“කැත” නුවරඑළිය ලස්සන කරන්න ජනපතිට හැකිවේද?

nuwaraeliya2

2020 වසරෙන් පසු හරිහැටි ක්‍රියාත්මක නොවූ නුවරඑළිය නගරය වාර්ෂිකව පවත්වනු ලබන නුවරඑළිය වසන්ත උදාන සැනකෙළිය මේ වන විට සාර්ථක ලෙසින් යළි පැවැත්වෙයි.ඒ නුවර එළිය මුල් කොටගත් නව සංචාරක ප්‍රවර්ධන වැඩ සටහනක් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව මාර්ගෝපදේශන වැඩ සටහනක් යටතේ ය. 1888 වර්ෂයේ උද්‍යාන ප්‍රදර්ශනයකින් ආරම්භ කෙරුණු මෙම වසන්ත උදාන සැනකෙලිය විවිධ නවාංග එක් කෙරෙමින් තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වූ මුත් 2000 වසරේ දී කොරෝනා වෛරසයෙන් සුන්දර නුවරඑළිය නගරය හා ජනතාව ආරක්ෂා කරගැනීම ප්‍රමුඛ කාර්ය සේ සළකා නුවරඑළිය මහ නගර සභාව විසින් එම උත්සවය අවලංගු කරන ලදී.ඉන් පෙර සෑම වර්ෂයකම වසන්ත උදාන සැනකෙළිය අප්‍රේල් මස 01 වැනි දින නුවරඑළිය නගර මාධ්‍යයේ දී පාසල් තුර්යවාදක කණ්ඩායම් සංදර්ශණයකින් ආරම්භ වි අප්‍රේල් 25 දක්වා පැවැත්විණි.

කෙසේ හෝ කොරෝනා තත්වය මුලුමනින් පහ නොවූ තත්වයක් තුළ 2022 වසරේ යළි මෙම වසන්ත උදාන සැනකෙළියට කාල්ටන් පෙර පාසල් අවුරුදු උත්සවය ද එක් කොට ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබිය දී රටේ ජනතාව මුහුණ දී සිටින අසිමීත පීඩාකාරී තත්වය මත එල්ල වූ දැඩි විරෝධය මත එය ද අතරමඟ නවතා දැමීමට සිදුවිය.එහෙත් මෙවර යළි පිබිදෙන නුවරඑළිය වසන්ත උදාන සැනකෙළියේ කටයුතු පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ නිරීක්ෂණයට ලක් වූ අතර නුවර එළිය කච්චේරියේ දී පැවැති විශේෂ රැස්වීමක දී දැනට පවත්නා තත්වයන් ඒ මහතා ගේ දැඩි විවේචනයට ලක් විය.

1960,70,80,90 යන දශක වල තමන් මේ කාලයට නුවර එළියට පැමිණෙන බව කී ජනපති වරයා මේ වන විට නුවරඑළිය”කැත නගරයක්”බව ජනතාව පවසන බව ද කීය.නුවරඑළිය නගරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ මූලිකම කටයුත්ත නගරයට විධිමත් ජල පහසුව සහ සනීපාරක්ෂක කානු පද්ධතියක් සැකසීම බව කී වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් කියා සිටියේ මේ වන විට නගරයේ නොවිධිමත් ලෙස ඉදි කෙරෙන ගොඩනැඟිලි නිසා නුවර එළියේ නගරාලංකාරය මුලුමනින් වැනසෙමින් පවතින බවකි. “නුවරඑළියට පුංචි එංගලන්තය කිව්වට ඔය හදන්න යන්නේ වෙන දෙයක්”යනුවෙන් ජනපති වරයා කීය..එමෙන්ම නුවරඑළියට දැනට සැලසුම් කර ඇති “රෝලර් කෝස්ටර්” වැනි විනෝදාංග ප්‍රයෝජනවත් නොමැති අතර එහි ස්වභාවික පරිසරය හා බැඳුණු සංචාරක ආකර්ශන ක්‍රමවේදයන් ක්‍රියාත්මක විය යුතු බව කී ජනපති වරයා ඒ සඳහා ඇවිදින සහ සාමාන්‍ය සහ මවුන්ටන් පා පැදි මංපෙත් ආදිය සකස් විය යුතු බව ද කීය.එමෙන්ම නුවරඑළිය නගරයේ ස්වාභාවික අලංකාරය වනසන තට්ටු හතරට වඩා උස ගොඩනැඟිලි සෑදීම ද වහා නතර කළ යුතු බව ජනපති වරයා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ඒ මොහොතේම දැනුම් දුන්නේ ය. මෙම නව සංචාරක ප්‍රවර්ධන වැඩ සටහනේ දී නුවරඑළිය ආශ්‍රිත ව ජීවත් වන පනස් පන් දහසකටත් වැඩි ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් ලබා දීමේ වැදගත් කම ද ජනාධිපති වික්‍රමසිංහ මහතා මෙහි දී අවධාරණය කළේ ය.එමෙන්ම හිටපු ජනාධිපති වරුන් කිහිප පළක් යටතේම නුවර එළියට නිසි සංවර්ධනයක් උදා නොවීමට හේතුව ඒ සම්බන්ධ වගකිව යුත්තන් තම හිතුමනාපයට පැළැස්තරවාදී විසඳුම් ක්‍රියාත්මක කිරීම බව ද ජනාධිපති වරයාගේ මතය විය. ඒ කෙසේ හෝ දැනට යළි පිබිදෙන වසන්ත උදාන සැනකෙලිය ඔස්සේ නුවරඑළිය මුල් කොටගත් නව සංචාරක ප්‍රවර්ධන වැඩ සටහනක් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිහිනය කෙතරම් දුරට සැබෑ වේද යන්න අනාගතය විසින් විසඳිය යුතු පැනයකි.

දමයන්ති ගමගේ

ඡායාරූප රොෂාන් කුරේ

හරිත දනව්ව