කාන්තාවන් ගේ “කිල්ල” ගැන සමාජ මිථ්‍යාව ඉස්ලාමයේ නැත

පසුගිය මැයි 29 ඉරුදින මම රජයේ පාසල් ගුරුවරියන් වශයෙන් සේවය කරන සිංහල මිතුරියන් තිදෙනකු ද සමඟ ගාලු මුවදොර අරගල බිමට ගියෙමි.අප රටේ සෑම ජන වර්ගයකටම අයත් අපූරු ජන සංයුතියක් එහි දක්නට ලැබුණු අතර අප සමාජයේ බෙදුණු බවක් දක්වන සියළු ජන වර්ගයන් මෙහි දී එක් සිත්ව එක්සත්ව කටයුතු කරන ලෙසක් එහි දී මනාව දැක ගත හැකි විය.අප රටේ සියළු ජන වර්ග වලින් සැදුම් ලත්”ශ්‍රී ලාංකේය”ජාතිය ප්‍රවර්ධනය කිරීම පිණිස එම අරගලයට නායකත්වය දුන් තරුණ පිරිස දැක්වූ පුරෝගාමී මෙහෙවර මෙහි දී බෙහෙවින් අගය කළ යුතු ය.

නමුදු ඉස්ලාම් දහම අදහන ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාව සම්බන්ධ සෙසු ජන කොටස් තුළ පවත්නා බරපතල අනවබෝධයන් දුරු කිරීම පිණිස වන විවෘත සමාජ සුසංවාදයක් පවතින අතරේම එම “ශ්‍රී ලාංකේය”ජාතිය ප්‍රවර්ධනය කිරීම පිණිස වන සමාජ යාන්ත්‍රණය සකස් විය යුතු යැයි මම සිතමි.එහෙත්, ඒ සඳහා මුස්ලිම් ජනතා හඬ සම්බන්ධයෙන් සිංහල මාධ්‍යයන් දැඩි මන්දෝත්සාහී බවක් පළ කරන පසුබිමක් තුළ මුස්ලිම් සමාජය සම්බන්ධ පොදු ජන සමාජයේ පවත්නා අනවබෝධය යම් තරමකට හෝ දුරලනු පිණිස මෙම සටහන ඉදිරිපත් කරමි “කිල්ල” යන වදන අප ජන වහරේ නිතර භාවිතා වන්නකි.

පැරණි ජන විශ්වාසයට අනුව කිල්ල යන්නෙන් අපවිත්‍රතාව හැඟවෙයි.එහෙත්,මනුෂ්‍ය හෝ සත්ව ශරීර වලින් බැහැර වන මල මුත්‍ර ඇතුළු අප ද්‍ර‍ව්‍ය කිලි වශයෙන් නොහැඟවෙයි.පසලොස් වන සියවසේ ලියැවුණු රුවන් මල් නිඝණ්ඩුවේ කිලි වශයෙන් දක්වා ඇත්තේ කාන්තාවන් හා සම්බන්ධ “ඔසප් හා මල්වර”යන්න පමණි.නමුත් පොදු ජන සම්මතය අනුව මෙම කිලි හෙවත් අපිරිසිදු තත්වයන් කොටස් හතරකි. එනම් මළ කිල්ල, මාස් කිල්ල, වැදුම්ගෙයි කිල්ල සහ කොටහළු කිල්ල වශයෙනි.

මේ හැරුණු කොට ඇතැම් මාංශමය ආහාර වල “කිලි” තත්වයන් ඇති බව පැවසෙයි.ඒ ඇතැම් මාංශ වර්ග ඒවායේ ඇති අපිරිසිදු බව ඇතුළු තවත් කරුණු මුල් කොට මිනිස් පරිභෝජනයට නුසුදුසු ලෙස ඉස්ලාමය ද පවසා තිබේ. ඒ හැරුණු කොට ඉහත සඳහන් ප්‍රධාන කිලි හතරෙන් මුල් කිල්ල හෙවත් මළකිල්ල සඳහා ස්ත්‍රී පුරුෂ භේදයක් බල නොපාන මුත් සෙසු ප්‍රධාන කිලි තුනම ස්ත්‍රී පාර්ශවය හා ප්‍රජනනය සම්බන්ධ බව පෙනේ. අප ජීවත් වන ලෝකයේ පැවැත්මට ඉවහල් වන ප්‍රධානතම සංසිද්ධිය ප්‍රජනනයයි. ඒ අනුව එය සකල විධ සත්වයන් සම්බන්ධ ප්‍රධානතම කටයුත්ත ද වනු ඇත. එවන් තත්වයක් යටතේ එවැනි සුවිශේෂ සංසිද්ධියක් මුල් කොටගත් මාතෘත්වය හා ඊට අදාල තවත් කරුණු දෙකක් මුල් කොට ගත් කිලි හෙවත් අපිරිසිදු සහගත තත්වයන් නිර්මාණය කිරීම පැරණි ඉන්දියාවේ පුරුෂෝත්තමවාදී බ්‍රාහ්මණ සමාජය ක්‍රියා කොට තිබීම පොදු මිනිසත් බවට පවා එල්ල කළ දරුණු නිග්‍රහයකි. වර්තමානයේ ලෝක සම්මතයක් වන ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව මුළුමනින් කෙලෙසා දැමීමකි.

මේ තත්වය වර්තමාන ශ්‍රී ලාංකේය සමාජය තුළ කොතෙක් මුල් බැසගෙන තිබේද? යත් මූලික ආගමික ඉගැන්වීම් වලින් මුළුමනින් පරිබාහිර එකී ආගම් හා සබැඳුණු පසුකාලීන ආගමික සංස්කෘතික ධාරාවන් තුළ ස්ත්‍රීත්වය සඳහා පනවා ඇති තහංචි වලින්ම පෙනී යයි. ඒ අනුව අප රටේ ඇතැම් පූජනීය ස්ථානවල වැදගත්ම පරිශ්‍රයන්ට පිවිසීමට පවා කාන්තාවන්ට පිවිසීමට අනීතික තහංචි පනවා තිබේ. නමුදු ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාව පිළිබඳව හඬ නඟන්නියන් පවා මේ පිළිබඳව වදනක් වත් නොදොඩති.

එහෙත්, මෙම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව දරුණු ලෙස සිඳලීමේ බරපතල පුරුෂෝත්තමවාදී ක්‍රියාවලියක් මෙරට ඉස්ලාමීය ආගමික සංස්කෘතික පසුබිම තුළ නිරන්තරයෙන් සිදුවෙතැයි යන පොදු මිථ්‍යාවක් මේ වන විට අප සමාජය පුරා පැතිර ගොස් තිබේ.මෙය මෙරට බහුතරයකට කට ගැස්මක් හෙවත් “බයිට් එකක්” වී ඇති බව ද පෙනෙයි. පසුගිය කාලයේ අප රට තුළ පැතිර ගිය ජාතිකවාදී නොවූ ජාතිවාදය හා වර්ගවාදය පදනම් කර ගත් දේශපාලන සංස්කෘතියක පිටිවහල ද මීට නොඅඩුව ලැබී තිබේ.

මෙරට රජයේ ප්‍රධාන රෝහලක ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ සේවය කරන සාමාන්‍ය ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු සෙසු වෛද්‍ය, හෙද සහ වෙනත් කාර්ය මණ්ඩල වලට මැදිව සිසේරියන් සැත්කම් වලට ලක් කළ කතුන් අති විශාල සංඛ්‍යාවක් කිසියම් අසම්මත ක්‍රමයකට වඳ බවට ලක් කළ අරුම පුදුම පුවත පසුගිය සමයේ මෙරට ජාතික යනුවෙන් හඳුන්වා ගත් ජන මාධ්‍යයක් මගින් රට පුරා පැතිර වීමට හැකි වීමෙන් අපගේ බහුතර ජන සමාජය තුළ පවත්නා මේ අන්ධභූත භාවය කෙබඳුද? යන්න හොඳින් වටහා ගත හැක.

නමුදු එය මුලුමනින්ම එම වෛද්‍ය වරයා වෙත ද්වේෂ සහගතව එල්ල වූ අභූත චෝදනාවක් බව නීතිය ඉදිරියේ පසක් වූ පසුබිමක පවා ඒ බව පොදු ජනතාවගේ විවෘත අවධානයට යොමු කිරීමට ඒ ජන මාධ්‍ය කරුවෝ ක්‍රියා නොකළහ.ඒ සම්බන්ධයෙන් අප එම මාධ්‍ය ආයතනය මඟින් අපගේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ඉල්ලූ විට ඔවුන් කියා සිටියේ එම ලිපිය තමන් වෙත යොමුකරනු වෙනුවට එම ලිපිය ද රැගෙන විත් තමන් හමුවන ලෙස ය.එසේ පුවත් පත් වල පළ වන සෑම ලිපියක්ම එම ආයතන වෙතට රැගෙන යා යුතු නම් අද දක්නට ලැබෙන ඉන්ධන හා ගෑස් පෝලිම් බඳු ලේඛක පෝලිම් ද එම පුවත් පත් ආයතන ඉදිරියේ දක්නට ලැබෙනු නියතය. ඒ අනුව ජාතික වශයෙන් හඳුන්වා ගනු ලබන එම ජන මාධ්‍ය වල අපක්ෂපාතිත්වය කෙතෙක් දැයි අපට සිතා ගන්නට පුළුවන.

ඒ අතරේ මෙරට දේශපාලන කරලියට පිවිස එම පට්ට පල් කෙබරය සමාජ ගත කළ ඇතැම් වෛද්‍යවරු අද ඒම කෙබරයේ අනුහසින් රටේ මුල් පුටුවල වැජඹෙති.එහෙත්,බොරුව සදාකාලික නොවන බව ඔවුන් ද ළඟදීම ඉතා කටුක නීරස අත්දැකීම් තුළින්ම වටහා ගනු නියත ය. ඉස්ලාමය යනු ලෝකයේ ප්‍රධානතම ආගමකි. විවිධ ජාතීන්ට හා සංස්කෘතීන්ට අයත් ලෝකවාසීහු බිලියන දෙකක් පමණ ඉස්ලාමය අදහති. ඒ අනුව ශ්‍රී ලංකාවේ හෝ ලොව වෙනයම් රටක වෙසෙන සෑම ඉස්ලාමිකයකු පිළිබඳවම චරිත සහතික ලිවීමට අප කාටත් නොපුළුවන. එම ඉස්ලාමිකයන් අතර ද අන්තවාදීහු කොතෙකුත් වෙති. ඉස්ලාමය පුරුෂ පක්ෂය සඳහා පමණක් නියම කොට ඇති ‘ඉද්දා’ නමින් හඳුන්වන චර්ම ඡේදනය හෙවත් සුන්නත් කිරීම කාන්තාව සඳහා සිදු කිරීමෙන් ඔවුන් ගේ ලිංගික හිමිකම් වලට වැටබඳින අන්තවාදීහු ද ඉස්ලාම් සංස්කෘතිය තුළ සිටිති. එවැනි අන්තවාදීහු සෑම ආගමික සංස්කෘතියක් තුළින්ම දැකිය හැකි වීම මත එය ඉස්ලාමයේ වරදක් අඩුපාඩුවක් සේ වටහා නොගත යුතුය.

ශ්‍රී ලාංකේය ජන සමාජයේ බහුතරය ඉස්ලාමය සම්බන්ධ ඇති කර ගත් ප්‍රධානතම වැරදි වැටහීමක් තිබේ. එනම් ඉස්ලාමය පුරුෂාධිපත්‍යයෙන් යුතු ආගමික ඉගැන්වීමක් ලෙස ය. එහෙත්, ඉස්ලාමයේ ප්‍රධානතම මූල ග්‍රන්ථය වන අල් කුරානයේ හෝ ඒ හා සබැඳි හදිස් කිසිවකත් පුරුෂයා ස්ත්‍රියට වඩා උතුම්ය යන අදහස සෘජුව තබා ව්‍යංගයෙන් වත් ප්‍රකාශ වී නැත. අල් කුරානය සෑම විටෙකම සඳහන් කරනුයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයක් පිළිබඳව ය.හදීස් යනු මොහොමඩ් නබි තුමන් විසින් කරනු ලැබූ ප්‍රකාශයන් වර්තමාන ලෝකයට දායාද කරන උප ලේඛනයය.මේවා බෞද්ධ අටුවා ග්‍රන්ථ මෙනි.ලෝක ආගම් විචාරකයන් මෙම හදීස් නම් කරනුයේ ඉස්ලාමීය ශිෂ්ඨාචාරයේ කොඳු නාරටිය(The backbone of Islamic civilization ) යනුවෙනි.

“සැමියා බිරිඳගේ දෙවියාය” යන්න අප සමාජයේ පවත්නා පොදු සම්මුතියකි. එහෙත්, ඉස්ලාමය ඊට කෙසේවත් එකඟ නොවේ. ඉස්ලාමය ප්‍රකාශ කරන්නේ සැමියාටත් බිරිඳටත් එක්ව ඇදහීමට අපරිමිත කරුණාවන්ත වූද අසීමිත දයාවන්ත වූද අල්ලාහ් නම් දෙවි කෙනෙකු ඇති බවක් මිස සැමියා බිරිඳ ගේ දෙවියා යන්න නොවේ. සලාතය හෙවත් නමැදුම සෑම ඉස්ලාම් බැතිමතකුගේම ජීවිතයේ ප්‍රධානතම කාරිය විය යුතු බව අල් කුරානය තහවුරු කරයි. ඒ අනුව සෑම ඉස්ලාම් භක්තිකයකුම ‘ආගමික සත්වයකු’ යැයි යමකුට කිව හැක. ඉස්ලාම් සමාජයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව නොමැති බවට නැඟෙන පොදු සමාජමය චෝදනාවට පසුබිම් වනුයේ ඔවුන් සලාතය හෙවත් නමැදුම සඳහා මස්ජීදයට හෙවත් දේවස්ථානයට යා යුතු නොවන බවට ඉස්ලාමයේ එන ඉගැන්වීම් ය. එහෙත්, එය හුදෙක් ස්ත්‍රී වර්ගයා ගේ ආරක්ෂාව සහ පහසුව සඳහා වූ පැනවුමක් මිස ඔවුන් කොන් කරනු පිණිස දැමූ තහංචියක් නොවන බව ඒකාන්ත වශයෙන්ම කිව යුතු ය.

එකම වහලක් යට ජීවත් වුවද පුරුෂයකු සහ ස්ත්‍රීයක සතු වගකීම් වල විෂමතාව ඉස්ලාමය යථාර්ථවාදීව පිළිගනී. සැමියා දූ දරුවන් සහ තමන් ගේත් සැමියා ගේත් මාපියන් ඇතුළු ඥාතීන් උදෙසා ඉටු කළ යුතු යුතුකම්, ගෘහ පාලනය සහ ගෘහ කළමණාකරණය, ගැබ් ගැනීම්, ප්‍රසුතිය දාරක සංරක්ෂණය ආදී සකල විධ කටයුතු තිබිය දී ඉස්ලාම් කාන්තාවට මස්ජීදයට ගොස් දෙවියන් නමැදීම ඉතා අසීරු වෙහෙසකර කටයුත්තක් බව ද ඉස්ලාමය පිළිගනියි. ඒ අනුව ඇයට මස්ජීදයට නොගොස් නිවෙස තුළ තනා ගත් නමැදුම් කාමරය තුළ සිට දෙවියන් යැදීමට ඉස්ලාමය හිමි කොට දුන් වරප්‍රසාදය ඇයට පැනවූ ආගමික තහංචියක් සේ සැළකීම කාටත් වැටහෙන බසින් කිවහොත් කමතක ඇති පිදුරු ගොඩක් පිදුරු තලාගල කන්ද ලෙස දැක්වීමකි.

කාන්තාවන් ගේ ප්‍රජනන කාරිය හා සම්බන්ධ මාස් ශුද්ධිය අප රටේ සංස්කෘතියට අනුව කිලි සමයකි. ඒ කාලය තුළ කාන්තාවන් ගේ අපවිත්‍රතාව මුල් කොට ඔවුන් අනියමින් හෝ කොන් කිරීම පිණිස වන සමාජ සම්මතයන් අප සමාජයේ දක්නට ලැබේ. එහෙත්, ඔසප් සමයේ කාන්තාවකට සලානය හෙවත් නමැදුම අතහැරීමටත් මක්කම පුදබිමේ දී සිදු කරන තවානේ හෙවත් පැදකුණු කිරීමත් හැරුණු කොට ‘හාජිවරුන්’ කරන අනෙක් සෑම කාරියක් කිරීමට ඉස්ලාමයෙන් අවසර තිබේ. එම හදීස් මතය නබී තුමන් ගේ තෙවන පතිනිය වූ ආයිෂා තුමිය විසින් ප්‍රකාශ කරන ලද්දකි.මොහොමඩ් නබී තුමන්ට වඩා බෙහෙවින් ළාබාල වූ එතුමිය නබී තුමන්ගේ අභාවයෙන් පසු වසර හතලිස් හතරක් පුරා හදීස් 2210ක් ප්‍රකාශ කොට ඇතැයි පැවසෙයි.

එම හදීසයේ ඔසප් සමය ගත කරන කාන්තාවකට තම සැමියා සමඟ ලිංගික සංසර්ගය හැරුණු කොට සිප වැළඳ ගැනීම ඇතුළු අනෙක් සෑම කටයුත්තක් ම සිදු කළ හැකි බව සඳහන් ය එමෙන්ම මොහොමඩ් නබී තුමන්ගේ වැදගත් පතිනියක වූ උම් සලමා තුමියගේ හදීස් වැකියකට අනුව ඔසප් වූ කාන්තාවකට තම සැමියා සමඟ එකම පොරෝනයක් තුළ සැතපීමට පවා ආගමික අවසරයක් හිමි වේ. එහි දී පුරුෂයාගේ සිරුරේ එම කාන්තාවගේ රුචිරය ස්වල්පයක් තැවරුණහොත් පිරිසිදු කර ගැනීමට වැඩි යමක් කළ යුතු නැත. නමුදු ඉස්ලාමය තුළ පවත්නා කාන්තාවන් සම්බන්ධ සහනශීලී තත්වයන් පිළිබඳව පොදු සමාජය තබා සාම්ප්‍රදායික ඉස්ලාම් සමාජයවත් නොදැන සිටීම කණගාටුවට කරුණකි. නමුත් මේ දිනවල මිශ්‍ර සංස්කෘතික පදනමකින් යුත් ජාතිවාදය ඉක්මවූ සැබෑ ජාතිකවාදයක් පළ කරන ගාලු මුවදොර අරගලය වැනි නිදහස් ප්‍රබුද්ධ මතධරීන් අතරට අපගේ ඉස්ලාමිය නියෝජනයන් එක් කරවීම තුළින් ඉස්ලාමය සම්බන්ධ මෙවැනි සමාජමය දුර්මත පිරිපහදු කර ගැනීමේ අවකාශයක් අප සැම වෙත උදාවනු ඇත.

ෆාතිමා හලල්දීන්

 

එතෙර - මෙතෙර