ඔවුනට එමඟින් ඉඩ ලැබෙනු ඇත.

එහෙත්, පිරිමින්ට බලපාන එම තත්වය කාන්තාවන් හට බල නොපාන බැවින් කාන්තාවන් කත්නා කිරීම සම්බන්ධ කිසිදු සඳහනක් මූලික ඉස්ලාමීය ඉගැන්වීම් වල නැත.

මොහොමඩ් නබි තුමන් විසින් ක්‍රි.ව හත් වන සියවසේ ලෝකයට ඉදිරිපත් කළ ඉස්ලාමීය දර්ශනය දිගු කලක් තිස්සේ ජන ව්‍යවහාරයේ පැවත ඒම තුළින් ඊට පසු කාලීනව ඊට විවිධ විෂම ආරෝපණයන් එක් වී තිබේ. ඉස්ලාම් ආගමික නීති සහ සදාචාර ධර්ම උගන්වන හදීස් (Hadith) නම් වන ආචාර ධර්ම පද්ධතියක් ඇත.

ඒවා බොහෝ දුරට බෞද්ධ අටුවා මෙන් පසු කාලීනව ලියැවුණු ඒවා වෙයි. ඒ ඇතැම් හදීස් ක්‍රිස්තු වර්ෂ 8-9 සියවස් වල ලියැවුණු ඒවා බව විශ්වාස කෙරෙන අතර ඒ ඇතැම් හදිස් මගින් ශුද්ධ වූ කුරානයේ මූලික ඉගැන්වීම් තහවුරු කෙරෙන බවත් ඇතැම් හදීස් ශුද්ධ වූ කුරානයේ මූලික ඉගැන්වීම් හා සමාන්තර බවත් තවත් කොටසක් ශුද්ධ වූ කුරානයේ මූලික ඉගැන්වීම් වලට ඉඳුරාම පටහැනි හා ඒවා ප්‍රතික්‍ෂේප කරන මත වාද බවත් ශාස්ත්‍රීය වශයෙන් තහවුරු වී තිබේ.

මානව විද්‍යාත්මකව ඒවා නම් කළ හැක්කේ මිථ්‍යා ප්‍රබන්ධ (Pseudepigrapha ) යනුවෙනි. ඉස්ලාමයේ දැක්වෙන අන්දමට පුරුෂ ලිංගය මෙන් ස්ත්‍රී යෝනිය ද අල්ලාහ් ගේ මැවීමකි. අභ්‍යන්තර බාහිර තොල් ආදී අංග ගණනාවකින් යුතු එහි වැදගත්ම කොටස වන්නේ භගමණිය (Clitoris) නමින් හැඳින්වෙන කොටසයි.

දරු උපත නම් ලොව උත්තරීතරම කාරිය සිදු වන ස්ත්‍රී යෝනියේ ඒ සඳහා අවශ්‍ය වන මූලික කටයුත්ත සම්පාදනය කර ගැනීම පිණිස කාන්තාව යොමු කරනුයේ එම භගමණිය මුල් කොට ලබන කාම උද්දීපනයයි.එනිසාම මෙයට දෙමළ භාෂාවෙන් ‘කාම පීඩම්’ කියා ද කියති.ඉස්ලාම් ඉගැන්වීම් වලට අනුව කාමාශාව යනු තම වර්ගයා බෝ කරවීම සඳහා අල්ලාහ් විසින් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සමසේ ප්‍රදානය කොට ඇති දි‍ව්‍යමය පාරිතෝෂිකයකි. එබැවින් අප එය බාර ගත යුත්තේ ද ඉස්ලාමයේ ඉගැන්වෙන ආචාර විචාර සම්ප්‍රදායන්ට යටත්ව පමණි.

එවන් තත්වයක් යටතේ සුන්නත් හෝ කත්නා කිරීම් වශයෙන් කාන්තාවක ගේ ශරීරයේ ඇති ලිංගිකත්වය හා සබැඳි සංවේදීතම ඉන්ද්‍රීය කොටස කපා දමන ලෙස අසීමිත දයාවන්ත වූද අපරිමිත කරුණාවන්ත වූද අල්ලාහ් නියම කොට ඇතැයි කීම ඉස්ලාමයට කරනු ලබන බරපතල නිග්‍රහයකි.

එමෙන්ම ස්ත්‍රී පුරුෂ ලිංගික සබඳතා මුල් කොට ලොව අන් කිසිදු ආගමක නොමැති අන්දමේ හදීස රාශියක් ඉස්ලාමයෙහි දැක්වෙන අතර ලිංගික සබඳතා වලදී අනුගමනය කළ යුතු නොකළ යුතු දේවල් රාශියක් එමඟින් විස්තර කොට තිබේ.

ඒවායින් සැමියාගේ සේම බිරිඳ ගේ කායික තෘප්තිය එකසේ වැදගත් බව ප්‍රකාශ කෙරෙන හදීස් රාශියකින් ද ඉස්ලාමය පොහොසත් බව කිව යුතුය.

මෙවන් තත්වයක් යටතේ ඉස්ලාමය මුල් කොට ගත් ඇතැම් සංස්කෘතික පසුබිම් තුළ හදීස් නමින් සමාජගත වූ පසුකාලීන මිථ්‍යා ප්‍රබන්ධ මුල්කොට කාන්තාවන් ද ‘කත්නා’ කළ යුතු බව පැවසෙන ඉස්ලාම් විරෝධී අදහස් පැතිර පවතින බව කිව යුතුය.

ලොව පුරාම ඇතැම් ඉස්ලාමීය සංස්කෘතික පසුබිම් තුළ සිදුවන මෙම ඉස්ලාම් විරෝධී ක්‍රියාව අප රටේ ද ඇතැම් නොදියුණු ඉස්ලාමීය ප්‍රජාවන් තුළ සිදු නොවන බවට සහතික වීමට මට නොපුළුවන.එමෙන්ම වෛද්‍යමය නොවන හේතූන් මත මෙලෙස කාන්තා ලිංගේන්ද්‍රියේ කොටසක් කපා දැමීම(FGM- Female genital mutilation ) ආගමික ස්වරූපයෙන් ස්ත්‍රීත්වයට එරෙහි බරපතල ඛේදවාචකයක් ලෙස හැඳින්වෙන අතර මෙය මැදපෙරදිග සහ ආසියා අප්‍රිකා රටවල සාම්ප්‍රදායික ඇතැම් ඉස්ලාමීය සංස්කෘතීන් වල අදටත් සිදුවන බව නොරහසකි.

ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත සහ තොරතුරු වලට අනුව මිලියන දෙසීයක පමණ කාන්තාවන් පිරිසක් ළමා වියේ දීම මෙම ඛේදවාචකයට ලක්ව සිටිති.එමෙන්ම ඔවුන් පෙන්වා දෙනුයේ මෙම අමානුෂීය ක්‍රියාව මුල් කොට කාන්තාවන් ප්‍රසව හා නාරිවේදය සම්බන්ධ රෝගාබාධ සහ සෞඛ්‍යමය තර්ජන, ගැටළු රැසකට මුහුණ දෙන බවකි. එනිසාම ඉස්ලාමීය දහම මුල් කොට ගත් මෙම බරපතල කාන්තා කෲරත්වය නතර කරවීම පිණිස ලොව විවිධ මානව හිමිකම් සහ කාන්තා සංවිධාන ද ඉදිරිපත්ව ඇති බවක් පෙනෙයි.

ලොව සෑම ආගමක් තුළින්ම පසුකාලීන සමාජ, ආර්ථික හේතූන් මත අනේක විධ අන්තවාදයන් සේම ත්‍රස්තවාදයන් ද බිහිවීම අරුමයක් නොවේ.

ලොව ආගම් අතුරින් ස්වභාවික සම්පත් අවම හා පරසතුරු උවදුරු බහුලතම පාරිසරික සහ සමාජ රටාවන් තුළ පරිනාමය වූ ඉස්ලාමය තුළ පසුකාලීනව පැනවුණු විවිධ නියාමනයන් එම සමාජ ක්‍රමවල ඉදිරි පැවැත්ම උදෙසා ඉස්ලාම් දහමට එක් වූ බව සමාජ විද්‍යාඥයන් විසින් අනාවරණය කර ගෙන තිබේ.

ඒ අනුව කාන්තාවන්ට ද පිරිමින්ට සේම ලිංගික රසාස්වාදය ලබා ගැනීම පිණිස අල්ලාහ් විසින් ලබා දුන් දි‍ව්‍යමය පාරිතෝෂිකය ගැන නොතකමින් යමකුගේ දිවේ ආහාරයේ රස දනවන කොටස් කපා ඉවත් කිරීම බඳුම මනුෂ්‍යත්වය සඳහා කළ හැකි බරපතලම ව්‍යසනයක් වන කාන්තා චර්මජේදය පසු කාලීනව ඉස්ලාම් සංස්කෘතිය තුළට පිවිසෙන ලද්දේ අසීමිත දයාවන්ත වූද අපරිමිත කරුණාවන්ත වූද අල්ලාහ් ගේ කැමැත්තට ඉඳුරාම පටහැනි ලෙසින් බව ශුද්ධ කුරානයේ නාමයෙන් සපථ කොට දැක්වීමට අපට පුළුවන.

ෆාතිමා හලල්දීන්

එතෙර - මෙතෙර