කාම චිත්‍රපට නිළියක් නිසා ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිරේ යන්න වෙයි ද?

නිල් චිත්‍රපට හෙවත් කාම චිත්‍රපටවල රඟ පෑ නිළියක සමග පැවැත්වූ බව කියන සම්බන්ධයකට අදාළ කාරණාවක් නිසා ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධිකරණය වෙත යාමට සිදුව තිබෙනවා. මෙම කාරණය සම්බන්ධයෙන් මේ වනවිට පැවැත්වෙන මූලික සාක්‍ෂි විභාගයක් සඳහා ඔහු කැඳවීමට අධිකරණ විනිසුරුවරයකු පියවර ගෙන ඇති නිසයි ඒ. මූලික සාක්‍ෂි විභාගයක් යනු යම් චෝදනාවකට අදාළව කිසියම් පාර්ශ්වයකට එරෙහිව නඩු පැවරීමක් කිරීමට තරම් සාක්‍ෂි තිබේද යන්න තීරණය කිරීම සඳහා පැවැත්වෙන විභාගය යි.

මෙම සාක්‍ෂි විභාගය ආරම්භ කර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ස්ටෝමි ඩැනියල්ස් නැමැති නිළියක අතර පැවැති බව කියන ලිංගික ඇසුරකට අදාළව යි. ස්ටෝමි ඩැනියල්ස්ගේ සැබෑ නම ස්ටෙෆනී ක්ලිෆර්ඩ්. ස්ටෝමි ඩැනියල්ස් යනු ඇය රංගන කටයුතුවල දී භාවිත කරන නමයි.

ඩැනියල්ස් කලක් කාම චිත්‍රපටවල රඟ පෑ නිළියක්. තමා සහ ට්‍රම්ප් අතර කලකට පෙර ලිංගික එක්වීමක් සිදු වූ බවක් ඩැනියල්ස් වරක් පවසා තිබුණා. ඇය මුලින්ම මේ බව පැවසුවේ ඇමරිකාවේ සඟරාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක දී යි. ඒ 2011 වසරේ යි. ඩැනියල්ස් සඳහන් කරන ආකාරයට ඇයට ට්‍රම්ප් මුණ ගැසී තිබුණේ 2006 වසරේ ගොල්ෆ් තරගාවලියක් අතරතුර යි. එහිදී දැන හඳුනාගැනීමෙන් පසු ඒ වනවිට ට්‍රම්ප් නතර වී සිටි හෝටල් කාමරය තුළ දී දෙදෙනා ලිංගිකව එක් වූ බවක් ද ඇය පවසා තිබුණා.

ඩැනියල්ස් කියන කතාව සත්‍යයක් නම් මෙම සිද්ධිය සිදුව තිබුණේ ට්‍රම්ප්ගේ බාලම පුතු වන බේරන් ට්‍රම්ප් ඉපදී මාස හතරකට පසුව යි. කෙසේ හෝ වේවා, තමා ඩැනියල්ස් සමග ලිංගිකව හැසිරුණු බවට එල්ල වන චෝදනාව ට්‍රම්ප් ප්‍රතික්‍ෂේප කර තිබුණා.

නමුත් ඔහු 2016 වසරේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටි කාලයේ ට්‍රම්ප්ගේ නීතිඥයකු ඩැනියල්ස්ට ඇ.ඩොලර් 130,000 ක මුදලක් ගෙවා තිබූ බවක් මාධ්‍ය වාර්තා කළා. ඩැනියල්ස් පවසන ආකාරයට එම මුදල ඇයට ගෙවා තිබුණේ ට්‍රම්ප් සහ ඇය අතර සිදු වූ සිද්ධිය රහසක් ලෙස තබා ගැනීම සඳහා යි.

මෙම මුදල ඩැනියල්ස්ට ගෙවා තිබුණේ ට්‍රම්ප් ද තරග කළ 2016 ජනාධිපතිවරණයට මාසයකට පමණ පෙරයි. මෙම තත්ත්වය තුළ ඇතැමුන් පවසන්නට වූයේ මෙම මුදල ට්‍රම්ප්ට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ලැබුණු අරමුදල්වලින් ගෙවන්නට ඇති බවයි. එවැන්නක් සිදු වී නම් එය මෙවැනි අරමුදල් සම්බන්ධයෙන් එරට පවතින මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. කෙසේ හෝ වේවා, එකල සිටි ට්‍රම්ප්ගේ නීතිඥයා ඉහත කී මාධ්‍ය වාර්තා ප්‍රතික්‍ෂේප කළා.

නමුත් පසුව ඔහුගේ මෙම ස්ථාවරය වෙනස් වුණා. තමා ඩැනියල්ස්ට ඉහත කී මුදල ගෙවූ බව 2018 වසරේ පෙබරවාරි මාසයේ ට්‍රම්ප්ගේ නීතිඥයා පිලිගත්තා. එසේ වුවත් ඔහු පැවසුවේ මෙයට ට්‍රම්ප් හෝ ජනාධිපතිවරණ ප්‍රචාරණ අරමුදල් හෝ සම්බන්ධ නැති බවයි. එම මුදල් ඩැනියල්ස්ට ගෙව්වේ තමාගේ පසුම්බියෙන් බවත් ඔහු පැවසුවා. 2018 වසරේ අගෝස්තු මාසයේ ඔහුගේ මෙම ස්ථාවරයත් වෙනස් වුණා. අධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් එවර ඔහු සඳහන් කළේ මෙම මුදල් ඩැනියල්ස්ට ගෙවන ලෙස තමාට පැවසුවේ ට්‍රම්ප් බවයි. තමාගේ පසුම්බියෙන් ගෙවන ලද මුදල පසුව ට්‍රම්ප් තමාට පියවූ ආකාරය දැක්වෙන ලියකියවිලි ද ඔහු ඉදිරිපත් කළා.

තමා ඒ ආකාරයෙන් ඉහත කී මුදල පියවූ බව ට්‍රම්ප් ද පසුව පිලිගත්තා. නමුත් තමා සහ ඩැනියල්ස් අතර ඇසුරක් පැවති බවට එල්ල වූ චෝදනා මෙන්ම ජනාධිපතිවරණ ප්‍රචාරණ අරමුදල් පිලිබඳ නීති උල්ලංඝනය කළ බවට එල්ල වූ චෝදනා ද ඔහු ප්‍රතික්‍ෂේප කළා. කෙසේ හෝ වේවා, ඉහත කී නීති උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ට්‍රම්ප්ගේ නීතිඥයාට මේ අතර සිර දඬුවම් නියම කෙරුණා.

මෙම සිද්ධියට ට්‍රම්ප්ගේ ඇති සම්බන්ධය නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා දැන් කාලයක සිටම විමර්ශණයක් පැවැත්වෙනවා. නමුත් එය පසුගිය කාලයේ තරමක් යටපත්වයි තිබුණේ. එහෙත් මේ මුදල් ගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ට්‍රම්ප්ට එරෙහිව නඩු පැවරීමක් කිරීමට තරම් සාක්‍ෂි තිබේද යන්න තීරණය කර ගැනීම සඳහා මූලික සාක්‍ෂි විභාගයක් කැඳවීමට ජනවාරි මාසයේ එරට දිස්ත්‍රික් විනිසුරුවරයකු පියවර ගත්තා. මේ වනවිටත් පාර්ශ්ව කිහිපයක් ඒ හමුවේ සාක්‍ෂි දී ඇති බව සඳහන්. ට්‍රම්ප් ද කැඳවා ඇත්තේ මෙම ජූරිය හමුවේ සාක්‍ෂි දීමටයි.

මෙම සාක්‍ෂි විභාගයෙන් පසු ට්‍රම්ප්ට එරෙහිව නඩු පැවරීමක් සිදුවීමට විශාල ඉඩක් ඇති බව නීති විශාරදයන්ගේ අදහස වී තිබෙනවා. එසේ වුවහොත් ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකුට එරෙහිව අපරාධ නඩු පැවරීමක් සිදුවන පළමු අවස්ථාව එය වනු ඇති. එහි දී යම් හෙයකින් ට්‍රම්ප් වැරදිකාරයකු වුවහොත් ඔහුට උපරිම වශයෙන් වසර 4 ක සිර දඬුවමක් ලබා දීමට හැකියාව ඇති බව පැවසෙනවා.

මේ සියල්ල සිදුවෙමින් ඇත්තේ 2024 වසරේ පැවැත්වීමට නියමිත මීළඟ ජනාධිපතිවරණයට ද තමා ඉදිරිපත් වීමට අදහස් කරන බව ට්‍රම්ප් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවකයි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර